මේ ආතල් කටු ගැන දන්නේ 80 ගණන් වල කොල්ලෝ විතරමයි!

80 ගණන් වල කොල්ලෝ දැන් කොහෙද? දැන් අංකල්ලා කියන වයසෙනෙ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඔය 90 ගණන් වල කොල්ලෝ වගේ නෙමෙයි 80 ගණන් වල කොල්ලෝ ඇවිල්ල වයසට යන්නේ නැති, පට්ට ස්මාට් සෙට් එකක්. ඒකට හේතුව වෙන්න ඇත්තේ ඒ කාලෙ අපි ලබපු ජීවන අත්දැකීම් වෙන්න ඕනෙ. අපි ඇවිල්ලා කම්පියුටරේ, ස්මාට්ෆෝන් එක බදාගෙන තොටිල්ලෙන් බිමට බැහැපු උදවිය නෙමෙයි. අපිට තිබ්බා හොඳ බිම් මට්ටමේ අත්දැකීම් (කොටින්ම පස් හිටං කාල තියනවා).

ඉතින් අපි මේ කියන්න හදන්නෙ 80 ගණන් වල ඉපදුණ අපිට විශේෂ වුණු ඉතා මිහිරි මතකයන් සෙට් එකක් ගැන. මේව බලල 90 සහ 2000 ගණන් වල අයට නම් රිදෙයි අම්බානකට.

 

01. කොත්තුවක් කන්න කොච්චරක් නම් දුරක් ගියාද?

කොත්තුව කියන සුපිරි ආතල් එක මේ ලෝකෙට බිහිවෙන්න කළින් උප්පත්තිය ලබපු කස්ටියක් තමයි අපි. දැන් වගේ එක හන්දියට කොත්තු ජොයින්ට් 4,5 ගාණෙ ඒ කාලෙ තිබ්බෙ නෑ. කොත්තුවක් කන්න නම් ඉතින් සෑහෙන දුර කතරක් ගෙවාගෙන යන්ඩෝනෙ. කොල්ලො සෙට් එක එකතු කරගෙන, කලෙක්ෂන් එකක් දාලා, ගම් දනවු පසුකරගෙන, දාඩිය හති හෙලාගෙන ගිය ජාතියක් තමයි 80 අපි. එහෙම මහන්සි වෙලා ගියත් තිබ්බෙ උපරිම කොත්තු ජාති 3යි නැත්නම් 4යි. ඒ කියන්නෙ බිත්තර, මස්, මාළු, එළවලු. හැබැයි ඉතින් ඒ ගත්තු ආතල් දැන් පාලන්ඩි, ඩෙවල් චිකන්, චයිනීස් කොත්තු කාලවත් ගන්න බෑ මචන්.

 

02. හැම පෝයටම අනිවාර්යෙන් පන්සලේ

දැන් කාලෙ වගේ ඉස්මාට් පෝං ෆේස්බුක් ඩේටින් නැති ඒ කාලෙ කෙල්ලෙක් දාගන්නවා කියන්නේ බිම් මට්ටමින් අරඹන්න ඕනෙ අරගලයක්. ඉස්කෝල, හන්දි, බස් හෝල්ට්, ක්ලාස් සහ පන්සල් තමයි ඒ කාලෙ ප්‍රධානම ඩේටිං ප්ලැට්ෆෝම්. මේ අතරිනුත් පන්සල කියන්නේ නිවී හැනහිල්ලේ කෙල්ලෙක්ට ටෝක් එකක් දාන්න තිබ්බ අපේ ප්‍රියතම ඉස්තානයක්. සුදු වතින් සැරසිලා, ප්‍රෝස්පෝට්, බ්ලැක් නයිට් ජෙල් තට්ටු වලින් ඉස්පයික් කොණ්ඩ හදාගෙන, සැදැහැ සිතින් පන්සල් ගිහින් අපි දෙවියන්ගෙන් බුදුන්ගෙන් පවා පැතුවේ ඒ කාලෙ අපේ හිතගිය කෙල්ල ඉක්මනටම පන්සල් භූමියට ගෙන්නලා දෙන්ඩ කියලයි.

 

03. මිෂන් වැල

වැලක් බලනවා කියන්නෙ ඒ කාලෙ මාරම මිෂන් එකක්. දැන් වගේ සාක්කුවෙන් ඔබේ ආලින්දයට වගේ ලෝකමෙ වැල බලන ගැජට් අපිට තිබ්බෙ නෑනෙ. ඉතින් හන්දියේ වීඩියෝ සෙන්ටර් අයියා තමයි අපේ හස්ත කර්මාන්තවලට යටිතල පහසුකම් සැලැස්සූ ජාතියේ මුර දෙයිය. අයිය ෆිට් නම් ඩබල් ට්‍රිබල් ගේමක්ම නෑ. එහෙම නැත්නම් ඉතින් කුණු කුණු ගාල, නොවඳිනා වැඳුම් වැඳල තමයි ඩෙක් පීස් එකක් පන්න ගන්නේ (ඔව්. ඒ කාලෙ සීඩී ඇවිල්ලත් නෑ). මෙහෙම පන්නගත්ත පීස් එක ගෙදර ගෙනියන එකත් හෙන ගේමක්. මොකද මගදි දන්න පොරක් හම්බුනොත් එහෙම මොකක්ද පීස් එක? ඇක්ෂන් එකක්ද? මටත් දෙනවද කියලා ඉල්ලන්න ඉඩ තියනවා. ඒ නිසා මේවා කලිසම් අස්සේ බඩවල් වල ගහගෙන බොහොම ආරක්ෂිතව තමයි ගෙදරට ගෙනාවේ. ඒ ගෙනල්ලත් ඉතින් අනිත් අතට බලන්න බෑ. කාගෙ හරි ගෙදරක් හිත් වෙනකම් ඉන්න ඕනෙ මේ මාහැඟි සිනමා කෘතිය නරඹන්න.

 

04. කන්න බෑ සල්ලි නෑ

90 ගණන් අන්තිම හරියේදි විතර මෙහෙට සම්ප්‍රාප්ත වුණා වෝල්ස් කරත්ත. ටුං ටුනූ ටුං ටුනූ කියල මියුසික් පාරක් දාගෙන ඒව ආවෙ. ඒ වෙද්දි අපි අහලවත් නොතිබ්බ ජාතියේ අයිස්ක්‍රීම් වර්ග රාශියක් එක්ක තිබ්බ වෝල්ස් එකපාර අපිට ගෙනාවෙ දුකක් සහ සතුටක්. සතුට තමයි රුපියල් 6න් විතර පටන්ගෙන රුපියල් හැට හැත්තෑවක් විතර වෙන පරාසෙකට විහිදෙන අයිස්ක්‍රීම් රාශියක් වෝල්ස් කරත්ත වල තිබ්බ එක. දුක් සීන් එක වුණේ මේකෙ මුල් අයිස්ක්‍රීම් ටික කෑවට ගණන් වැඩි මැග්නම් වගේ අයිස්ක්‍රීමකට අපේ අතේ සල්ලි හිඟවීම. බත් පැකට් එකකුත් රුපියල් 15කට විතර ගන්න පුළුවන් ඒ කාලෙ ගෙදරින් ඉල්ලපන්කෝ අයිස් චොක් එකක් කන්න රුපියල් හැට හැත්තෑවක්, ගහයි ඉදලෙන්. ඉතින් මේ දුක තුනී වෙන්න අපේ කොල්ලො හැදුවා වෝල්ස් ටියුන් එකට සින්දුවක්. කන්න බෑ… සල්ලි නෑ… වෝල්ස් මට එපා… කියල (හැබැයි අපි අන්තිමේදි කොහොම හරි මැග්නම් එකත් කෑවා. එහෙම තමයි අපේ හැටි)

 

05. හාඩ් දෙයියා

කොම්පීතරේ කියන යන්තරේ ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රචලිත් වෙන්න පටන් ගත්ත ගමන් අපේ උනුත් එකා දෙන්නා මේවා ගන්න පටන් ගත්තා. ඒ කාලේ 2GB හාඩ් ඩිස්ක් එකක් තියනවානම් ඌ තමයි සෙට් එකේ පොර. ලෝකමෙ නැති වීඩියෝ, ෆ්ලෑෂ් ක්ලිප්ස්, වැල, සින්දු, ගේම්ස් ආදී එකී මෙකී නොකී දේවල් සියල්ලම ඔය 2GB ඇතුළෙ තිබ්බා. දැන්නම් පුදුමත් හිතනවා එච්චර බඩු කොහොම මේ පොඩි ඉඩ ඇතුළට සෙට් උනාදත් කියලා. ඒ කාලෙ කොම්පියුටරේ කෙළින්ම මස් කඩේ වගේ තමයි. වයර් කෑලි එළියේ. මොකද හාඩ් එක කොයි වෙලේත් ගලෝනවා යාලුවන්ගෙ ගෙවල් වල ගෙනියන්න. ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරල තියන අන්තිම පරම්පරාවෙ අයත් අපි වෙන්න පුළුවන්. ෆ්ලොපි ගැන මොන කතාද? මෙගාබයිට් 256 ෆ්ලෑෂ් ඩ්‍රයිවු අපි අරන් තියනවා රුපියල් හාර පන්දාහට. අන්න එහෙමයි අපි ඒ කාලෙ සුද්දෝ වගේ වියදම් කළේ.

 

06. හේතු මොටද වළියක් දා ගන්න බැරී?

ඒ කාලෙ අපි කොල්ලො කොල්ලො වලි දාගන්න විශේෂ හේතුවක් ඕනෙ නෑ. කෙල්ලො සීන් වල ඉඳන් හිතාගන්න බැරි හේතු වලටත් කොල්ලො කොල්ලො ඇවිලෙනවා. දැන් වගේ කීබෝඩ් වීරකම්, ෆේක් එකවුන්ට් ගේම් නැහැ නොවැ ඒ කාලෙ. ගේම නම් ගේම තමයි. අද නෙළන එකා හෙට කනවා පැණි බේරෙන්න. ආය ඉතින් ගෙදරටවත් මේ සීන් ලීක් කරන්නෙ නෑ. හන්දියේ අඳුරන ඩිස්පැන්සරි බුවාගෙන් බේත් දාගෙන, සෙල්ලම් කරද්දි වැටුණා කියලා ගෙදරට බොරුව ගහලා අපි ප්ලෑන් කරේ ආයෙත් රිටර්න් එක දෙන්නෙ කොහොමද කියලයි. ඒ කාලෙ අපිට නෙළපු උනුත්, අපෙන් කාපු උනුත් බොහොමයක් අද වෙද්දි අපේ එක බෝතලේ අඩිය බලන අතිජාත ෆ්‍රෙන්ස්ලා තමයි.

 

07. වර්ල්ඩ් කප්

90 ගණන් වල ඉපදුණු ක්‍රිකට් ෆෑන්ස්ලා බෝතලෙන් කිරි බොන කාලේ තමයි අපි 80 කොල්ලෝ ඓතිහාසික ලෝක එක්දින ක්‍රිකට් කුසලානෙ ලංකාව ජයග්‍රහණය කරනවා ලයිවු නැරඹුවේ. එහෙම ආතල් එකක් ගන්න ඉතින් දැන් අවුරුදු විසි ගණනක් වෙලත් තාම බැරිවුණානෙ ආයෙත්. ක්ලාස් කට් කරලා ලංකාවෙ මැච් බලපු අපේ වාසනාවට 96 ටීම් එකේ දක්සතාවේ එකතු වෙලා තමයි මේ විශ්මිත ජය වාර්තා කරන්න හම්බුණේ. අදටත් ඒ අවසන් තරඟ රාත්‍රිය මතක් වෙද්දි ඇඟේ මයිල් කෙළින් වෙනවා. ගෙදර තිබ්බ රතිඤ්ඤා සෙට් එක පත්තු කරල ඉවර උනාම කාටිස් පිස්තෝලෙ කාටිස් ඉවරවෙනකම් වෙඩි තිබ්බ ජාතියක් අපි.

 

08. ටයි මාමා

80 අපි විතරක් නෙමෙයි, අපෙන් පස්සෙ පරම්පරාවත් අම්බානෙකට ණයගැති පුද්ගලයෙක් තමයි ටයි මාමා. ඒ වගේම ඒ කාලෙ රූපවාහිනියෙන් පෙන්නපු පට්ට වැඩසටහන් සෙට් එක අපේ ජීවිත වලට දුන්නේ නියම ගැම්මක්. රූපවාහිනියෙන් හඬ කවපු පරණ කාටූන්, නාට්‍ය වැඩසටහන් අදටත් නැවත විකාශය වුනත්, තව ගොඩක් ලස්සන වැඩසටහන් තියනවා පසු කාලෙකදි නැවත විකාශය කරපු නැති සුරංගනා කතා, ඉතිහාස කතා වගේ දේවල්. ඒවා උණු උණුවෙන්ම රස විඳපු වාසනාවන්ත පරම්පරාවක් උදවිය තමයි අපි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *