බ්‍රිතාන්‍ය රජ පවුලේ නොසණ්ඩාලයෝ

ලෝකයේ ජනප්‍රියතම පවුල විදිහට සැලකෙන්නේ බ්‍රිතාන්‍ය රජ පවුල. 1972 දී ජනරජයක් වුනේ නැත්නම් ලංකාවේ රජ පවුල විදිහට සැලකෙන්නේ එයාලම තමයි. හැබැයි ඉතින් ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත්වුණු මේ රජ පවුලේ සාමාජිකයන් ගැන කාලෙන් කාලෙට විවිධ කතා බහ අහන්න දකින්න ලැබෙනවා. අපි අද කථා කරන්න යන්නේ රජ පවුලේ නොසණ්ඩාල චරිත කිහිපයක් ගැන. සමහරවිට මේ ආටිකල් එක කියවලා ඉවර වෙද්දී ඔයාලට හිතෙයි මේ රජ පවුලේ ඉන්නේ නොසණ්ඩාල උන් විතරමද කියලා.

 

1. චාල්ස් කුමාරයා 

බ්‍රිතාන්‍ය මහ රැජින කවදහරි දවසක මිය ගියාම  බ්‍රිතාන්‍ය රජු බවට පත් වෙන්න ඉන්න පුද්ගලයාගේ චරිතය හොඳ නෑ කියන ඒක ප්‍රසිද්ධ රහසක්. තමන්ට වඩා වසර ගණනාවක් බාල ඩයනා කුමරිය සමඟ විවාහ වුණු චාල්ස් කුමාරයට තමන්ගෙ පැරණි පෙම්වතියක් වුණු කැමිලාව අමතක කරන්න බැරි වුණා. ඩයනා කුමරිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරේ තමන්ගේ විවාහ ජීවිතයේ හැම වෙලාවෙම තුන්වැන්නෙක් හිටියා කියලා. අන්තිමට විවාහය කෙළවර වුණේ දික්කසාදයකින්. කොහොම වුණත් අන්තිමට ඩයනා කුමරියගේ හදිසි මරණයෙන් වසර කීපයකට පස්සේ චාල්ස් කුමාරයා “අද මා සටනින් දින්නා” කියලා කැමිලාව විවාහ කර ගත්තා.

 

2. මාග්‍රට් කුමරිය 

දෙවැනි එලිසබත් රැජිනගේ එකම සහෝදරිය වුණේ ඇයයි. කුඩා කාලයේ පටන් ම තමන්ගේ පියා වුණු හයවෙනි ජෝර්ජ් රජුට දැඩි සමීපකමක් දක්වපු මාග්‍රට් කුමරිය රජතුමාගේ මරණයෙන් පස්සෙ අයාලේ යන්න පටන් ගත්තා.

මුලින්ම ඇය උත්සාහ කරේ දික්කසාද වුණු පුද්ගලයෙක්ව විවාහ කර ගන්න. නමුත් රජ පවුලේ විවිධ බාධා කිරීම් මත එසේ කිරීමට ඇයට හැකියාව ලැබුනේ නැහැ. පසුව ඇය ඡායාරූප ශිල්පියෙක් සමග විවාහ වුණත් තම සැමියාගේ ඇසුරට වඩා වෙනත් පිරිමින්ගේ ඇසුර ඇය ප්‍රිය කළා. අවසානයේදී එම විවාහය දික්කසාදයකින් කෙළවර වුණේ රජ පවුලට දැවැන්ත කළු පැල්ලමක් එක් කරමින්. රජ පවුලේ සාමාජිකයන් වැඩි ආයුෂ විඳිනවා වුණත් ඇය ගත කළ සෙල්ලක්කාර ජීවිතය නිසාම ඇයගේ ආයුෂ කෙටි වුණා.

 

3. ඩයනා කුමරිය 

මේ නම දැක්කම මේ ආටිකල් එක කියවන ඔයාගේ ඇස් උඩ යන්න ඇති නේද? අපි කොච්චර ආදරේ ක​ළත් ඩයනා කුමරියගෙත් කළු පැත්තක් තිබ්බා. චාල්ස් කුමාරයා කැමිලා සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යද්දී ඇයත් පිරිමින් කිහිප දෙනෙක් සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගියා. සමහර සම්බන්ධතා වලින් ඇය ගැබ්ගෙන ඇති බවටත්  විවිධ ඕපාදූප බ්‍රිතාන්‍ය සමාජයෙන් පැතිරෙමින් තිබුණා. ඇය මිය යන විට ආශ්‍රය කරමින් සිටී ඩොඩී අල් ෆයිඩ් සමඟ ඇය විවාහ වීමට සිටි බවටත් රාවයක් පැතිර තිබුණත් ඇතැම් අය පැවසුවේ එය තාවකාලික සම්බන්ධයක් පමණයි කියලා.

 

4. සාරා ෆර්ගියුසන්

ඇන්ඩෘ කුමාරයාගේ බිරිඳ ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වුණු සාරා ෆර්ගියුසන් සැලකුණේ දෙවැනි එලිසබත් රැජිනගේ ප්‍රියතම ලේලිය විදිහට. නමුත් චාල්ස් ඩයනා විවාහය අර්බුදයට යන සමයේදීම ඇන්‍ඩෘගේ සහ සාරාගේද විවාහ අර්බුදයට ලක් වුණා. එයට දෙදෙනාම වගකිව යුතු වෙනවා. සාරාගේ දෙපතුල් ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයකු විසින් ලෙවකන අවස්ථාවක ගත් ඡායාරූප කීපයක් මුළුමහත් බ්‍රිතාන්‍යම කැ​ළඹීමට ලක් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් විවාහයෙන් පසුවත් ඇන්ඩෘ කුමාරයා සහ සාරා මිත්‍රයන් ලෙස කල් ගත කරනවා. නමුත් මීට වසර කීපයකට පෙරත් අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාවක් ඇයට එල්ල වුණා.

 

5. හැරී කුමාරයා 

අද වෙන කොට කසාදයක් බැඳලා පුතෙක් එහෙම හම්බ වෙලා පැත්තකට වෙලා හිටියත් මීට වසර 5කට කලින් නම් හැරී කුමාරයා ගැන කතන්දර රැසක් බ්‍රිතාන්‍ය ඕපාදූප පිටුවල පළ වුණා. වතාවක් නිරුවත් සාදයකට සහභාගි වූ හැරී කුමාරයාගේ ඡායාරූප කීපයකුත් පැපරාසීන් විසින් අනාවරණය කරගන්න සමත් වුණා. ඒ වගේම හැරී කුමාරයා විසින් නාසී ක්‍රමයට ආචාර කිරීමක් සම්බන්ධ වීඩියෝවක් නිසා ජාත්‍යන්තර ප්‍රශ්නයකට පවා මුහුණ දෙන්න බ්‍රිතාන්‍යට සිද්ධ වුණා. නමුත් හැරී කුමාරයා පසුව ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියා.

 

6. ඇන්ඩෘ කුමාරයා

පසුගිය වසර ඇන්ඩෘ කුමාරයාට ඉතාමත් අපලකාරී අවුරුද්දක්. වයස අවුරුදු 18 ට වඩා අඩු තරුණියක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ගැන චෝදනා ඔහුට එරෙහිව එල්ල වුණා. මේ නිසා රජ පවුලේ කටයුතු වලින් ඉවත් වීමටත් ඔහුට සිද්ධ වුණා.

නමුත් ඇන්ඩෘ කුමාරයාට මෙවැනි චෝදනා නම් අලුත් ඒවා නෙමේ. කාලෙන් කාලෙට ඔහු සබඳතා පවත්වාගෙන ගිය කාන්තාවන් පිළිබඳව තොරතුරු පුවත්පත්වල පළ වුණා.

 

7. අටවෙනි එඩ්වඩ් 

බොහෝ දෙනෙක් අටවැනි එඩ්වර්ඩ් රජු සහ වොලිස් සිම්ප්සන් ආර්යාව සලකන්නේ පසුගිය සියවසේ ප්‍රේමය වෙනුවෙන් සුවිශාලම කැපකිරීම කරපු ජෝඩුව විදිහට. ඒ වොලිස් සිම්ප්සන්ව විවාහ කර ගැනීමට අටවැනි එඩ්වර්ඩ් රජු බ්‍රිතාන්‍ය සිහසුන අත්හැරිය නිසා. නමුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ අනිකුත් සාමාජිකයන් සේම බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් සිතුවේ අටවැනි එඩ්වර්ඩ් රජු තමන්ට පැවරුණු වගකීම පැහැර හරිමින් සිය පෞද්ගලික ආශාව වෙනුවෙන් එසේ සිහසුන අත් හැරිය බවයි. වොලිස් සිම්ප්සන් පෙරදිග ගුප්ත ක්‍රමයක් මගින් අටවැනි එඩ්වර්ඩ් රජුට ලිංගික තෘප්තිය ලබා දීමට ක්‍රියා කළ බවත්, ඊට රජු ඇබ්බැහි වීම සිදු වුණු බවටත් දූෂමාන ආරංචි බ්‍රිතාන්‍ය පුරා පැතිර ගියා. 

 

මේ කොහොම උනත් බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකයෙකු නිසා තවමත් ජනතාව තුළ බ්‍රිතාන්‍ය රජ පවුල කෙරෙහි මහත් ගෞරවයක් තියෙනවා. ඇය තමයි දෙවැනි එලිසබත් මහ රැජින.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *