මෑත කාලයේදී වතාවන් කිහිපයකදී ආණ්ඩු පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණත් රාජ්‍ය බලය නිසි කාලයට නිමවෙන්නටත් පෙර එය ඔවුන්ට අහිමිව ගියා. මේකට එක හේතුවක් විදිහට ගොඩක් අය සැලකුවේ එක්සත් ජාතික පක්ෂයට සිටි පෞරුෂයක් සහිත නායකයන් රැසක් ඝාතනය වීමෙන් ඔවුන්ගේ ශක්තිය පක්ෂයට අහිමිවීමයි. මේ සටහන එක්සත් ජාතික පක්ෂයට අහිමිවුණු ඒ විශිෂ්ට නායකයන් පිළිබඳව.
1. ලලිත් ඇතුලත්මුදලි
ජේ. ආර් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය තුළ තුළ ශක්තිමත් දෙවැනි පෙළක් ගොඩනැඟූවා. ඒ දෙවෙනි පෙළේ ප්‍රධානත්වය ගත්තේ ආර්.ප්‍රේමදාස, ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වුණු ලලිත්, ජේ. ආර් ජයවර්ධන යටතේ වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යවරයා වගේම ජාතික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහටත් කටයුතු කළා.
ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමත් සමග අගමැති ධුරයට තමන්ව පත් කරනු ඇතැයි ලලිත් බලාපොරොත්තු වුණා. නමුත් ලලිත් කෙරෙහි සැකයෙන් බැලූ ප්‍රේමදාස ඒ වෙනුවට පත් කළේ ඩී. බී විජේතුංගවයි. ඒ වගේම ලලිත් බලාපොරොත්තුවෙන් සිටි ඇමතිධූරය වෙනුවට කෘෂිකර්මාන්ත අමාත්‍ය ධුරය සහ පසුව අධ්‍යාපන අමාත්‍යධූරය ප්‍රේමදාස විසින් ලබා දුන්නා.
ප්‍රේමදාස ගේ ක්‍රියාකලාපය නිසා කලකිරුණු ලලිත්, ගාමිණී දිසානායක සමඟ එක්ව ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ නමුත් එය සාර්ථක වුණේ නැහැ. මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපනු ලැබූ ඔවුන් දෙදෙනා නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට සහ රණසිංහ ප්‍රේමදාසට ප්‍රබල තර්ජනයක් වෙන්නට මෙම දේශපාලන බලවේගය සමත් වුණා.
මේ අතරතුර 1993 අප්‍රේල් මස 23 වැනි දා තුවක්කුකරුවෙකු අතින් කිරුළපන දේශපාලන රැස්වීමක් අමතමින් සිටි ලලිත් ඇතුලත්මුදලිව ව ඝාතනයට ලක් වුණා. එවකට පැවති රජය එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකමක් ලෙස හැඳින්වූවත් පසුව පත්කරන කරන ලද ජනාධිපති කොමිසමක් මගින් ප්‍රකාශ කළේ එම ඝාතනයට වගකිවයුත්තේ ආර්.ප්‍රේමදාස මහතා බවයි. කොහොම නමුත් අදටත් ලලිත් ඝාතනය සැබෑවටම සිදුවූ ආකාරය අභිරහසක්.
2. රණසිංහ ප්‍රේමදාස
එතෙක් කලක් සේනානායක, විජේවර්ධන පවුලට පමණක් සීමා වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රටේ පහළ මධ්‍යම පංතියේ පවුලකින් ආ රණසිංහ ප්‍රේමදාස සමත් වුණා. ඒ වගේම 1989 පැවති ජනාධිපතිවරණයෙන් ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජය කිරීමටත් ඔහුට හැකියාව ලැබුණා.
තමන් එතෙක් මෙරට පාලනය හිමිව තිබු පවුල් කිසිවෙකට අයත් නොවීම නිසා එක්සත් ජාතික පක්ෂය තුළින්ම තමන්ට තර්ජනයක් ඇති බවට සැකයකුත් ඔහු තුළ රෝපණය වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වුණේ අපි කලින් සඳහන් කරපු විදියට දෝෂාභියෝගයකට ඔහුට මුහුණ දෙන්න සිදු වුණු එක.
රණසිංහ ප්‍රේමදාසව ඇතැම් අය දුප්පතාගේ හිතවතෙක් ලෙස දැක්කත් ඇතැම් අය මිනීමරුවෙක් විදියට දැක්කා. 1993 මැයි පළමු වනදා සිදු වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එතුමාගේ දිවිය අවසන් වුණා. එම බෝම්බ ප්‍රහාරය ගැන ඇතැම් අය විවිධ මත පළ කළත් එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකමක් බවට බහුතරයක් එකඟ වෙනවා.
3. ගාමිණී දිසානායක
දශක කීපයකින් සම්පූර්ණ වීමට නියමිතව තිබූ මහවැලි ව්‍යාපාරය කඩිනම් සැලසුමක් යටතේ නිම කිරීමට ගාමිණී දිසානායක සමත් වුණා. මේ නිසාම ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ විශේෂ ළැදියාවක් ගාමිණී වෙත තිබුණා. ඒ වගේම ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේදී ලලිත් ඇතුලත්මුදලි සහ රණසිංහ ප්‍රේමදාස ප්‍රසිද්ධියේ එම ගිවිසුම විවේචනය කළත්, ගාමිණී දිසානායක පමණක් ජේ. ආර් සමග සිටිමින් ඊට සහයෝගය ලබා දුන්නා.
කොහොම වුණත් ලලිත් ඇතුලත්මුදලිට වගේම ගාමිණී දිසානායකටත් රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසුව පල නොකියා පලා බෙදන්නට පටන් ගත්තා. අවසානයේ දී දෝෂාභියෝගය අසාර්ථක වීමෙන් පසුව ගාමිණීට ලලිත් සමග එකතු වී නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සිදු වුණා.
ලලිත් ඇතුලත්මුදලි සහ රණසිංහ ප්‍රේමදාස ඝාතනවලින් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූයේ ඩී බී විජේතුංග මහතා. ඒ වගේම ඒ වන විට අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ජනප්‍රිය නායකයෙක්ව සිටියේ නැහැ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිනිය බවට පත්වීමත් සමඟම විපක්ෂ නායක ධුරය ලබා ගත යුත්තේ කවුද යන්න යන ප්‍රශ්නය මතු වුණා ඒ අවස්ථාවේදී නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණු ගාමිණී දිසානායක රහස් ඡන්දයකදී රනිල් වික්‍රමසිංහව පරදා විපක්ෂ නායක ධූරයට පත්වුණා.
මේ නිසාම 1994දී පැවති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බවට පත් වීමටත් ඔහුට හැකියාව ලැබුණා. නමුත් 1994 ඔක්තෝබර් 23 වෙනි දින තොටළඟ ප්‍රදේශයේ පැවති අවසාන ජනාධිපතිවරණ රැස්වීමේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායකට තමන්ගේ ජීවිතය අහිමි වුණා. මේ නිසා රටේ ම වගේම එක්සත් ජාතික පක්ෂයේ ඉරණමත් සදහටම වෙනස් වුණා.
4. ගාමිණී විජේසේකර
වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වූ එතුමා විවිධ අවස්ථාවල එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයෙකු විදිහට කටයුතු කළා. පසුව එතුමා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කිරීමට සමත් වුණා. ජේ. ආර් ජයවර්ධනට එරෙහිව රුක්මන් සේනානායක සමග කැරැල්ලක් දියත් කොට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු ගාමිණී විජේසේකර අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළා. නමුත් රණසිංහ ප්‍රේමදාසගේ ඉල්ලීම පරිදි එම දේශපාලන පක්ෂය විසුරුවා හැර නැවතත් එක්සත් ජාතික පක්ෂයට ඔහු එකතු වුණා. පසුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත්වූ ඔහු ප්‍රේමදාසගේ මරණයෙන් පසුව ගාමිණී දිසානායකව නැවතත් එම පක්ෂයට එකතු කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළා. නමුත් එතුමාටත් තොටළඟ බෝම්බෙන් ජීවිතය අහිමි වුණා.
5. වීරසිංහ මල්ලිමාරච්චි
වීරසිංහ මල්ලිමාරච්චි කියන්නෙත් තොටළඟ බෝම්බය නිසා අකාලයේ එක්සත් ජාතික පක්ෂයට අහිමිවුණු නායකයෙක්. වීරසිංහ මල්ලිමාරච්චි 1977 පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ සමගි පෙරමුණු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ටී. බී ඉලංගරත්නව පරාජය කරමින්. ඒ කොළොන්නාව ආසනයෙන්. ඒ වගේම ඔහු ජයවර්ධන සහ ප්‍රේමදාස යන ජනාධිපතිවරු ළඟින්ම කටයුතු කළා. ඔහු දෝෂාභියෝග සමයේ පවා රණසිංහ ප්‍රේමදාසව රැක ගැනීමට කටයුතු කළා. විශේෂයෙන්ම කිවයුතු දේ තමයි ඔහු කිසිම අවස්ථාවක ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන දෙදෙනාගේ විරුද්ධවාදියෙකු ලෙස කටයුතු කළේ නැහැ කියන එක. මේ නිසාම ගාමිණී නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණි පසුව ඔහු තමන්ගේ පූර්ණ සහයෝගය ගාමිණීට ලබා දුන්නා.
6. ජී. එම් ප්‍රේමචන්ද්‍ර
1978 මහමැතිවරණය ජයගෙන මාවතගමින් පාර්ලිමේන්තුවට ආපු ජී. එම් ප්‍රේමචන්ද්‍ර වයඹ පළාත තුළ අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. මේ ජනප්‍රියත්වයට ඔහුගේ චතුර කථිකත්වයත් එක හේතුවක්. ජේ. ආර් ජයවර්ධන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුණු ඔහු පසු කලෙක අමාත්‍යවරයෙකු බවටත් පත්වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාට සහාය ලබා දීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ කරා. ඒ අවස්ථාවේ දී දෝෂාභියෝගයට අත්සන් කළ ඇතැම් මන්ත්‍රීවරු පවා එම යෝජනාවට එකඟත්වය පළ කළත් රැස්වීමට සහභාගි වූ ප්‍රේමචන්ද්‍ර තමන්ගේ විරෝධය ප්‍රකාශ කරමින් ඉන් එළියට ආවා. එතැන් පටන් ප්‍රේමදාස විරෝධී බලවේගය ගොනු කිරීමට කටයුතු කළ ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණියේ ගාමිණී දිසානායකගේ ආගමනයත් සමග. නමුත් තොටළඟ බෝම්බය නිසා ගාමිණීට වගේම ප්‍රේමචන්ද්‍රටත් තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කරන්න සිද්ධ වුණා.
7. ගාමිණී අතුකෝරල
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගනිද්දී ඔහු එක ඉල්ලීමක් කළා. ඒ තමයි ගාමිණී අතුකෝරළ මහතාට පක්ෂයේ මහ ලේකම් ධූරය ලබා දිය යුතුයි කියන එක. ගාමිණී සහ රනිල් ඉතා සමීප මිතුරන් වීමත් මේකට එක හේතුවක්. නමුත් කල් ගත වීමත් සමඟ ගාමිණී අතුකෝරල විසින් දිගින් දිගටම අසාර්ථක වුන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව කැරැල්ලක් දියත් කළා. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ තියුණු නුවණ භාවිතා කරමින් එම කැරැල්ල දියාරු කිරීමට සමත් වුණා. අවසානයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඉන් දින කිහිපයකට පසුව ගාමිණී අතුකෝරල හදිස්සියේ මිය ගියා. මරණ පරීක්ෂණයෙන් එය ස්වාභාවික මරණයක් බවට නිගමනය කර තිබුණත් ඇතැම් අයෙකුගේ මතය වුණේ එම මරණය පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඊටම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතුද නැද්ද යන්න ගැනත් අදහස් දක්වන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply