සෙක්ස් කරන්න පටන් ගන්න හරියටම හරියන වයස මොකක්ද?

ඔව් මිත්‍රවරුනි, අපි අද ඔබ වෙත රැගෙන ආවේ ඊනියා සාම්ප්‍රදායිකත්වය රකින්නන්ගෙන්, හණමිටි කාරයින්ගෙන් සහ ඊනියා අපේ කම සහ සදාචාරය ආරක්ෂා කරගන්නන්ගෙන් අපිට දැවැන්ත ප්‍රහාර එල්ල වෙන විදියේ මාතෘකාවක්. ඇයි අපි ඊනියා සාම්ප්‍රදායිකත්වය, ඊනියා අපේකම, ඊනියා සදාචාරය කියලා කියන්නේ? එහෙම කියන හේතුව සරලයි. සාම්ප්‍රදායිකත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. සම්ප්‍රදායේ තියෙන ප්‍රගතිශීලී දේවල් අපි ඉදිරියට රැගෙන යා යුතුයි. අපේ කම, සදාචාරය කියන්නෙත් අනිවාර්‍යයෙන්ම ඒ විදියට ඉදිරි පරම්පරා වලට දායාද කළ යුතු ප්‍රගතිශීලී දේවල්. හැබැයි සෙක්ස් කියන වචනේ ඇහුණත් පරල වෙන උන්දැලා ඔය අපේ කම, සම්ප්‍රදාය, සදාචාරය කියන එව්වා ගැන දන්න එව්වෝ නෙවෙයි. ආන්න ඒ නිසයි අපි ඒ උන්දැලා රකින දේවලට ඊනියා කියලා කියන්නේ!

හරි, ආයෙමත් කථාවට ආවොත්, ඇත්තටම මොකද්ද සෙක්ස් කරන්න ඕන හරිම වයස? සෙක්ස් කරන්න වයසක් ඕනද? සෙක්ස් කරන්න වයස විතරක් හරිගියහම ඇද්ද? වගේ ප්‍රශ්න අටෝරාසියක් අපි ඉස්සරහා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ සෙක්ස් කරන්න පටන් ගන්න හොඳම වයස කියන තැන ඉඳලා ඔය කියපු ප්‍රශ්න වලට උත්තර ලබාදෙන්නයි.

 

1. සෙක්ස් කරන්න ශාරීරික යෝග්‍යතාවය උදාවෙන වයස

මේක නම් එක එක්කෙනාට වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍ය වශයෙන් කිවුවොත් අවුරුදු 15-19 ත් අතර කාලය වෙනකොට ශාරීරිකව ගැහැණු ළමයෙක් වුනත්, පිරිමි ළමයෙක් වුනත් සෙක්ස් කරන්න යෝග්‍ය කාලයකට පත් වෙනවා කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. හරි, මීට සෑහෙන්න කලින් පිරිමි ළමයෙක් වුනත්, ගැහැණු ළමයෙක් වුනත් ලිංගිකව මුහුකුරා යන්න පුළුවන්. විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වෙන්න පුළුවනිනේ ඔය කියපු වයසට කලින්. හැබැයි එහෙම වැඩිවියට පැමිණුනා කියලා පිරිමි ළමයෙක්වත් ගැහැණු ළමයෙක්වත් ශාරීරිකව එක පාරටම සෙක්ස් කරන්න යෝග්‍ය තත්වයක නැහැ. පොඩ්ඩක් ඇඟ ඇතුළේ සිද්ධ වෙන හෝමෝනමය වෙනස්කම් බැලන්ස් වෙන්නත් ඕන.

 

2. සෙක්ස් කරන්න මානසික යෝග්‍යතාවය උදාවෙන වයස

මානසික යෝග්‍යතාවය ගැන කථා කරන්න කලින් අපි සෙක්ස් කියලා කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා. මෙතනදී සෙක්ස් කියන්නේ දෙන්නෙක් අතර සිද්ධ වෙන ලිංගික සංසර්ගයම විතරක් නෙවෙයි. ස්වයං වින්දනය වුනත් සෙක්ස් කියලා ගන්න පුළුවනිනේ. එතකොට සෙක්ස් කරන්න මානසික යෝග්‍යතාව වුනත් වැඩිවියට පත් වුනාට පස්සේ සමහරුන්ට ඇතිවෙන්න පුළුවන්. සමහරුන්ට ප්‍රමාද වෙන්න පුළුවන්. ස්වයං වින්දනය සඳහා මානසික යෝග්‍යතාවය නම් ලිංගිකව මුහුකුරා යෑමත් එක්කම ඇතිවෙන්න පුළුවනිනේ. හැබැයි තවත් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අවශ්‍ය මානසික යෝග්‍යතාවය ඇතිවෙන්න ඔය උඩින් කියපු අවුරුදු 15-19 ත් අතර කාලය ගත්වෙන්න පුළුවන් වගේම සමහරුන්ට ඊටත් පහුවෙන්නත් පුළුවන්.

 

3. සෙක්ස් කරන්න අවශ්‍ය ලිංගික දැනුම ලැබෙන වයස

මෙන්න මේක තමයි වැදගත් කාරණය. සෙක්ස් කරන්න මානසික යෝග්‍යතාවය සහ ශාරීරික යෝග්‍යතාවය කොයි තරම් කලින් ඇතිවුනත් වැඩක් නැහැ, සෙක්ස් සම්බන්ධයෙන් අවශ්‍ය කරන දැනුම ලැබෙන්නේ නැතුව. ඇත්තටම ලිංගික දැනුම කියලා කියන්නේ තමන්ගේ ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක්, ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියන දේ ගැන නිසි අවබෝධයක්, ආරක්ෂිත ලිංගික සබඳතා ගැන අවබෝධයක්, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග, ගැබ් ගැනීම් වගේ දේවල් ගැන නිසි අවබෝධයක් කියන හැමදේටම. ඇත්තටම මේ හැමදෙයක් ගැනම දැනගත්තට පස්සේ තමන්ගේ ප්‍රථම ලිංගික අත්දැකීම තවත් කෙනෙක් එක්ක ලබාගන්න එක තමයි යෝග්‍ය වෙන්නේ. මේ දැනුම හරි ක්‍රමවේදයකින් ලබාගැනීමත් ඉතාම වැදගත්. මොකද යාලුවන්ගෙන්, නිල් චිත්‍රපට වලින් වගේ ෂුවර් නැති ක්‍රමවලින් ලබාගන්න වැරදි ලිංගික දැනුම නිසා බරපතල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

 

4. සෙක්ස් කරන්න ලංකාවේ නීතියෙන් ගැටළුවක් නැති වයස

මෙන්න මේක චුට්ටක් විතර පැටලිලි සහිත කතන්දරයක්. ශ්‍රී ලංකාවේ නීතියේ විදියට වයස අවුරුදු 16 ට වැඩි නම්, දැරියගේ කැමැත්තත් තියෙනවා නම් සෙක්ස් කරන එක ගැටළුවක් නැහැ. ඇත්තටම දැරියට විතරක් නෙවෙයි, පිරිමි ළමයාට වුනත් වයස අවුරුදු 16 ට වැඩි වෙන්න ඕන. හැබැයි මෙතනදී ගැහැණු ළමයාව විශේෂ වෙන්නේ, ගැබ් ගැනීමක් වගේ දේකට මුහුණ දෙන්නේ ගැහැණු ළමයා නිසා. හැබැයි ශ්‍රී ලංකාවේ විවාහ වෙන්න නම් වයස අවුරුදු 18 ට වැඩි වෙන්න ඕන. කොහොම වුනත් මේ විවාහය සම්බන්ධ කාරණයේදී අවම වයස 18 වෙන්න ඕන කියන එක ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ විවාහ වලදී නම් බලපාන්නේ නැහැ දැනට. ඒත් බාලවයස්කාර විවාහ වැළැක්වීම උදෙසා මුස්ලිම් විවාහ නීති වෙනස් කරන්න බලපෑම් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා.

 

5. සම්ප්‍රදායේ විදියට සෙක්ස් කරන්න කියලා ලංකාවේ කියන වයස

ආන්න ආවා පොයින්ට් එක. ලංකාවේ සම්ප්‍රදායේ විදියට සෙක්ස් කරන්න කියලා කියන වයස මොකද්ද? මේකත් එක එක දෙමාපියන්ගේ සහ එක එක දූදරුවන්ගේ හැටියට තමයි. හරි විවෘතව කථා කරමු. මුලින්ම ස්වයං වින්දනය ගත්තොත්, සමහර දෙමව්පියෝ විශ්වාස කරනවා ඒක පාපයක් හෝ වැරැද්දක් කියලා. එතකොට ඒක කොයි කාලෙවත් කරන්න වෙන්නෙ නෑ. සමහර දූදරුවන්ට වුනත් ස්වයං වින්දනය වැරැද්දක් කියලා හිතෙන්න පුළුවන්. සමහරුන්ට ස්වයං වින්දනය තේරුමක් නෑ කියලා හිතෙන්න පුළුවන්. තවත් සමහරුන්ට ස්වයං වින්දනයෙන් හරි වින්දනයක් ලැබෙන්නෙ නැහැ වෙන්න පුළුවන්. ඔය කාරණා හැම එකක්ම බලපානවා කොයි කාලෙද ස්වයං වින්දනය ආරම්භ කරන්නේ, ආරම්භ කරනවාද කියන එකට. ඊලඟට, තවත් කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධයක් ඇති කරගන්න නම් ලංකාවේ සාම්ප්‍රදායිකව කියන වයස තමයි දෙන්නා කසාද බඳින වයස. එතකොට අවුරුදු දහඅටෙන් වුනත්, විස්සෙන් වුනත්, තිහෙන් වුනත් වෙන්න පුළුවන් සෙක්ස් කරන්න වෙන වයස.

හැබැයි ඉතින් සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව ආදරේ පාන්නත් ක්‍රම සහ විධි තියෙනවනේ. එතකොට ගොඩක් වෙලාවට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක යාලුවෙන්න පුළුවන් වෙන වයසෙදි තමයි ඉතින් මුල්ම ලිංගික අත්දැකීම ලැබෙන්නේ!

 

6. ඇයි එතකොට බටහිර රටවල ඊට කලින් කරන්නෙ නැද්ද?

ඔව්, ඔය හොලිවුඩ් ෆිල්ම් එහෙම බලනකොට අපිට පේනවා වයස අවුරුදු 16 පැන්න ගමන් නිදහසේ සෙක්ස් කරන කෙල්ලෝ කොල්ලෝ. හැබැයි ඉතින් ලංකාවේ වුනත් අවුරුදු 16 පැන්න ගමන් සෙක්ස් කරන කෙල්ලො කොල්ලො නැහැයි කියන්න බැහැනේ. එකම දේ වෙන්නේ බටහිර රටවල වගේ ලංකාවේ 16 පැන්න ගමන් සෙක්ස් කරන්න නිදහසක් නැති එක.

 

7. ඇත්තටම සෙක්ස් කරන්න පටන් ගන්න සුදුසු වයස

ඇත්තටම මේ සම්පූර්ණ ලිපියේ වැදගත්ම කාරණාව මේක කියලා තමයි අපි හිතන්නේ. එහෙම ගත්තහම අපි හිතනවා කෙල්ලෙක්ට වුනත්, කොල්ලෙක්ට වුනත් සෙක්ස් කරන්න වඩාත් යෝග්‍ය වයස උදාවෙන්නේ තමන්ගේ ද්විතීයික අධ්‍යාපනය අවසන් කළාට පස්සේ කියලා. එහෙම පොදුවේ කියන්න හේතුවක් තියෙනවා. දරුවෙක්ගේ මූලිකම අයිතිවාසිකමක් වගේම, දරුවෙක් ප්‍රයෝජනයට ගත යුතු අවස්ථාවක් තමයි අධ්‍යාපනය කියන්නේ. එතකොට දරුවෙකුගේ අධ්‍යාපනයට බාධා වෙන අයුරින් කිසිම මොහොතක කරුණු සිද්ධ නොවිය යුතුයි කියන එක ඔය ආචාර ධර්ම පද්ධති වල පවා තියෙනවා. එතකොට නෛතිකව අවුරුදු 16 න් පස්සේ සෙක්ස් කරන්න පුළුවන් වුනත්, ඒක අධ්‍යාපනයට බාධාවක් වෙනවා නම් ප්‍රශ්නයක්. අනික ලංකාව වගේ රටක අවුරුදු 16 දී නියම ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. 

හැබැයි සෙක්ස් කරන්න ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙන දෙන්නෙක් ඉන්නවා නම්, අවුරුදු තිහ හතළිහ පනින කල් ඉන්න එකත් ඇත්තටම ප්‍රශ්නයක්. ඊට වඩා කලින් ලිංගික අත්දැකීමක් තියෙන එක ජීවිතයට හොඳක් කියලා අපි බය නැතුව කියනවා. ඒ නිසා අවුරුදු 18 පනිනකල් ඉඳලා, තමන් වැඩිහිටියෙක් වුනාට පස්සේ, නියමාකාරයෙන් ලිංගිකත්වය ගැන අපි 3 පොයින්ට් එකේදී කියපු විදියට දැනුමත් ලබාගත්තට පස්සේ, සෙක්ස් කරන්න කැමැත්ත ලබාදෙන බාලවයස්කාරයෙක් නොවෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *