දැන් දෙන්නෙක් සිරාවට ලව් කරන්න ගන්නවා කියන්නෙම දෙන්නට දෙන්නා සෑහෙන්න ලඟයි කියන එකනේ. ඒ කියන්නේ දෙන්නට දෙන්නා දවසේ ඕනම මොහොතක ඉන්නෙ කොහෙද කියලා දෙන්නම දන්නවා. එකිනෙකාගේ දවසේ සිද්ධ වෙන දේවල් දන්නවා. එකිනෙකාගේ මූඩ්ස් දන්නවා. එකිනෙකාගේ ප්‍රශ්න ගැටළු දන්නවා. කොටින්ම කිවුවොත් ලව් කරනකොට අමුඩෙයි පශ්චාත් භාගයයි වර්ගේ සමීප සම්බන්ධතාවයක් හැදෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්නේ.
හැබැයි ඉතින් ලව් කරන්න ගත්තා කියලා දෙන්නා එක්කෙනෙක් වෙන්නෙ නෑ. රන් රස සේ පෑහෙන්නෙත් නෑ. දෙන්නා දෙන්නෙක්. දෙන්නටම තම තමන්ගේ පර්සනල් ස්පේස් එක, පෞද්ගලික අවකාශය තියෙන්න ඕන. හැබැයි ප්‍රශ්නේ කියන්නේ සමහර ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලට, බෝයිෆ්‍රෙන්ඩ්ස්ලට ඕක නොතේරෙන එක. ආයෙ ඉතින් ඇඟේ එල්ලිච්ච ගමන් ඉන්න හදන්නේ. අඩුම ගාණේ කොහේ වත් යන්නවත් නිදහසක් නෑ. ඔන්න ඕකට තමයි සුද්දගෙ බාසාවෙන් clingy කියලා කියන්නේ.
හරි, එහෙම ඇණයක් වෙන තරමට ඇලිලා ඉන්න හැදුවත් ඉතින් මේ ලව් කරන කොල්ලා හරි කෙල්ල හරිනේ. ටොක්කක් ඇනලා හරි හදාගන්න එක අපේ වගකීමනේ. ඉතින් කොහොමද ඒක කරන්නේ? ආන්න ඒකට ටිප්ස් ටිකක් තමයි මේ දෙන්න යන්නේ.
1. තේරුම් ගමු
මූලිකම දේ තමයි තේරුම් ගැනීම. ඒ කියන්නේ කෙනෙක් මේ විදියට ඇණයක් වෙන තරමට ඇලෙන්න, පස්සෙන් වැටෙන්න, ඒකට ඉඩ නොලැබෙන කොට රණ්ඩු වෙන්න හේතු තියෙනවා. ප්‍රධානතම හේතුව ඉතින් ආදරේ හරි ඒ වගේ හැඟීමක් එක්ක එන, අපිව නැතිවෙයි කියන බයනේ. ඒකට හේතුව එක්කෝ මොකක් හරි අනාරක්ෂිත හැඟීමක්නේ. එක්කෝ තමන් ගැන තියෙන අඩුතක්සේරුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ “මට වඩා මගේ කොල්ලා/කෙල්ල ලස්සනයි, ඒ නිසා එයාට මට වඩා හොඳ කෙනෙක් සෙට් වෙන්න පුළුවන් ” වගේ හැඟීම්. එහෙම නැතිනම් සමහර වෙලාවට අපේ පෙර වැරදි හින්දත් පාට්නර් අපිට ඇලිලා ඉන්න උත්සාහ කරන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ හේතු මොනවද කියලා තේරුම් ගන්න එක තමයි පළවෙනි පියවර.
2. ඉවසිලිමත් වෙමු
ඒ වගේම මෙහෙම පාට්නර් කෙනෙක් එක්ක ලව් එක කොහොම හරි කරලා ගොඩදාගන්න නම්, ඉවසිලිවන්ත භාවයත් අතිශයින්ම වැදගත්. මොකද, පොඩ්ඩක් ඇත්තං රණ්ඩු කරන්න ගිහිල්ලා ප්‍රශ්නේ බේරුම් කරගන්න බෑ. අන්න ඒ නිසා, ඉවසිල්ලෙන් පොඩ්ඩක් ඉන්න වෙනවා. එක පාරටම ඇලෙන එක නවත්තන්න යන්නෙත් නැතුව, ඒක ක්‍රම ක්‍රමයෙන් අඩු කරගන්න වෙනවා. ආන්න ඒ ගැන තමයි මෙතනින් එහාට කියන්නේ.
3. සන්නිවේදනය කරමු
සන්නිවේදනය කියන්නේ මෙහෙම දෙයක්. අපි උඩින් කිවුවනේ අතිශයින්ම ඉවසිලිවන්ත වෙන්න ඕන මේ වෙලාවෙදී කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක ඇත්තටම ගැටළුවක් තියෙනවා කියන එක සාකච්ඡා කරන්න ඕන. හැබැයි මේ සාකච්ඡාව රණ්ඩුවකට හැරෙනවා නං වැඩේ අසාර්ථකයි. ඒ නිසා දෙන්නම හොඳ මූඩ් එකක ඉඳලා, කොහොමද මේ පමණට වඩා ඇලෙන ප්‍රශ්නේ බේරගන්නේ කියලා කතාබහ කරන්න ඕන. එතනදී අපිට හිත නොරිදෙන විදියට මේක කියන්න වෙනවා. හැබැයි දෙන්නම මේක විසඳගන්න ඕන කියලා එකඟ වුණාට පස්සේ ප්‍රශ්නෙන් භාගයක් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ දෙන්නට මගක් දුරකට ඇවිත් සහයෝගීතාවයකට එන්නේ කොහොමද කියන එක කතාබස් කරගන්න. උදාහරණයක් විදියට කිවුවොත්, පැයකට සැරයක් කෝල් කරන්න බැරි වුණත්, ඔෆිස් එකේදී වුණත් දවසට කීප වතාවක් මෙසේජ් එකක් දාලා දුකසැප හොයලා බලන්න එකඟ වෙන්න පුළුවන්. යන එන තැන් කියලා යන්නේ කියලා මේ පැත්තෙන් එකඟ වෙනකොට, ගිය වෙලේ ඉඳලා කෝල් කරන්නෙ නැතුව ඉන්න එයාට එකඟ වෙන්න පුළුවන්.
4. තමන්ට වෙලාවක් හදාගමු
මෙන්න මේක අතිශයින්ම වැදගත්. දෙන්නගේ සම්බන්ධතාවය අතරේ සාමාන්‍යයෙන් වෙන්නේ ජීවිතය දෙන්නා අතරේ බෙදාහදා ගන්න එකනේ. හැබැයි ඒ වගේම දෙන්නට තමන්ටම වෙන් වෙච්ච තමන්ගේ වෙලාවක් තියෙන්නත් ඕන. ඒක කාලසටහනකට මෙන්න මෙදා, මේ වෙලාවට කියලා හදාගන්න ඕන නෑ. හැබැයි සතියකට තමන්ගේ වෙලාවක් දෙන්නටම වෙන් වෙන්න ඕන. ඒ වෙලාවේ ඕන නම් ගේම් එකක් ගහන්න පුළුවන්, පොතක් පතක් කියවන්න පුළුවන්, තමන්ගේ විතරක් යාලුවෝ එක්ක එළියට යන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට අතිශයින්ම වැදගත් කාරණයකට හෝ හදිසියකට නෙවෙයි නං, එක්කෙනෙක්ට බෑ අනික් එක්කෙනාට ඩිස්ටර්බ් කරන්න. විශේෂයෙන්ම අර ඇලිලා ඇණ වෙන කෙනාට වගේම අනික් එක්කෙනාටත් ඒ රූල් එක පිළිපදින්න වෙනවා.
5. පුද්ගලික අවකාශයන් බෙදාගමු
උඩින් කියපු සන්නිවේදනය කියන කාරණාව එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ අතරේදීම කරන්න ඕන දෙයක් තමයි පුද්ගලික අවකාශයන් බෙදාගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න එයා පොතක් කියවන “මී ටයිම්” එකේදී ඩිස්ටර්බ් කරන්න බෑ. අපි උඩින් කිවුවෙත් ඒක. හැබැයි පුද්ගලික අවකාශය කියන එක තව දුරට යනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ඔෆිස් එකේ ඉන්නකොට බැරිවෙලාවත් අපේ ෆෝන් එක ආන්සර් කළේ නැතිනම්, අනික් පැත්තට ඔෆිස් එකේ අනික් යාලුවන්ට කෝල් කරලා බලන්න එහෙම තහනම්. ඒ වගේම අවශ්‍ය නම් තම තමන්ගේ ඊමේල් ගිණුම්, සෝෂල් මීඩියා ගිණුම් වලට අනික් කෙනාට එබෙන්න බැහැ වගේ රූල්ස් එහෙමත් දාගන්න පුළුවන් නම් හොඳයි. ඒවත් පුද්ගලික අවකාශය නේ.
6. ඉමෝෂනල් බ්ලැක්මේල් වලට ඉඩ නොතියමු
මේකත් ඉතාම වැදගත්. ඒ කියන්නේ වාත වෙන තරමට අපිට ඇලිලා ඉන්න පාට්නර් අපිව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න හදනකොට ඒකට ඉඩ නොදීම. උදාහරණයක් විදියට කිවුවොත්, ඔන්න අපිට ඔෆිස් එකෙන් දවස් දෙකකට එළියට යන්න වෙනවා. ඒක ඔෆිස් ඉවෙන්ට් එකක් නිසා පාට්නර්ව එක්කගෙන යන්නත් බෑ. හැබැයි අපිට නොයා ඉන්නත් බෑ. ඒත් ඒක තේරුම් ගන්නෙ නැතුව එයා නැතිනම් යන්න එපා කියලා අඬනවා. එතකොට අපි එයා අඬන නිසා ඔෆිස් ගමන කැන්සල් කරන්න ඕනද? නෑ. එහෙම කරනවා කියන්නේ එයාගේ clingy ගතිය දිගින් දිගටම යනවා කියන එකයි. එතකොට කාරුණිකව, හැබැයි ස්ථිරව පැහැදිලි කරන්න ඕන ඇයි මේ ගමන යන්න වෙන්නේ කියන එක ගැන. ඕන නම් පාට්නර්ගේ තනියට පවුලේ කෙනෙක් හරි කාවහරි තියන්න පුළුවන්.
අන්න ඒ විදියට අවශ්‍ය මොහොතට කාරුණිකව වුණත් දැඩි විදියට තීරණ ගන්න වෙනවා. ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න ආවොත්, ඒකට යට නොවී ඉන්න වෙනවා.
7. ප්‍රශංසාවෙන් වැඩක් ගමු
ඔය clingy බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ක්‍රමානුකූලව හදලා ගන්න තව හොඳ ක්‍රමයක් තමයි, නිතරම එයාට කම්ප්ලිමෙන්ට් කරන එක. හොඳ කියන එක, ප්‍රශංසා කරන එක. හැබැයි ඒක බොරුවට කරලා හරියන්නෙ නෑ. එයාගේ ඇත්තටම ප්‍රශංසා කටයුතු දේවල්, හොඳ දේවල් නිකම්ම අතෑරලා දාන්නේ නැතුව ඒ ගැන කියන එක තමයි මේ කියන්නේ. අන්න ඒකෙන් එයාට තියෙන අනාරක්ෂිත හැඟීම් අඩු වෙනවා. එහෙම අනාරක්ෂිත හැඟීම් අඩුවෙනකොට ඇණයක් වෙන තරමට ඇලෙන එකත් අඩු වෙනවා.
8. එයාගෙත් පුද්ගලික අවකාශය නිර්මාණය කරලා දෙමු
මේකත් අවශ්‍යම දෙයක්. දැන් ඔන්න අපි හිතමු අපිට ඔෆිස් වැඩ, ලව් එක ඇරෙන්න වෙන කරන්න දේවල් තියෙනවා. අපිට සෙට් වෙන්න යාලුවෝ ඉන්නවා. අපිට විනෝදාංශ තියෙනවා. කරන්න ආස දේවල් තියෙනවා. හැබැයි අනික් කෙනාට එහෙම දේවල් නෑ. එයාට කතා කරන්න ඉන්නෙත් අපි විතරයි. විශේෂයෙන් විනෝදාංශයක් කියලා දේකුත් නෑ. ඒ නිසාම එයා ඇලිලා ඉන්න උත්සාහ කරනවා. ආන්න ඒකට එක විසඳුමක් තමයි එයාටත් පුද්ගලික අවකාශයක් නිර්මාණය කරලා දෙන එක. ඒ කියන්නේ එයාට යාලුවෝ ආශ්‍රය කරන්න ධෛර්යමත් කරන එක. හොඳ විනෝදාංශයක් දෙකක් හඳුන්වලා දෙන එක එහෙම තමයි. අන්න එතකොටත් ඔය වාත වෙන තරමට ඇලෙන එක අඩු වෙනවා.
9. දෙන්නත් එක්ක විතරක් ෂෙයාර් වෙන දේවලුත් තියාගමු
අපි උඩින් කිවුවනේ එයාටත් පුද්ගලික අවකාශයක් නිර්මාණය කරලා දීම ගැන. එතනදී අපිට පුළුවන් එයත් එක්ක හවුලේ දේවල් කරලා එයාට ඒ ගැන ආසාවක් ඇති කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, දෙන්නත් එක්කම පොත් කියවන්න වෙලාවක් වෙන් කරගන්නවා වගේ දේවල්.
හැබැයි ඊට අමතරව, ලව් එක කසාදෙකට ගිහිල්ලා, කසාදෙත් අවුරුදු ගාණක් පරණ වුණත්, දෙන්නට විතරක් ෂෙයාර් කරගන්න පුළුවන් දේවලුත් තියාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, දෙන්නා විතරක් යන ට්‍රිප්ස්. දෙන්නත් එක්ක යන ඩාන්සින් ක්ලාස්. දෙන්නත් එක්ක යන ෆිල්ම් අවුටින්ග්ස්. අන්න ඒ වගේ එදිනෙදා ජීවිතේ ඇරෙන්න තව දෙන්නට විශේෂයෙන් ෂෙයාර් කරගන්න පුළුවන් දේවල් තියාගැනීමත්, clingyness එක නැති කරන්න උපකාරී වෙයි.
දැන් පැහැදිලියිනේ කතන්දරේ. ඇණයක් වෙන තරමට ඇලිලා ඉන්න, ඇඟේ එල්ලෙන්න ආවා කියලා ලව් එක දමල ගහල යන්න ඕන නෑ. හැබැයි ඉතින් ඒක ගාණට දෙන්නටම හරියන විදියට හදාගන්න ඕන. හා නැද්ද?
Leave a Reply