අපිට අමතකව ගිය ශ්‍රේෂ්ඨයා, ආනන්ද කුමාරස්වාමී

යුරෝපයේ බොහෝ රටවල්වල ජනතාව ලංකාව ගැන මුලින්ම දැන ගත්තේ  ආනන්ද කුමාරස්වාමිගේ පොත් පත් වලට පින්සිද්ද වෙන්න. ඔහු ලංකාව වැනි රටකින් කලාතුරකින් බිහිවන ජාත්‍යන්තර මට්ටමට ගිය විශිෂ්ටයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ අලුත් පරම්පරාව එතුමා ගැන එතරම් දැනුවත් නැහැ. මේ නිසා Lifie අපි හිතුවා එතුමාගේ ජීවිතය සහ එතුමාගේ කෘති පිළිබඳව කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න.

 

1. උපත

1877 අගෝස්තු විසි දෙවැනි දා ආනන්ද කුමාරස්වාමි උපත ලබන්නේ ලංකාවේ එවකට පැවති ප්‍රබලතම දෙමළ ප්‍රභූ පවුලක. ඔහුගේ පියා වූ මුතු කුමාරස්වාමි ලංකාවෙන් නයිට් පදවියක් ලද පළමු පුද්ගලයා ලෙස හැඳින්වෙනවා. ලංකාවේ නිදහස් අරගලයේ ප්‍රබල භූමිකාවක් ඉටුකළ පොන්නම්බලම් සහෝදරයින් ඔහුගේ ළඟම ඥාතීන් ද වනවා. මුතු කුමාරස්වාමි, එංගලන්තයේ ගත කළ අවධියේ දී මුණ ගැහුණු එළිසබෙත් බීබී නම් කාන්තාව සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට ලැබුණු දරුවා නම් කරන ලද්දේ ආනන්ද කෙන්ටිෂ් මුතු කුමාරස්වාමි ලෙසයි. නමුත් අවාසනාවකට මෙන් ආනන්ද කුමාරස්වාමිට වයස අවුරුදු දෙක පිරෙන විට ඔහුගේ පියා මිය ගිය අතර මව විසින් ඔහුව එංගලන්තය වෙත ගෙන ගියා.

 

2. අධ්‍යාපනය සහ පවුලේ තොරතුරු

එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භූගර්භ විද්‍යාව සහ උද්භිත විද්‍යාව පිළිබඳව උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව එතිල් මේරි නම් තරුණිය සමඟ 1902දී  විවාහ වන ආනන්ද කුමාරස්වාමි නැවතත් ලංකාව බලා පැමිණෙනවා. කෙසේ වෙතත් මෙම විවාහය 1913 දී පමණ බිඳ වැටෙන අතර එම වසරේදීම කුමාරස්වාමි  රිචර්ඩ්සන් නම් තවත් තරුණියක් විවාහ කර ගන්නවා. මෙම විවාහයෙන් නාරද කුමාරස්වාමි සහ රෝහිණී කුමාරස්වාමි යන දරුවන් දෙදෙනා ඔවුන්ට ලැබෙනවා. මේ කාලය තුළ ඉන්දියාවේ ගතකරන කුමාරස්වාමි යුවළ ඉන්දියානු කලා ශිල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. රිචර්ඩ්සන් ඉන් පසු  ඉන්දීය ගීත ගායනා කරමින් සහ එම සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින් රත්න දේවි නමින් ප්‍රසංග රැසක් සංවිධානය කරනවා. ඒ කෙසේ වෙතත් මෙම විවාහයද බිඳ වැටෙන අතර 1922 දී කුමාරස්වාමි ස්ටෙලා බ්ලොච් නම් ඇමෙරිකානු ජාතික නාට්‍යාංගනාවක් විවාහ කර ගන්නවා. නමුත් එම විවාහයත් සාර්ථක වන්නේ නැහැ. 1930 දී කුමාරස්වාමි සිය අවසාන විවාහයට පිවිසෙන අතර එවර ඔහුගේ තේරීම වන්නේ ආජන්ටිනා වන ජාතික යුවතියක් වන ලුයිසා රන්ස්ටේනුයි. මෙම විවාහයෙන් කුමාරස්වාමිට තවත් පුතෙකු ලැබෙන අතර ඔහුව රාමා කුමාරස්වාමි ලෙස නම් කරනු ලබනවා

 

3. භූ විද්‍යාඥයෙකු ලෙස සිදුකළ සේවය 

අප කලින් සඳහන් කළ පරිදි නැවතත් ලංකාවට පැමිණි ආනන්ද කුමාරස්වාමි ලංකාවේ ප්‍රථම ඛනිජ සම්පත් ගවේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා බවට පත් වුණා. ඒ හරහා ඔහු ලංකාව පුරා ඛනිජ ද්‍රව්‍යය ගවේෂණය කිරීමට කටයුතු කළා.

එහිදී තෝරනයිට් නම් ඛනිජ වර්ගය ඔහු විසින් සොයා ගත් අතර මේ නිසා මාරිකියුරි  වැනි ලෝ ප්‍රකට විද්‍යාඥවරියන් පවා එම ඛනිජ විශේෂ කුමාරස්වාමි නමින් නම් කළ යුතුයැයි සඳහන් කළා. නමුත් තමන් එම ඛනිජ විශේෂය මුල් වරට සොයා ගත්තත් එය නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා එම ගෞරවය තමන්ට ලබා ගත නොහැකි බව කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ නිසා ලන්ඩන් විශ්ව විද්‍යාලය මගින් ආනන්ද කුමාරස්වාමි වෙත ආචාර්ය උපාධියක් ද ලබා දීමට කටයුතු කළා.

 

4. ලංකාවේ දේශීයේ කලාව කෙරෙහි අවධානය යොමු වීම

ලංකාවේ ඛනිජ සම්පත් සොයා යමින් ලංකාව පුරා සිදුකළ  ගවේෂණයේදී ආනන්ද කුමාරස්වාමි ඛනිජ සම්පත් වලටත් වඩා වටින දෙයක් ශ්‍රී ලංකාව තුළ පවතින බව වටහා ගත්තා. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතියයි. විශේෂයෙන්ම පිටිසර බද ගම් පළාත් වල ජන ජීවිතය, සිරිත් විරිත්, ජනශ්‍රැති ආදිය අධ්‍යයනය කළ ඔහු ඒ පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රිකා සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඔහුගේ මේ පර්යේෂණ වල විශිෂ්ටතම ප්‍රතිඵලය වූයේ “මධ්‍ය කාලීන සිංහල කලා” නම් අති දැවැන්ත කෘතියයි. ඒ හරහා සිංහල කලාවෙහි ඇති අද්විතීයභාවය පිළිබඳව ලොවට හෙළි කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

 

5. විවේචන

ලංකාවේ ප්‍රභූ පවුල්වල අධිරාජ්‍ය ගැති ස්වභාවය ආනන්ද කුමාරස්වාමිගේ අතින් දැඩි ලෙස විවේචනයට ලක් වුණා. එසේම ඔහු දිගින් දිගටම තම ලිපි වලින් මතු කරන ලද්දේ බටහිර අධ්‍යාපනය විසින් හීලෑ කරන ලද මධ්‍යම පංතියට වඩා පිටිසර ගම්මාන වල නූගත් ජනතාව අතර උසස් සංස්කෘතියක් පවතින බවයි. එසේම ලංකාවේ අධ්‍යාපනය ලබාදීම රටවැසියාගේ මුල් භාෂාවලින් එනම් සිංහල හා දෙමළින් ලබාදිය යුතුයි යන මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේද ආනන්ද කුමාරස්වාමි විසින්. එසේ ම ලංකාවට විශ්ව විද්‍යාලයක ඇති අවශ්‍යතාවය මූලික වශයෙන් මතු කළ අයෙක් ලෙස එතුමාගේ නම ඉතිහාසගත වෙනවා.

 

6. ආනන්ද කුමාරස්වාමිගේ කෘති

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු පෙරදිග සංස්කෘතිය පිළිබඳව කෘතීන් විශාල ප්‍රමාණයක් ආනන්ද කුමාරස්වාමි විසින් රචනා කරනු ලැබුවා. ඒ අතරින් බොහෝමයක් කෘති අද පවා ලංකාවේ පුස්තකාලවලින් සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ ඔහුගේ එවැනි කෘතීන් අතරින් කීපයක නම් පමණයි.

Elements of Buddhist Iconography

Introduction To Indian Art

Buddhist Art

History of Indian and Indonesian Art

Teaching of Drawing in Ceylon

The Indian craftsman

Viśvakarmā ; examples of Indian architecture, sculpture, painting, handicraft 

Rajput Painting

Early Indian Architecture: Cities and City-Gates

 

7. සමු ගැනීම

 

වයස අවුරුදු හැත්තෑවේදී එනම් 1947 සැප්තැම්බර් 9 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේ දී ආනන්ද කුමාරස්වාමි තනි මිනිසකුට තමාගේ ජීවිත කාලයේදී සිදු නොකළ හැකි තරම් අති දැවැන්ත වැඩ කොටසක් සිදු කොට සමු ගත්තා. නමුත් අවාසනාවකට වගේ ජාතියක් විදිහට අපේ ආනන්ද කුමාරස්වාමිට නිසි ගෞරවය ලබා දුන්නාද කියන එක ප්‍රශ්නයක්. හොඳම උදාහරණය වන්නේ නෙළුම් පොකුණ නිර්මාණය කිරීමෙන් පසුව ඒ අසලින් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ නම නෙළුම්පොකුණ මාවත ලෙස නම් කරනු ලැබීමයි. පසුව රජය වෙනස් වීමත් සමඟම ඊට නැවතත් පැරණි නමම ලබා දෙනු ලැබුවා. අවම වශයෙන් එම මාවත අද්දරින් හෝ ආනන්ද කුමාරස්වාමි ගේ පිළිරුවක් හෝ නිර්මාණය කිරීමට බලධාරීන් පියවර ගැනීම මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාට ජාතියක් විදිහට අපිට කළ හැකි සුළු හෝ ගෞරවයක් ලෙස ලෙසට හැඳින්විය හැකි ය.

 

මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ආනන්ද කුමාරස්වාමි මහතා ගැන අනික් අයගේ දැනුවත් වීම සඳහා මේ ආටිකල් එක හැකිනම් ෂෙයාර් කරන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *