දම්රසය ලොව​ට බෙදන සුදු හාමුදුරුවරු

සියවස් ගණනාවක් පුරා ථේරවාද සහ මහායාන බුදු දහම ප්‍රචාරය කිරීමේ කේන්ද්‍රස්ථානය වුණේ ආසියාව. ඒත් මේ වෙද්දි තත්ත්වය කෙමෙන් කෙමෙන් වෙනස් වේගෙන යනවා. බුදු දහම මගින් ලබාදෙන චින්තන නිදහස සහ විවෘත බව නිසා බටහිර රටවල නිදහස් චින්තකයින් බොහෝ දෙනෙක් බුදුදහම කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතිනවා. මේ  නිසා බොහෝ විට අද ලංකාවේ පවා ආරණ්‍ය සේනාසනවල දුෂ්කර ජීවිත ගත කරමින් යුරෝපා ජාතික භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරනවා. අද Lifie මේ සටහන එවැනි භික්ෂුන් වහන්සේ කීප නමක් පිළිබඳවයි.

 

1. ඕලන්දයේ ආනන්ද හිමි 

ඕලන්ද ජාතික තරුණයෙක් සිය උපාධිය ලබා ගැනීමෙන් පසුව සත්‍ය කුමක්ද යන්න පිළිබඳව මහා ගවේෂණයක් සිදු කළා. ඉන්දියාව වෙත පැමිණි  ඔහු පසුව නේපාලය බලාද ගියා. එහිදී බුදු දහමෙන් ඔහු සොයන සැනසීම ලැබෙනු ඇතැයි හෝඩුවාවක් ලැබීම නිසා ඔහුගේ ඊළඟ නවාතැන වුණේ ශ්‍රී ලංකාව. මෙරට දී ඔහුට මුණ ගැසුණු දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන් ඔහුගේ ජීවිතය වෙනස් කළා. භික්ෂු ජීවිතයට එළඹීමෙන් පසුව ඕලන්දයේ ආනන්ද ලෙස හැඳින්වුණ මේ ස්වාමීන් වහන්සේ සිංහල බසින් ධර්මය දේශනා කරනවා.

 

2. ඩෙන්මාර්කයේ ඤාණදීප හිමි

මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව රට වැසියන් බොහෝ දෙනෙක් දැනගත්තේ මෑතකදී සමාජජාලා මාධ්‍ය තුළ සංසරණය වූ ඡායාරූපයක් නිසායි. වසර ගණනාවක් ලග්ගල මහ වනයේ බවුන් වැඩූ උන් වහන්සේ මෙරට භික්ෂූන් වහන්සේලාට පවා ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිළිබඳව ගැඹුරු උපදෙස් ලබා දුන්නා. එසේම එම ආරණ්‍ය සේනාසන අවට ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් පිණ්ඩපාතයේ යෙදුණා. නමුත් උන්වහන්සේ කිසි විටෙකත් ප්‍රසිද්ධිය හඹා නොගිය අතර උන්වහන්සේ ගැන අපිට දැනගන්න ලැබුණේ උන්වහන්සේ ගිලන් වීම නිසා ප්‍රතිකාර ලබා දීමට ගුවන් මගින් වැඩම කරවාගෙන යන අවස්ථාවක ගත් ඡායාරූපයක් නිසායි.

 

3. බෝධි භික්ෂූන් වහන්සේ 

ඇමරිකා එක්සත් ජනපදයේ යුදෙව් පවුලක උපන් උන්වහන්සේ  ගිහි කාලය තුළදී දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත්තෙක්. ආරම්භයේ දී මහායාන භික්ෂු නමක් වූ උන්වහන්සේ ලංකාවට වැඩම කොට බළංගොඩ ආනන්ද මෛත්‍රය මහා නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා යටතේ ථේරවාදී ශාසනයට ඇතුළත් වුණා. ලොව පුරා ඉංග්‍රීසි බසින් ධර්මය ප්‍රචාරය කරන ආයතනයක් වන Buddhist Publication Society (BPS)හි සභාපති ධූරයත් මුන්වහන්සේ විසින් දරනු ලැබුවා.

 

4. අජාන් බ්‍රහ්මවංසෝ 

වර්තමාන ලෝකය තුළ ජනප්‍රියතම භික්ෂූන් වහන්සේ නමක් විදියට අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් සඳහන් කරන්න පුළුවන්. ලන්ඩනයේ උපත ලැබූ උන්වහන්සේ සරසවියේ දී න්‍යායාත්මක භෞතික විද්‍යාව හදාරා පසුව තායිලන්තයේ දී භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වූණා. මෑත යුගයේ ජීවත් වූ මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේ නමක් ලෙස සැලකෙන අජාන් චා හිමියන්ගේ අනුශාසනා ලැබූ උන්වහන්සේ වර්තමානයේ දී ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කරමින් ලොව පුරා දහම් පණිවිඩය රැගෙන යනවා.

 

5. අජාන් සුජාතෝ

ඕස්ට්‍රේලියාවේ උපන් මුන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වීමට පේර සංගීතඥයෙක් වුණා. Suttacentral නමින් බෞද්ධ වෙබ් අඩවියක් ආරම්භ කරමි පුරාණ බෞද්ධ මූල ග්‍රන්ථ පාලි භාෂාවෙන් මෙන්ම විවිධ නවීන භාෂාවලට පරිවර්තන සමගින් බොහෝ දෙනෙකුට පරිශීලනය කිරීමට අවස්ථාව සලසාදීම උන්වහන්සේ අතින් සිදුවූ සුවිශේෂී මෙහෙයක් ලෙස සලකනු ලැබෙනවා 

 

6. අනාලයෝ භික්ෂූන් වහන්සේ

ජර්මන් ජාතික මුන් වහන්සේ තායිලන්තයේ දී පැවිදි දිවියට එළඹුනා. ඒ කාලයේ ලංකාවේ වැඩ විසූ ජගත් කීර්තිධර භික්ෂූන් වහන්සේ නමක් වන ජර්මන් ජාතික ඤාණපෝනික හිමියන් මුණගැසීමට ලංකාවට වැඩම කළත් ඉන් දින කීපයකට පෙර උන්වහන්සේ අපවත් වීම නිසා මෙම භික්ෂූන් වහන්සේ බළංගොඩ ආනන්ද මෛත්‍රය මහා නායක හිමියන් යටතේ ධර්මය විනය හැදෑරූවා. මෑතකදී අපවත් වී වදාළ කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණෝ ද අනාලයෝ හිමියන්ට බොහෝ සැක දුරු කර ගැනීමට උපකාරී වූ කල්‍යාණි මිත්‍ර භික්ෂූන්වහන්සේ නමක්.

 

7. අජාන් අමරෝ 

එංගලන්තයේ කෙන්ට් ප්‍රදේශයේ උපත ලැබූ උන්වහන්සේ පාලි පොත් සමාගමේ (Pali Text Society)හි සභාපතිවරයෙකු වූ අයි.බී හෝනර්ගේ ඥාතිවරයෙක්. සරසවි අධ්‍යාපනය නිමා කළ සමයේ දී තමන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන බලාපොරොත්තු වුණේ රාගය, මත්ද්‍රව්‍ය සහ රොක් ඇන්ඩ් රෝල් සංගීතය බව උන් වහන්සේ පසු කලෙක දී සඳහන් කළා. පසුව අධ්‍යාත්මික ගවේෂණ චාරිකාවක් සඳහා අග්නිදිග ආසියාව කරා යොමුවුණු උන්වහන්සේ අජාන් චා හිමියන් යටතේ මහණ දම් පිරීමට මුල  පිරුවා. වර්තමානයේ කැලිෆෝනියාවේ අභයගිරි විහාරයෙහි ප්‍රධානත්වය දරන උන්වහන්සේ ඇමෙරිකාවට පමණක් නොව සමස්ත බටහිර ලෝකයට ධර්ම දූතයකු වී  සිටිනවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *