ලිෆ්ට් එකකට නගිනවා නම්, ලිෆ්ට් එකක හැසිරෙන්න ඕන විදිය ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා!

Elevator etiquette

දැන් ඔය ලිෆ්ට් නැතිනම් එලිවේටර් කියලා කියන්නේ, පොදුවේ අපි විදුලි සෝපානය කියලා හඳුන්වන දේටම තමයි. ඒ කියන්නේ, තට්ටු කීපයක් තියෙන බිල්ඩින් එකක හති දාගෙන තරප්පු නගින්නේ නැතුව, බොහොම පහසුවෙන් තට්ටු අතර ඉහළ පහළ යන්න පුලුවන් පෙට්ටියක් වගේ ගැජට් එක. ආයෙ ඉතින් ඕක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. ඒ තරමටම විදුලි සෝපානය කියන්නේ ලංකාවේ වුණත් මේ වෙනකොට සුලභ දෙයක්.

 

දැන් අපි ඕනෑම තැනක හැසිරෙන්න ඕන විධි, ඕනෑම තැනකදී අපිට තියෙන්න ඕන ආචාර ධර්ම, හොඳ පුරුදු ගැන කතා කරනවනේ. ආන්න ඒක විදුලි සෝපානයකට නැතිනම් ලිෆ්ට් එකකටත් පොදුයි. මොකද, විශේෂයෙන්ම ලිෆ්ට් එකක් නැතිනම් එලිවේටර් එකක් කියන්නේ, තවත් මිනිස්සු යන එන, පොදු පාවිච්චිය සඳහා තියෙන දෙයක්. අපි මීට කලින් කියලා තියෙනවා ලිෆ්ට් එකකට, නැතිනම් එලිවේටර් එකකට නැග්ගහම කරන්න පුලුවන් ආතල් වැඩ කීපයක් ගැන. එහෙම ඕනම ආතල් එකක් ගන්න අතරේ, ලිෆ්ට් එකේ ඉන්න අනික් මිනිස්සුන්ටත් කරදරයක් නොවෙන විදියට, ලිෆ්ට් එකට හානි සිද්ධ නොවෙන විදියට හැසිරෙන එක වැදගත්. ආන්න ඒ විදියට විදුලි සෝපානයකට නැග්ගහම කෙනෙක්ට තියෙන්න ඕන හොඳ පුරුදු, විදුලි සෝපානයක හැසිරෙන්න ඕන හරි විධි ගැන තමයි මේ කියන්න යන්නේ!

 

01. එළියට එනකල් ඉන්න

Elevator etiquette

දැන් එලිවේටර් එක තමන් ඉන්න තට්ටුවට ඇවිත් නැවැත්තුවට පස්සේ මොකද කරන්නේ? සමහරු කරන්නේ දනි පනි ගාලා එලිවේටර් එක ඇතුළට රිංගගන්න ට්‍රයි කරන එක. මේක ගෙදර යන්න තියෙන අන්තිම බස් එක නෙවෙයි. ඒ නිසා, එලිවේටර් එක ඇවිත් නැවැත්‍තුවහම, මුලින්ම බලන්න එලිවේටර් එක කොයි පැත්තටද යන්නේ කියලා. අපි ඉන්නේ තුන්වෙනි ෆ්ලෝර් එකේ නම්, අපිට යන්න ඕන අට වෙනි තට්ටුවට නම්, එලිවේටර් එක උඩ ඉඳන් පහළට නම් යන්නේ, අපි එලිවේටර් එක කෝල් කරන බට්න් එක එබුවා කියලා ඒක ආයෙ උඩට යන්නෙ නෑ. එලිවේටර් එක අන්තිමට යන පහළම තට්ටුවට ගිහින් තමයි ආයෙ උඩට එන්නේ. ඒ කියන්නේ අන්තිම පහළ තට්ටුවෙත් කවුරුහරි උඩට යන්න ඉන්නවා නම්. ඒක මතක තියාගන. දැන් එලිවේටර් එක අපි ඉන්න තට්ටුවට ඇවිත් දොරවල් ඇරුණහම, ඉවසීමෙන් ඉන්න අනික් අය එළියට එන කල්. දැන් හැමෝම එළියට ආවට පස්සේ, පොරකන්නෙ නැතුව එලිවේටර් එක ඇතුළට යන්නයි තියෙන්නේ.

 

02. “ටූ ෆ්ලයිට්” රූල්

Elevator etiquette

මේක හැමතැනටම වලංගු, හැම කෙනෙක්ටම වලංගු කාරණයක් නෙවෙයි. හැබැයි දැනගෙන ඉන්න එක හොඳයි. සරලවම කිව්වොත්, අපි සෑහෙන්න උස බිල්ඩින් එකක තට්ටු දෙකකට අඩු ප්‍රමාණයක් යන්න නම් එලිවේටර් එක පාවිච්චි කරන්නේ, ඒක කරන්න එපා කියලා තමයි මේ රූල් එකෙන් කියන්නේ. උදාහරණයක් විදියට කිව්වොත්, තට්ටු විස්සක් තියෙන බිල්ඩිමක එක තට්ටුවක් උඩට යන්න නම් අපිට අවශ්‍ය, කරුණාකරලා එලිවේටර් එකේ ඒ තට්ටුව නොයා, තරප්පු පේළියෙන් යන්න කියලා තමයි මේ කියන්නේ. මොකද, තට්ටු දහය පහළොව යන්න එලිවේටර් එකට නැගපු අය එක තට්ටුව තට්ටුව යන්න අවශ්‍ය අය වෙනුවෙන් විනාඩි කීපේ ගාණේ වැය කරන එක කාලය නාස්තිය සහ කරදරයක් නිසා. හැබැයි ඉතින් තට්ටු තුනක බිල්ඩිමක තියෙන එලිවේටර් එකකට මේ රූල් එක අදාළ නෑ. එතකොට අසනීපෙන් ඉන්න, මහන්සියෙන් ඉන්න, වයසක, ගර්භණී හෝ වෙනත් අපහසුතාවයකින් ඉන්න අයටත් මේ රූල් එක අදාළ නෑ.

 

03. සෙනඟ පිරිලද?

Elevator etiquette

ගොඩක් මිනිස්සුන්ගේ තියෙන නරක පුරුද්දක් තමයි තමන්ගේ වැඩේ ගැන විතරක් හිතන එක. ඕක එලිවේටර් එකකට නගිනකොටත් තියෙනවා. දැන් එලිවේටර් එකක ගෙනියන්න පුලුවන් බර සීමාවක් තියෙනවා. ඊට වඩා බර දැම්මොත් සෑහෙන්න අවදානම්. අන්න ඒ නිසාම, අදාළ බර සීමාව පැන්නොත් එහෙම එලිවේටර් එක යන්නෙ නෑ. එතකොට, කොහොමහරි තෙරපිලා එලිවේටර් එකට නැගලා, ඊට පස්සේ මං දන්නෙ නෑ, මං බහින්නෙත් නෑ වගේ ඉන්න එපා. සෙනඟ වැඩියි කියලා පේනවා නම්, ඊලඟ එලිවේටර් එක එනකල් ඉන්න. ජීවිතයත් මරණයත් අතර සටනක නෙවෙයිනේ සාමාන්‍යයෙන් එලිවේටර් එකකට නගින කෙනෙක් ඉන්නේ.

 

ඒ වගේම, එලිවේටර් එකට නගිනකොට, හිතලා බලන්න තමන් යන ෆ්ලෝර් එක මොකක්ද කියලා. උඩම තට්ටුවකට නම් යන්නේ, ඉඩ ඉල්ලගෙන එලිවේටර් එකේ පිටුපස්සටම ගිහින් ඉන්න. එතකොට ලඟ බහින අයට ලේසියි. තමන්ටත් ලේසියි.

 

04. බොත්තම් එක්ක වඳුරෙක් වෙන්න එපා

Elevator etiquette

මේකත් එලිවේටර් එකකට නගින සමහරු කරන නරක දෙයක්. ඒ තමයි වඳුරෙක් වගේ හැසිරෙන එක. දකින දකින බට්න් එක ඔබන්න යන එක. දැන් අපි එලිවේටර් එක අපි ඉන්න ෆ්ලෝර් එකට ගෙන්න ගන්න බට්න් එක ප්‍රෙස් කරනවනේ. ඒක එකපාරක් කළහම ඇති. සිස්ටම් එකට අමතක වෙයි කියලා දහපාරක් ඔබන්න ඕන නෑ. හැබැයි අපි කියමු අපිට ඕන උඩට යන්න, හැබැයි එලිවේටර් එක යන්නෙ පහළට කියලා. එතකොට අපි උඩට යන බට්න් එක ඔබලා ඉන්නවා. එලිවේටර් එක අපිව පහුකරගෙන පහළම ෆ්ලෝර් එකට යනවා. අන්න එතකොට අපි බට්න් එක ප්‍රෙස් කරලා දීපු කමාන්ඩ් එක කැන්සල් වෙන්න පුලුවන්. ඒක දැනගන්න පුලුවන් අපි ප්‍රෙස් කරපු බට්න් එකේ ලයිට් එක නිවුණහම. එතකොට ආයෙත් ඔබන්න ඕන.

 

දැන් එලිවේටර් එකට නැග්ගට පස්සේ, යන්න ඕන ෆ්ලෝර් එකට අදාළ බට්න් එක තමයි ප්‍රෙස් කරන්න ඕන. සමහරු ඉන්නවා වඳුරො වගේ තියෙන තරම් ඔක්කොම බොත්තම් ඔබනවා. එතකොට මොකද වෙන්නේ? බහින්න හෝ නගින්න කෙනෙක් නොහිටියත් හැම ෆ්ලෝර් එකකම එලිවේටර් එක නවතිනවා. අනික් අයගෙත් කාලය නාස්ති වෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ බොත්තම් පැනල් එකට ඈතින් ඉන්න කෙනෙක් අපෙන් ඉල්ලනවා මොකක් හරි බට්න් එකක් ඔබන්න කියලා, එයා යන ෆ්ලෝර් එකට අදාළව. ඒක එබුවට කමක් නෑ.

 

ඒ වගේම, එලිවේටර් එක ඇතුළේ බොත්තම් පැනල් එකේ තව බට්න්ස් කීපයක්ම තියෙනවා. ඒවා සාමාන්‍ය තත්ව යටතේ අවශ්‍ය වෙන්නේ හෝ අදාළව් ඒන්නෙ නෑ. උදාහරණයකට ඉමර්ජන්සි බට්න් එක. එතකොට, සමහරු ඒක එබුවහම මොකක්ද වෙන්නෙ කියලා බලන්න කුතුහලය නිසා ඒක ඔබලා බලනවා. අන්න එහෙම වඳුරු වැඩ කරන්න යන්නත් එපා!

 

05. පර්සනල් ස්පේස්

Elevator etiquette

අපි එලිවේටර් එකකට නැග්ගහම, අනික් අයගේ පර්සනල් ස්පේස් එක ගැන තරයේ හිතට ගන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදියට, එලිවේටර් එකේ තව කෙනෙක්ගේ ඇඟේ ගෑවි ගෑවි ඉන්න එපා. එලිවේටර් එකේ ඉන්නෙ දෙන්නයි නම්, තමන් එලිවේටර් එකේ එක් කෙළවරක හිටගන්න එක තමයි හරි විදිය. සෙනඟ පිරිලා නම් ඉතින් කරන්න දෙයක් නෑ තමයි. හැබැයි සෙනඟ පිරුණු එලිවේටර් එකක වුණත්, පොඩ්ඩක් අනික් කෙනාගේ ඇඟේ දැවටෙන්න යන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න. එතකොට, එලිවෙටර් එකක් ඇතුළේ ඉන්නකොට අනික් අයගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා වගේ, අනික් කෙනාව අපහසුතාවයට පත් වෙන දේවල් එහෙමත් කරන්නෙ නැතුව ඉන්න හිතට ගන්න ඕන. එතකොට, එලිවේටර් එකක යනකොට සාමාන්‍ය විදිය එලිවේටර් එකේ දොර පැත්තට හැරිලා ඉන්න එකනේ. ඒකත් හිතේ තියාගන්න. ඒ වගේම, අනික් කෙනාගේ ෆෝන් එකට එබෙන්න, උරහිස් උඩින් අනික් කෙනා කරන්නෙ මොනවද කියලා බලන්න වගේ දේවල් කරන්නත් එපා.

 

අපි කියමු එලිවේටර් එකට අපි නගින්නේ මොනවා හරි බර බද්දල් ටිකක් අරගෙන කියලා. එහෙමනම්, මුලින් බලන්න එලිවේටර් එකේ කොයි තරම් සෙනඟක් ඉන්නවද කියලා. අපිට එලිවේටර් එකේ ඉන්න අනික් අයගේ පර්සනල් ස්පේස් එකට අවුලක් නැති විදියට අපේ බඩු ටික අරගෙන යන්න බැරි තරමට සෙනඟ ඉන්නවා නම්, කරුණාකරලා ඊලඟ ට්‍රිප් එක එනකල් ඉවසන්න.

 

එතකොට දැන් එලිවේටර් එකකට නැග්ගට පස්සේ ෆෝන් කෝල්ස් ගත්තට අවුලක් නැද්ද? අවුලක් නෑ ඒ කෝල් එක තමන්ගේ පර්සනල් ස්පේස් එකේ තියාගන්න පුලුවන් නම්. ඒ කියන්නේ මහ හයියෙන් අනික් හැමෝටමත් වදයක් වෙන විදියට කෝල් එක ගන්නවා නම් ගැටළුවක්. ඒ වගේම, තමන්ගේ ෆෝන් කෝල්ස් ප්‍රයිවට් විදියට තියාගන්න කියන එක පොදු ආචාර ධර්මයක්. කොහොමත් එලිවේටර් එකක් ඇතුළේ සිග්නල් අවුල් නිසා, හොඳම දේ එළියට ගියාට පස්සේ අවශ්‍ය කෝල්ස් ගන්න එක.

 

06. අනවශ්‍ය දේවල් කරන්න එපා

Elevator etiquette

මේ අනවශ්‍ය දේවල් කරන්න එපා කියන එක නම්, එලිවේටර් එකක් ඇතුළට විතරක් නෙවෙයි, ඕනෑම පොදු හෝ පෞද්ගලික ස්ථානයක කෙනෙක් පිළිපදින්න ඕන ආචාර ධර්ම වලට, හැසිරෙන්න ඕන විදියට අදාළයි. උදාහරණයක් විදියට කිව්වොත්, කොහේදී වුණත් කෙනෙක්ව අනවශ්‍ය විදියට ස්පර්ෂ කරන්න යන්න එහෙම එපා. එතකොට, අපි කියමු එලිවේටර් එකට අපි නගින්නේ අපේ පෙම්වතිය හෝ පෙම්වතා එක්ක කියලා. හැබැයි එහෙමයි කියලා අනවශ්‍ය විදියට හැසිරෙන්න යන්නත් එපා, එලිවේටර් එකේ තවත් එක්කෙනෙක් හරි ඉන්නවා නම්. ඒ කියන්නේ කිස් කරන්න, එකිනෙකාව ස්පර්ෂ කරගන්න වගේ දේවල් එලිවේටර් එකක් ඇතුළේ කරන්න යන්න එපා කියලා කියන්නේ.

 

එතකොට, එලිවේටර් එක ඇතුළේ රණ්ඩු වෙන එක, මතභේද ඇති කරගන්න එක, මහ හයියෙන් කතා කරන එක වුණත් ඔය අනවශ්‍ය දේවල් ගණයට තමයි වැටෙන්නේ. ඒවාත් අර උඩින් කිව්වා වගේ අනික් අයගේ පර්සනල් ස්පේස් එකට කරදරයක් වෙන දේවල් තමයි.

 

07. හෝල්ඩ් ද ඩෝර්

Elevator etiquette

මෙන්න මේක ටිකක් මතභේදාත්මක කාරණයක්. මොකද, අපි කියමු අපි එලිවේටර් එක ඇතුළේ ඉන්නකොට, එලිවේටර් එකට නගින්න දුවගෙන එන මනුස්සයෙක් වෙනුවෙන් එලිවේටර් එක පොඩ්ඩක් හෝල්ඩ් කරන එක මනුස්සකමනේ. හැබැයි අපි කියමු එලිවේටර් එකේ තව සෙනඟ සෑහෙන්නත් ඉන්නවා කියලා. එතකොට, එක මනුස්සයෙක් වෙනුවෙන් එලිවේටර් එක හෝල්ඩ් කරගෙන ඉන්න එක අනික් හැමෝගෙම කාලය නාස්ති කිරීමක් නෙවෙයිද කියලත් සමහරු තර්ක කරනවා. ඕක අපි විසඳගමු මෙහෙම. එලිවේටර් එකේ සෙනඟ ෆුල් පිරිලා නං, තව කෙනෙක් වෙනුවෙන් එලිවේටර් එක හෝල්ඩ් කරන එක තේරුමක් නැති වෙන්න පුලුවන්. මොකද, කලිනුත් කියපු විදියට, එලිවේටර් එකක යන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවනේ. එහෙම වෙලාවට තව කෙනෙක් එනකල් එලිවේටර් එක නවත්තගෙන ඉන්න ඕන නෑ. එතකොට, අපි කියමු කවුරුහරි එලිවේටර් එකට නගින්න එන කෙනෙක් සෑහෙන්න වෙලාවක් යනවා කියලා පේනවා නං, එලිවේටර් එක එක මනුස්සයෙක් වෙනුවෙන් නවත්තගෙන ඉන්න එක තේරුමක් නෑ. ඕක ඉතින් ඒ මොහොතේ හැටියට අපිට තීරණය කරන්න පුලුවන්. තව එකක්, එලිවේටර් එක නවත්තගන්න නම්, වැහෙන දොරවල් අතරට අත තියලත් පුලුවන් තමයි. හැබැයි අපි කියන්නේ, එහෙම නොකර, දොරවල් ආයෙමත් අරින බට්න් එක ඔබලා එලිවේටර් එක නවත්තගන්න කියලා තමයි.

 

අපි එලිවේටර් එකට නැග්ගහම සාමාන්‍ය කාලෙකින් දොරවල් ඉබේම වැහිලා එලිවේටර් එක යන්න පටන් ගන්නවනේ. හැබැයි අපිට ඕන නම් දොර වහන බට්න් එක ඔබන්න පුලුවන්. එතකොට එලිවේටර් එක අර ඔටෝ යන්න පටන් ගන්න කාලෙට කලින් යනවා. හැබැයි අපිට හදිසියි කියලා නැග්ග ගමන් ඩෝර් ක්ලෝස් බට්න් එක ඔබන්න එපා. බලන්න වෙන අය එලිවේටර් එකට නගින්න එනවද කියලත්. කවුරුවත් නැතිනම් විතරක් දොර වහන බට්න් එකට අත තියන්න.

 

08. එළියට එනකොට

Elevator etiquette

දැන් එලිවේටර් එකේ සෙනඟ එහෙම කවුරුත් නැති නම්, එළියට එන විදියේ ගැටළුවක් නැහැනේ. හැබැයි එලිවේටර් එකේ සෙනඟ පිරිලා නම්, ඉන්නෙත් එලිවේටර් එකේ පිටිපස්සෙන්ම නම්, තමන් ඉන්නේ කොයි තරම් හදිසියක වුණත්, සෙනඟ තල්ලු කරගෙන එළියට එන්න උත්සාහ කරන එක වැරදියි.  හොඳම දේ තමයි, ඉස්සරහ ඉන්න අය එළියට යන කල් ඉවසීමෙන් ඉන්න එක. ඉස්සරහා ඉන්න අය මේ ෆ්ලෝර් එකේ බහින්නෙ නැති නම්, එක්ස්කියුස් කරලා ඉඩ හදාගෙන එළියට එන්න පුලුවන්. ඕන නම්, තමන්ගේ ෆ්ලෝර් එකට එලිවේටර් එක එන්න කලින්ම, කියන්න පුලුවන් “ඊලඟ ෆ්ලෝර් එකේ මම නවතිනවා” කියලා. එතකොට ඉස්සරහ ඉන්න අයට පුලුවන් කලින්ම ඉඩ හදලා දෙන්න. එතකොට අපි කියමු අපි ඉන්නේ එලිවේටර් එකේ ඉස්සරහින්ම කියලා. එහෙමනම්, වහාම දෙපැත්තට වෙලා පිටුපස්සේ ඉන්න අයට බහින්න ඉඩ හදලා දෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *