මගුල් ගෙදරක දාන්න ගැලපෙනම සිංදු සෙට් එකක්

Suitable songs for weddings

අද කාලේ විවාහ මංගල උත්සව වලට ගිහින් එන අය ගොඩක් දුරට පසුබිමේ ඇහෙන මහා සද්ද පිළිබඳ තෘප්තිමත් බවක් නම් පෙන්නන්නේ නෑ. “කන් බීරි වුණා ඒ සද්දෙට.. අපෝ දාල තිබුණ සින්දු.. වෙඩින් එක දවසේ දාල තිබුණෙම බූට් සින්දු..” මේ වගේ කතා කොයිතරම් ඇහෙනවද අපට. ඉතින් ඒ හන්දම අපි හිතුවා විවාහ මංගල උත්සව දිනයකදී දාන්න සුදුසු ගීත කිහිපයක් ඔබට යෝජනා කරන්න. බලන්නකෝ ඔබත් මේ ගීත වලට කැමතිද කියලා.

 

1. කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා

 

කැන්දන් යන්නම් රන්වන් මාලා දාලා

පායනා තරුවේ

තරු පළඳා මුතු පළඳා

තරු මුතුවැල් පළඳා

මිල්ටන් මල්ලවආරච්චි ගයන මේ ගීතය හරිම ලස්සන ගීතයක්. මේ ගීතය ගායනා කරන තැනැත්තා තමන්ගේ පෙමැතිය කැන්දන් යන බව කියනවා. “කැන්දන් යනවා’ කියලා අපේ ව්‍යවහාරයේ කියන්නේ විවාහ කරගැනීමට. ඉතින් මේ කැන්දන් යන දිනයේ ඔහු පෙම්වතියට පළඳවන්නේ තරු මුතු වැල් බවයි ඔහු කියන්නේ. ඒ වගේම ඔවුන් එක්ව ගත් කල අතීතය පිලිබඳ මතක් කරන්නත් අමතක කරන්නේ නෑ. ඉතින් පෙම් කරලා විවාහ වන යුවලක්නම් ඒ ජෝඩුවට ගැලපෙනම ගීතයක්. ඒ වගේම අර්ථාන්විත ගීතයක්.

 

2. දුවේ නුඹ මගේ ප්‍රාණයයි

 

දුවේ නුඹ මගේ ප්‍රාණයයි

සැබෑ වූ සුභ සිහිනයයි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි

තාත්ත කෙනෙක් දුවට විවාහ වන දවසේ කියන අපුර්ව ගීතයක්. ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් විසින්. දුවෙක් කියන්නේ සනුහරයේ අභිමානයේ නියෝජනයක්. සිංහලයන්ට අනුව දුවක් සිරිත විරිත දත යුතු පවුලක අභිමානය තබා ගත යුතු තැනැත්තියක්. ඉතින් මේ තාත්ත දුව ගැන සතුටු වෙන්නේ දුව තමන්ගේ පවුලට ආඩම්බරයක් නිසා. මේකේ හරිම අපූරු පද කිහිපයක් තියෙනවා. ගොඩක් අය කියනවනේ තමන් ආදරය කරන අයට “මලක් වගේ බලාගන්නවා” කියලා. ඒත් මේ ගීතයේ මෙහෙම කියවෙනවා. “මම මලක් සේ නුඹ නොහැදුවේ පෙති ගිලී පරවෙන නිසාමයි” කොච්චර අර්ථ පුර්ණ ගීයක්ද..?

 

 3. පුංචි දවස්වල නින්දට යද්දී

 

පුංචි දවස්වල නින්දට යද්දී

පිතූ පාදං නමා මහං කියලා

වැන්ද දෙපා යලි අදත් වඳින්නම්

මංගල ගමනට යන්න අවසරයි පියාණනේ

කලින් අපි කිවුවේ තාත්ත කෙනෙක් දුවට කියන සින්දුවක්. මේක විවාහ වෙන දුවෙක් තාත්තට කියන සින්දුවක්. ගායනා කරන්නේ සුජාතා අත්තනායක මහත්මිය. දුවක් සහ තාත්ත කෙනෙක් අතරේ තියෙන්නේ අරුම පුදුම ආදරයක් සෙනෙහසක්. අපේ රටේ අපේ ජන සමාජයට එද්දී ඒ බැඳීම තවත් වැඩියි. ඉතින් මේ බැඳීම කොතරම් සංවේදීද කියල කියන ගීතයක් තමයි මේ. “දූ ගෙදරින් ගියාම දූ සෙල්ලම් කරපු මල් බෝනික්කෝ ටික, පූස් පැටවූ ටික, පුංචි පොඩි ගවුම් තනි වෙනවා. තාත්ත එක්කයි ඒවා තනි වෙන්නේ. “මුනුපුරෙක් එක්ක ඉක්මනට එන්නම්. තාත්තේ අඬන්න එපා” දූ කියන මේ ආදරණිය කතාව සුදුසු වන්නේ විවාහ උත්සවයකට නෙමෙයිනම් වෙන කොයිබටද..?

 

4. කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

 

කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

කැන්දන් එනවා දුම්බර මැණිකේ

මනුකුල සිරිතට පතිකුලයට අද

කැන්දන් එනවා දුම්බර මැණිකේ

මනාලියක් නිවසට කැන්දන් එනවා කියන්නේ මොන තරම් සුභ කටයුත්තක්ද..? කොච්චර කල එලියක්ද..? කොයිතරම් ලොකු උත්සවයක්ද..? ඒ උත්සවශ්‍රීය කදිමෙට පෙන්නුම් කරන ගීතයක් තමයි “කුල ගෙදරින්” කියන්නේ. මනාලියගේ රුවැති බව, ඒ මනාලියගේ ලස්සන දකින පරිසරයත් පෙමෙන් මුසපත් වෙන අන්දම ගැන මේ ගීතයේ උපමා රූපක බහුලව භාවිත කරමින් අපූරුවට කියනවා. සුනිල් ආරියරත්න මහතාගේ පද වලට හඬ මුසු කරන්නේ බන්ධුල විජේවීර.

 

5. ටිකෙන් ටික ටිකෙන් ටික

 

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර

කටින් කට කටින් කට ලෝකයා දැනගෙන අපේ ගැන

විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද

එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව

පෙම්වතෙක් සහ පෙම්වතියක් මනාලයෙක් සහ මනාලියක් වීම දක්වා කතාව කොයිතරම් සංකීර්ණද.? කොච්චර කරදර වලට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවද..? ගෙදරින් සමාජයෙන් එන බලපෑම්, අධ්‍යාපනය එක්ක ආදරයේ ඇතිවන ඝට්ටනයන්, මිතුරු මිතුරියන්ගේ ඇසුර වගේ බාහිර සාධක ඒ ගමනට කොයිතරම් බලපානවද..? මේක තමයි යථාර්ථය. ඒ යථාර්ථය මනාවට පැහැදිලි කරන ගීතයක් තමයි “ටිකෙන් ටික” කියන්නේ. ගීතය ගායනා කරන්නේ Daddy සංගීත කණ්ඩායම.

 

6. අත් අල්ලා දුරක් ගෙවලා

 

අත් අල්ලා දුරක් ගෙවලා

හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා

නාඳුනනා බවෙන් මිදිලා

දුක් නිවුවා පෙමින් වෙලිලා

නව පරපුරේ ගීතයක් වුණු මෙයත් සුමියුරු පද මාලාවකින් යුක්තයි. පෙම්වතෙක් පෙම්වතියක්, මනාලයෙක් මනාලියක් කියන මේ ඕනෑම යුවලකට විඳින්න පුළුවන් අන්දමේ අපූරු ගීතයක් ලෙස මෙය මා නම් කරනවා. සොඳුරු පෙම් හැඟුම් ඉතාම අලංකාරවත්ව රචනා වී තිබෙනවා වගේම බොළඳ බවව එහා ගිය ප්‍රේමණීය සෙනෙහස මුසු අර්ථයක් ආදරයට ලබා දෙන්නට මේ ගීතයට හැකියාව ලැබිලා තියෙනවා. තමන්ගේ හමුවීම කොතරම් අහඹුද කියලා නැවත නැවත මතක් කරගන්න යුවලකට මේ ගීතය ප්‍රයෝජනවත් වනවා නිසැකයි. ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් වන කසුන් තාරින්ද.

ඉතින් අපි ඔබට ආරාධනා කරනවා විවාහ දිනය දවසේ ගීත ලැයිස්තුවට මේ ගීත ත් ඇතුල් කරගන්න කියලා. අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – kurori.com / slreader.com / srilankatailormade.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *