දැන් අපි ඕනම කෙනෙක් කැමතියිනේ කවුරුහරි අපිට ප්‍රශංසා කරනවට, එහෙම නැතිනම් අපි ගැන වර්ණනා කරනවට. හැබැයි ඉතින් ඒක බොරු වර්ණනාවක්, ප්‍රශංසාවක්, එහෙම නැතිනම් මූනිච්චාවට කියන දෙයක් නෙවෙයි කියන එක අපිට වැටහෙන්නත් ඕන. එහෙම නැතුව බොරුවට, කියන්නන් වාලේ, වෙන කියන්න දෙයක් නැති නිසා, එහෙම නැතිනම් කටට ආවට කෙනෙක් අපි ගැන වර්ණනාවක් හරි ප්‍රශංසාවක් හරි කළාට තේරුමක් නෑ. ඒකේ අපිට වටිනාකමකුත් නෑ. හා නැද්ද? ඇත්තම කියනවා නම්, අපි කැමති නැති දෙයක්, අපි තව කෙනෙක්ට කරන්න හොඳත් නැහැනේ. ආන්න ඒ නිසා තමයි, අපි හරි විදියට කෙනෙක්ට ප්‍රශංසා කරන, හරි විදියට කෙනෙක්ව වර්ණනා කරන කලාව ඉගෙන ගත යුත්තේ. කෙනෙක්ට හොඳක් කියන්නත් අමුතුවෙන් ඉගෙන ගන්න ඕනැද කියලා කෙනෙක් අහයි. උත්තරේ ඔව්. ඇත්තටම අපි කෙනෙක්ට ප්‍රශංසා කරන, වර්ණනා කරන ආකාරය අනුව තමයි ඒකට සැබෑ වටිනාකමක් එකතු වෙන්නේ. ආන්න ඒ නිසා, ඒ සම්බන්ධයෙන් ටිප්ස් කීපයක් ලබාදෙන්න අපි හිතුවා.
1. ජෙනුයින්ව හැඟෙන්න දෙන්න
කෙනෙක්ට ප්‍රශංසා කරනකොට හරි සුබ පතනකොට හරි පළවෙනිම කාරණාව තමයි ඒක ජෙනුයින් වීම. හරි, ඒකනේ ඉතින් මූලිකම කාරණාවත්. ඇයි අපි එහෙම කියන්නේ? අපි කියමු හිතේ එහෙම ජෙනුයින් හැඟීමක් නැතුව අපි කෙනෙක්ට ප්‍රශංසාවක් හරි සුබ පැතීමක් හරි ලබාදෙනවා කියලා. එතකොට අපි ලස්සන වචන වලින් සුබපැතීම හරි ප්‍රශංසාව හරි කරයි. හැබැයි අපේ මූණෙන්, අපේ හඬින්, අපේ හැසිරීමෙන්, අපේ ඇස්වලින්, අපේ හිනාවෙන් ඒ සුබපැතීම හරි ප්‍රශංසාව හරි ලබාදෙයිද? නෑ. අපි කොයි තරම් උත්සාහ කළත්, අපේ මූණෙන්, හැසිරීමෙන්, හිනාවක් නැති කමෙන්, ඒක අපි අවංකවම ලබාදෙන සුබපැතීමක් හෝ ප්‍රශංසාවක් නෙවෙයි කියන එක අනික් කෙනාට දැනෙනවා. එතකොට ඒ සුබපැතීමේ හෝ ප්රශංසාවේ වටිනාකම බිංදුවටම බහිනවා. අන්න ඒ නිසා, සුබපතන්න හරි ප්‍රශංසා කරන්න හරි කලින්, ඒක තමන්ගේ හිතට ජෙනුයින් දැනෙන්න දෙන්න. එහෙම දැනෙන්නේ නැතිනම් තමන්ගේ හිතත් එක්ක තර්ක කරලා හරි ඒක දැනෙන්න ඉඩ දෙන්න.
2. ගෞරවාන්විත වෙන්න
අපි කෙනෙක්ට ප්‍රශංසාවක් හරි සුබපැතීමක් හරි ලබාදෙන කොට, අපි ඒ කෙනාට ගෞරවයෙන් යුතුව සලකන්න ඕන කියන එක මතක තියාගන්න. එහෙම නැතුව කපුටන්ට ආප්ප වාටි විසිකරනවා වගේ සුබපැතීමක හෝ ප්‍රශංසාවක ඇති කිසිම වැදගැම්මක් නැහැ. මෙතනදී අපි කියන්නේ තමන් කියන වචන ගැන විතරක් නෙවෙයි, ඒ කෙනාට සුබපැතීමට හරි ප්‍රශංසාවට හරි ආමන්ත්‍රණය කරන විදිය, හැසිරෙන විදිය වගේ හැමදෙයක්ම මෙතනට ඇතුළත් වෙනවා. කොටින්ම කියනවා නම්, ඒ කෙනාට ආමන්ත්‍රණය කරන්නේ එයාගේ නමෙන් ද, ටයිටල් එකෙන්ද කියන එක පවා මේ ගෞරවාන්විත වීමට අදාළයි. ඒ ප්‍රශංසාව හරි සුබපැතීම හරි ලබාදෙනකොට අපි ඉන්නේ නැගිටලාද, වාඩිවෙලාද කියන ගමන් ද කියන එකත් මෙතනදී වැදගත් වෙනවා.
3. ධනාත්මක ප්‍රශංසාවට එල්ලපු සෘණාත්මක කෑලි
මේකත් අර උඩ කියපු ජෙනුයින් නැතිව කෙනෙක්ට ප්‍රශංසා කරනකොට නැතිනම් සුබ පතනකොට සිද්ධ වෙන දෙයක්. ඒ තමයි, ප්‍රශංසාව හරි සුබපැතීම හරි ලබාදුන්නත්, ඒකට නෙගටිව් කෑල්ලකුත් එකතු කරන එක. “හොඳ ප්‍රසන්ටේෂන් එකක්, ස්ලයිඩ්ස් ටික තව නීට් වුණා නම් තව සෑහෙන්න හොඳ වෙන්න තිබ්බා, නේද?” කියලා කෙනෙක් කියයි. එහෙම නැතිනම්, “ලස්සන ඇඳුමක්, පොඩ්ඩක් ටේබල් ක්ලෝත් එකක් වගේ පේන එක තමයි අවුල” කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ප්‍රශංසාවක හෝ සුබපැතීමක තියෙන වැදගත්කම, අර දෙවෙනියට එල්ලපු කෑල්ලෙන් සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යන්න තියෙන ඉඩ වැඩියි. ඇත්තටම අපි ලබාදිය යුතු විවේචනයක් වුණත්, ප්‍රශංසාව හෝ සුබපැතීම එක්ක එකට ඈඳන්නෙ නැතුව, ඒ විවේචනය ලබාදිය යුතු වෙලාවක් එනකල් ඉන්න එක තමයි හරි විදිය.
මේ ඇරෙන්න සමහරු නොදැනුවත්වමත් ධනාත්මක ප්‍රශංසාවකට හෝ සුභපැතීමකට සෘණාත්මක කෑලි එල්ලලා, තමන්ගේ සම්පූර්ණ ප්‍රශංසාව හෝ සුබපැතීමම නාස්ති කරගන්නවා. උදාහරණයක් විදියට, “ටැමිල් වුණත් ඔයා ලස්සනට ඉන්නවනේ” කියලා කියපු ගමන්, ඒකෙන් අදහස් වෙන්නේ, “ටැමිල් අය ලස්සන නැහැ, හැබැයි ඔයා ලස්සනයිනේ” කියන එක නෙවෙයිද? ඒකෙන් ප්‍රශංසාවක් ගම්‍ය වෙනවට වඩා, නෙගටිව් ස්ටීරියෝටයිප් කිරීමක් ගම්‍ය වෙන්නේ නැතිද?
4. වෙලාව එනකල් ද ඉන්නේ?
ගොඩක් දෙනෙක්ට සිද්ධ වෙන ප්‍රශ්නයක් තමයි, ඇත්තටම ප්‍රශංසාවක් හරි සුබපැතීමක් හරි ලබාදෙන්නේ මොන වෙලාවටද කියලා හරියට තෝරාබේරා ගන්න බැරි වීම. උදාහරණයක් විදියට ගත්තොත්, යම් කිසි කර්තව්‍යයක් අවසාන වෙන්න කලින් සුභපැතීම ඒ තරම් තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි කියමු යාළුවෙක් කතාවක් කරනවා කියලා. එතකොට කතාව පටන් ගත්ත ගමන් හරි, මැදක් යනකොට හරි අපි ප්රශංසාත්මක දෙයක් එයාට මැසේජ් කරන එක ඒ තරම් තේරුමක් නෑ. අනික, ඒකෙන් අපේ සුබපැතුම අර්ථ විරහිතයි කියලා හැඟෙන්නත් පුළුවන්. එතකොට කතාව ඉවර වුණු ගමන්? ආන්න වෙලාව. හැබැයි සමහරුන්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි සබකෝලය. ඒ නිසා, තව කෙනෙක් ප්‍රශංසාවක් හරි සුබපැතීමක් හරි අදාළ කෙනාට ලබාදුන්නට පස්සේ තමනුත් ඒ පෝලිමට එකතු වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. අන්න ඒක කරන්න එපා. තමන් පළවෙනියා වුණාට කමක් නෑ. සුබපතන්න අවශ්‍ය වෙලාවට සුබපතන්න, ප්‍රශංසා කරන්න ඕන වෙලාවට ප්‍රශංසා කරන්න!
5. ටූ කොමන්
ඇත්තටම අපි කෙනෙක්ට ලබාදෙන සුබපැතීමක් හෝ ප්‍රශංසාවක් අතිශයින්ම සාමාන්‍ය වීම නිසා, ඒ ප්රශංසාවේ හෝ සුබපැතීමේ අගය හීන වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, අපි කෙනෙක්ට නිකම්ම කන්ග්රජුලේෂන්ස් කියනවට වඩා කන්ග්‍රැජුලේෂන්ස් චාමික කියලා ඒ කෙනාගේ නමත් එක්ක කියන එකේ වැඩි වටිනාකමක් තියෙනවා. ඒ වගේම, අපි “කන්ග්‍රැජුලේෂන්ස් චාමික ඔන් කම්ප්ලීටින් ද ප්‍රොජෙක්ට් සක්සස්ෆුලි” කියන එකෙන්, තවත් ඒ ප්රශංසාවේ වටිනාකම වැඩි වෙනවා. “ඔයා මේ ප්‍රොජෙක්ට් එක ඉතාම හොඳ කළමනාකරණයකින් මෙහෙයවලා, ටීම් එකටත් හොඳ ආදර්ශයක් ලබාදෙමින් සම්පූර්ණ කලා, ඒකට මගේ සුබපැතුම්” කියලා කිව්වහම අන්න ඒ ප්‍රශංසාව රන් වටිනවා. ඇයි? ඒ ප්‍රශංසාව ඇතුළේ, තමන් ප්‍රශංසා කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙන නිසා. එතකොට, ඒක අර කියන්නන් වාලේ කියන ප්‍රශංසාවක් වෙන්නෙ නැති නිසා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ, ප්‍රශංසාවක් හෝ සුබපැතීමක්, ඒක ලබන කෙනා වෙනුවෙන් ටේලර්මේඩ් කරන්න කියලා!
6. තමන්ව අදාළ කර නොගන්න
කෙනෙක්ට සුබපැතීමක් හෝ ප්‍රශංසාවක් කරනකොට, ඒක ඒ කෙනා සම්බන්ධවයි කියන එක මතක තියාගන්න. සමහරු ඉන්නවා සෑහෙන්න සෙල්ෆ් සෙන්ටර්ඩ්, එහෙම නැතිනම් තමන් ගැනම අවධානය යොමු වෙලා තියෙන. එහෙම කෙනෙක් ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් කරනකොටත් ඒක තමන්ටත් අදාළ කරගන්න උත්සාහ කරනවා. “ඔයා එක්සෑම් එක පාස් වුණාට සුබපැතුම්, ගිය අවුරුද්දේ මාත් ඕක පාස් වුණානේ, මම බැච් එකේ සෙකන්ඩ්” කියලා කිව්වහම, එතන අර තියෙන ප්‍රශංසාව දියාරු වෙලා යනවා. “කන්ග්‍රැජුලේෂන්ස් ඔන් යුවර් ප්‍රොමෝෂන්, අයි ඩිසර්ව් ද නෙක්ස්ට් ප්‍රොමෝෂන්” කියලා කිව්වහමත් වෙන්නේ, අර ප්රශංසාවේ හෝ සුබපැතීමේ තියෙන්න ඕන ජෙනුයින් ගතිය නැතිවෙලා ගිහින්, ඊට වඩා ඒකට කුහක කමක් එකතු වෙන එක. අපි ඇත්තටම ඒක කියන්නේ කුහක හිතින් නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම ගතියක් අනික් කෙනාට දැනෙන්න පුළුවන් අපි ප්‍රශංසාව හෝ සුබපැතීම අපිටත් අදාළ කරගන්න ගියහම!
7. වචන භාවිතයේදී සැලකිලිමත් වෙන්න
මේක ඇත්තටම අදාළ වෙන්නේ, අපි සුබපැතීමක් හෝ ප්‍රශංසාවක් ලබාදෙන්නේ කාටද, කොයි වගේ පසුබිමකදීද කියන කාරණා එක්ක තමයි. සරල උදාහරණයක් විදියට කිව්වොත්, අපි බෝයිෆ්‍රෙන්ඩ්ට සුබපතන විදියට අපේ කාර්යාල සගයෙක්ට සුබ පතන්නෙ නැහැනේ. කාර්යාල සගයෙක්ට සුබ පතන විදියට, අපි කාර්යාලයේ බොස්ට සුබ පතන්නේ නැහැනේ. ආන්න ඒ නිසා, වචන තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. උඩ කියපු ගෞරවාන්විත වෙන්න කියන තැනටත් මේ කියන කාරණාව අදාළ වෙනවා. ඒ වගේම, අපි ඔන්ලයින් හරි, මැසේජ් එකකින් හරි සුබපතනකොටත්, පාවිච්චි කරන ඉමෝජීස්, වචන එහෙම අදාළ විදියට යොදාගන්න ඕන. උදාහරණයක් කිවුවොත්, කාර්යාල සගයෙක්ට ඔෆිස් එකේ ඔන්ලයින් ගෘප් එකක ප්‍රශංසාවක් කරන කොට, කිස් ඉමෝජි එකක් එහෙම දැම්මොත් ඒක කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැනේ. හැබැයි කේක් එකක ඉමෝජි එකක් දැම්මට ඒක ගැටළුවක් නෑ!
දැන් අපි එහෙම කෙනෙක්ට හරි විදියට ප්‍රශංසාවක්, වර්ණනාවක් ලබාදෙන එකේ අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද? සරලයි. ඒකෙන් අපි ගැන ලෝකේට තියෙන අගය වැඩි වෙනවා, තවත් කෙනෙක් සතුටු වෙනවා, ඒ වගේම තවත් කෙනෙක්ව සතුටු කළා කියලා අපේ හිතේත් සතුටක් ඇතිවෙනවා. ඉතින් ඒ මදිද?
Leave a Reply