සෞභාග්‍යමත් රටක් දැයක් හදන්න තමයි 1947 සිට මේ දක්වා අපි මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කළේ. රට සෞභාග්‍යමත් නොවුන එක වෙනම කතාවක්. ඒත් ඡන්ද කියන්නේ රටේ පාලනය තීරණය කරන්න මිනිස්සුන්ට තියෙන හොඳ අවස්ථාවක්. අවසාන වරට පැවැත්වූ ජනාධිපතිවරණයේදී 83%කට වඩා මැතිවරණයේදී ඡන්දය දීලා තිබුනා. ඒ කියන්නේ මිනිස්සුත් තමුන්ගේ ඡන්ද අයිතිය ගැන හොඳ අවබෝධයකින් ඉන්න බවක් පේනවා. අපේ රටේ ප්‍රධාන වශයෙන් මැතිවරණ 4ක් පැවැත්වෙනවා. ඒවා නම් පාර්ලිමේන්තු මහ මැතිවරණය, ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයයි. මේ සඳහා රජය ලොකු මුදලක් වියදම් කරනවා. ඇත්තටම මේ වියදම සහ ඡන්දයට යන කාලය අඩුකරගන්න බැරිද? ඒ ගැනයි මේ විමසුම.
1. ඡන්ද නිවාඩු සහ කාලය
ඡන්දයක් පැවැත්වෙන දවසට පෙර දවස් දෙක තුනකුත් ඉන් පස්සේ දවස් දෙක තුනකුත් අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය විදිහට වැඩ කරන්නේ නැහැ. ගම් රටවල සිට කොළඹ ආපු උදවියට මැතිවරණ නීති අනුවම දිනක් දෙකක් සැපට නිවාඩු හම්බවෙනවා. ඊට අමතරව ඡන්දෙන් පස්සේ ආයෙත් දවසක් දෙකක් විවේක අරගෙන තමයි ලංකාවේ අපි නැවත වැඩට එන්නේ. දියුණු ලෝකේත් එක්ක ගනුදෙනු කරද්දි කාලය වැදගත් සාධකයක් වෙනවා. ලංකාව කියන්නේ ලෝකේ නිවාඩු වැඩිම රටක්. අපිට නිවාඩු 25 ක් අවුරුද්දකට රජයේ නිවාඩු විදිහට ලැබෙනවා. ඒ අනුව මේ ඡන්ද වලට නාස්ති වෙන දවස් කීපයත් රටේ වැඩ කළ නොහැකි දවස් කීපයක් වෙනවා. අපි රටක් විදිහට මේ මැතිවරණ වියදම අඩු කරගැනීම වගේම මැතිවරණ සඳහා නාස්තිවෙන කාලය අඩුකරගන්නට කතාකරන එක බෙහොම වටිනවා.
2. ඡන්ද සහ වියදම
ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන්න පොදුරාජ්‍ය මණ්ඩලීය දූත පිරිසක් ආවා. 2019 නොවැම්බර් ජනාධිපතිවරණය ඉතිහාසේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය සහ සාමකාමීම මැතිවරණය වුනා. මැතිවරණ ක්‍රියාවලිය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය දූත පිරිස සෑහීමකට පත් වෙලා තිබුනා. ඒත් ඡන්ද වලට වියදම් කරන මුදල් වලට සීමාවක් මායිමක් නොමැති වීම ගැන මෙවරත් පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් සිය අප්‍රසාදය පළ කරලා තිබුනා. ඡන්දයකදි මිලියන ගණන් වියදම් කරන ව්‍යාපාරිකයින් නැවත ඒ අදාළ දේශපාලකයින්ගෙන් ඒ වාසි ආදිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඇත්තටම මේ වියදම් අඩු වෙනවා නම් වඩාත් හොඳ වටපිටාවක් ඉස්සරහට හදාගන්න ලේසි වෙනවා.
3. පෝස්ටර් සහ ඇඩ්වර්ටයිසින්
කැම්පේන් එක කියන එක ඡන්දෙකදි ලොකු වැදගත්කමක් ගන්නවා. දැන් දැන් විද්‍යුත් මාධ්‍ය සමාජ ජාලා වලටත් මේ ඡන්ද කැම්පේන් ඇවිල්ලා. එහෙම වුනත් තවමත් නගර ගම් දනව් සිසාරා පෝස්ටර් කටවුට් සහ සැරසිලි දකින්නට තියෙනවා. දැන් ඉස්සර තරම්ම සැරට නැතත් තාප්ප වල පෝස්ටර කැතට හිනා වෙවී ඉන්නවා පේනවා. මේ පොලිතීන්, කටවුට්, සැරසිලි ආදියත් පරිසරයට අමතර බරක්. සන්නිවේදනයට මෙච්චර ඉඩ පහසුකම් තියෙන කාලෙක තමුන්ගේ මූණ තාප්පෙක අලවන එක ගැන දෙපාරක් ඡන්දය ඉල්ලන උදවියත් හිතන්න ඕනි කාලය ඇවිත්.
4. ක්‍රමවේද නවීකරණය වීම
මීට කාලෙකට කලින්, ඒ කිව්වේ 80-90 දශකයේ දි වගේ අපේ බැංකු ගිණුම් තිබුනේ මැනුවලි. අපිට සල්ලි දාන්න හෝ ගන්න ඕනි නම් අපි අපේ ගිණුම තියෙන බැංකු ශාඛාවට ගිහින් අපේ බැංකු ගිණුමට සල්ලි දැම්මා, ගත්තා. ඒත් දැන් ක්‍රමය නවීකරණය වෙලා. දැන් සමහර ගිණුම් වලට පාස්පොතක් ඇත්තෙත් නැහැ. ඉස්සරහට දැන් තියෙන කාඩ් එකත් නැතුව ඇප් එකෙන්ම ඔක්කොම කරගන්න හැකියාව එන්නට නියමිතයි. ඒත් අපේ පරිපාලන සහ ඡන්ද ක්‍රමය තාමත් තියෙන්නේ පසුගිය සියවසේ. රටටම ජනාධිපතිවරයෙකු පත් කරගන්නා අවස්ථාවේදී පවා කොළඹ වැඩකරන තෝරකොළයායේ පුරවැසියාට ඡන්දය දෙන්න තෝරකොළයාය විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයටම යන්න වෙලා. ටිකක් වියදම් කරලා හරිහැටි පරිපාලන පද්ධති නවීකරණය කළා නම් ඡන්දය දෙන්න අදාළ ජීවත්වෙන ගමටම යන්න අවශ්‍යතාවක් එන එකක් නැහැ. මේක ටිකක් අමාරු වැඩක්. ඒත් අමාරුවෙන් හරි කරගත්තොත් අඩුගාණේ ජාතික මැතිවරණ වලදි හරි ඡන්දෙට ගෙදර දුවන් යන්න වෙන කරදරය අඩුකරගන්න පුළුවන්. ඒ වගේම රටක් විදිහට අපිට ඡන්දයට රට වටේ එහෙ මෙහෙ මිනිස්සු දුව ඇවිදින නාස්තිකාර වැඩේ නවත්වාගන්නත් පුළුවන්.
5. ඡන්ද මැෂිම
මැතිවරණයේදි ඡන්දය දාන්න මැෂිමක් ඉන්දියාව පාවිච්චියට අරන් දැන් දශකයකට වැඩියි. ඉන්දියන් මැෂිම ටිකක් පරණ මාදිලිය වුනත් එයාල නොදියුණු ගම් දනව්වල අකුරු නොදන්න මිනිස්සු එක්කත් ඒ යන්ත්‍රයෙන් ඡන්ද දාන වැඩේ දිගටම කරගෙන යනවා. ලොකු පෙට්ටියක් සොයාගන්නට සිදුවීම, දිග ඡන්ද පත්‍රිකාවක් සොයාගන්නට වීම, පත්‍රිකාවේ අදාළ සලකුණු සොයාගැනීම අපහසු වීම පසුගිය මහමැතිවරණයේදී ගැටළු බවට පත් වුනා. ඒත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දාන්න තිබුනා නම් ඡන්ද දාන්න වගේම ගණින්නත් බොහොම ලේසියි. වඩාත් සාධාරණ විදිහේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් ආවොත් ඡන්ද කාර්යමණ්ඩලවලට යන ලොකු පිරිවැයත් යම් ප්‍රමාණයකින් අඩුකරගන්නට හැකියාව තියෙනවා.
6. විදෙස් වල වෙසෙන්නන්ගේ ඡන්දය
වෙන රටවල මැතිවරණ වලදී විදේශ රටවල පදිංචිකරුවන්ටත් ඡන්දය භාවිතා කරන්න අවස්ථාවක් හිමි වෙනවා. ඒත් ලංකාවේ මැතිවරණ ක්‍රමය තුල විදෙස් ඡන්ද මධ්‍යස්ථාන නැහැ. ඒ නිසා ඇතැම් උග්‍ර ලෙසම දේශපාලන උණ සෑදුණු උදවිය ඡන්දය දමන්න රුපියල් ලක්ෂ ගණනින් ගුවන් ටිකට් වෙන්කරගෙන ලංකාවට ආවා. මේකත් එක්තරා විදිහක නාස්තිකාර වැඩක්. අපිට විදෙස් හිතවතුන්ට අඩුගානේ සිංගප්පූරුව, ඩුබායි, මැලේසියා වගේ ට්‍රාන්ස්ට් පොයින්ට් වල හරි ඡන්ද මධ්‍යස්ථාන තියන්න හැකි නම් විදෙස් වල වෙසෙන ලාංකිකයින්ටත් ලංකාවටම එන්නේ නැතුව මගට ඇවිල්ලා ඡන්දේ දාල යන්න හැකියාව ලැබෙනවා. ඒත් දැනට තිබෙන පැරණි මැතිවරණ ක්‍රමවේද අනුවනම් මේක ටිකක් අමාරු වැඩක්.
7. මැතිවරණය නිසි කාලසටහනකට ගැනීම
නොවැම්බර් කියන්නේ අවුරුද්දේ අන්තිම කාලේ. යුරෝප, අමරිකා, ජපාන කොරියාදී රටවලදී ශීත සෘතුව සැර වෙන්නට කලින් වැඩකරන අවසාන කාලේ. ඒ වගේම ලංකාව පැත්තෙන් ගත්තොත් ලංකාවට සංචාරකයින් එන්න පටන් ගන්න කාලේ. අපි සංචාරකයින් අපේක්ෂා කරන රටක්. සංචාරකයින් අතර ටිකක් හයිෆයි සංචාකරයින් වැඩිය කැමති නැහැ අපේ වගේ රටවල මැතිවරණ තියෙන කාලෙට සංචාරය කරන්න. ඒ වගේ සාධක සලකා බලලා මැතිවරණයට නියම කාලයක් තෝරාගෙන අවුරුදු ගාණ නිමාවීමෙන් පසු ඒ කාලයටම නැවත මැතිවරණ පවත්වන්න උත්සාහ ගන්නවා නම් ඒක බොහොම වටිනවා. මොකද ඡන්දයක් හදිසි අනතුරක් වගේ එකපාර පහත් වෙන එක මීඩියා වලට නම් ලොකු ගැටළුක් නොවුනත් කර්මාන්ත සේවා අංශයේ ආයෝජකයින්ට නම් යම් ගැටළු ඇතිකරනවා.
මේ එක කරුණක් වත් හුදෙක් මැතිවරණ කොමිසමට විතරක් විසඳන්න බැහැ. මැතිවරණ කොමිසම කරන්නේ පවතින අදාළ නීති රෙගුලාසි වලට අනුව මැතිවරණ පැවැත්වීම පමණයි. නීති නවීකරණයට ක්‍රමවේද සැකසීම කළ යුතු වෙන්නේ අපේ මහජන නියෝජිතයින්ම තමයි. ඉතින් රටේ නාස්තිය ගැන ලොරි වදන් දෙන දේශපාලකතුමාලා මේ මැතිවරණ වලදී සිදුවෙන නාස්තිය ගැනත් සලකා බලලා කටයුතු කරනවා නම් ඊලග ඡන්දේ ආවම ඒ වෙනස මිනිස්සුන්ගේ ඇඟට ඇත්තටම දැනෙන්නට ගනීවි.
Leave a Reply