ඩිනර් එකට එක ඩිශ් එකකින් බඩ පුරවන්න පුළුවන් රස රෙසිපි 5ක්

උයන එක කොයිතරම් ආස හිතෙන වැඩක් උනත් වෙලාවකට උයන එක මහන්සියක් වගේම කම්මැලිකමක් දැනෙන වැඩක්. ඒත් එහෙමයි කියල ගෙදර ඉන්න බඩගිනි හමුදාවට බඩගිනි උනාම කඩ කෑම කන්න දෙන්නත් හිතට මදිනෙ නේද? එහෙම වෙලාවකට හොදි ජාති දෙක තුනක් හදන්නෙ නැතිව එක ඩිශ් එකෙන්ම ගොඩ දාගන්න පුළුවන් රෙසිපි ටිකක් අපි අරන් ආව. 

 

1. පීටා බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කෝප්ප  2
  2. ඊස්ට් තේ හැඳි 1 1/2
  3. සීනි තේ හැඳි 1
  4. ඔලිව් ඔයිල් මේස හැඳි 1
  5. ලුණු

 

  • ඊස්ට් වලට සීනි කලවම් කරලා මද රස්නෙ වතුර මේස හැඳි 2ක් දාල පිපෙන්න විනාඩි 10-15ක් තියන්න.
  • පාන්පිටි වලට ලුණු තේ හැඳි 1ක් දාලා කලවම් කරගන්න. මේකට තෙල් ටික දාගෙන ඊස්ට් මිශ්‍රණය දාලා අනාගන්න.
  • අතින් හොඳට අනාගෙ​න තෙත මිරිකපු රෙදි කෑල්ලකින් පැය 1/2ක් වහලා තියන්න. ඊට පස්සෙ ආයෙමත් හොඳට අනලා පොඩි බෝල හදලා තව පැය 1/2ක් පිපෙන්න තියන්න. දැන් පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා පැතලි හැන්දකින් තද කරමින් දෙපැත්ත පුළුස්සගන්න. 
  • මෙහෙම හදාගන්න පීටා බ්‍රෙඩ් මැදට කැමති ෆිලින්ග් එකක් දාගන්න පුළුවන්. චිකන් තෙම්පරාදුවක්, බිත්තර ස්ක්‍රැම්බල් එකක්, අල බැදුමක්, සලාදයක් වගේ ඕනම දෙයක්.
  • හොඳටම නැතුව පීටා බ්‍රෙඩ් එක බාගෙට දෙපැත්ත පුච්චල අරන් ෆ්‍රීසර් එකේ සතියක් උනත් පීටා බ්රෙඩ් එක තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අයිස් ගතිය යන්න ඇරල පුච්චගන්න පුළුවන්. 

 

 

2. නූඩ්ල්ස් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 500
  2. පෙති කපාගත් සොසේජස් ටිකක් 
  3. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 2
  4. මීකිරි මේස හැඳි 2
  5. කපාගත් ළූණු ගෙඩි 2
  6. කපාගත් තක්කාලි ගෙඩි 2
  7. කපාගත් අමුමිරිස් කරල් 2
  8. කරදමුංගු ඇට 2
  9. කුරුඳු පොතු කෑලි 2
  10. සීනි තේ හැඳි 2
  11. බිරියානි මසාලා පව්ඩර් තේ හැඳි 2
  12. මිරිස්කුඩු තේ හැඳි 1
  13. කහකුඩු තේ හැඳි 1/2
  14. ගම්මිරිස් ඇට 4-5
  15. එළවළු තෙල් ටිකක්
  16. බැදගත්ත කජු ටිකක්

 

  • භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න. මේකට ඉඟුරු සුදුළූණු පේස්ට්, ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු, අමුමිරිස් හා ළූණු එකතු කරන්න.
  • ළූණු රන්වන්පාට වේගෙන එනකොට තක්කාලි හා සොසේජස් ටික දාගෙන තෙම්පරාදු කරගන්න.
  • සොසේජස් යන්තම් බැදිල තෙම්පරාදු උනාම බිරියානි මසාලා, මිරිස්කුඩු, කහකුඩු, සීනි හා ලුණු එකතු කරලා මීකිරි දාගන්න. විනාඩියක් දෙකක් පිසෙන්න ඇරල අන්තිමට නුඩ්ල්ස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. කජු ටිකක් උඩින් ඉහගන්න. 

 

 

3. ශ්‍රී ලංකන් ස්ටයිල් බේක්ඩ් එග් පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් පැස්ටා පැකට් 1
  2. වයිට් සෝස්
  3. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්

 

බිත්තර මිශ්‍රණ​ය සඳහා

 

  1. බිත්තර 5
  2. කපාගත් ළූණු ගෙඩි 2
  3. කපාගත් තක්කාලි ගෙඩි 2
  4. ලුණු
  5. මිරිස් කුඩු තේ හැඳි 1/2
  6. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. තෙල් ටිකක්

 

වයිට් සෝස් එක සඳහා

 

  1. පාන්පිටි මේස හැඳි 2
  2. බටර් මේස හැඳි 4
  3. චීස් වෙජස් 2
  4. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4

 

  • බිත්තර මිශ්‍රණ​ය හදන්න මුලින්ම බිත්තර ටික කඩලා ගෑරප්පුවකින් ගසාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාගන්න. ළූණු බැදී ගෙන එනකොට බිත්තර ටික දාලා කලවම් කරලා කෑලි හිටින සේ කඩාගන්න. මේකට මිරිස්, ගම්මිරිස්, කහකුඩු, ලුණු දාලා අන්තිමට තක්කාලි දාලා හොඳට කලවම් කරගන්න. තක්කලි ටික තැම්බෙනකම් තියල ලිපෙන් ඉවත් කරගන්න. බිත්ත​ර එක ලෑස්තියි.
  • දැන් වයිට් සෝස් එක හදාගන්න භාජනේකට බටර් ටික දාල ලිපේ තියලා රත්වෙනකොට පාන්පිටි ටික දාලා කලවම් කරගන්න.
  • ෆ්‍රෙශ් මිල්ක් හා චීස් දාලා කලවම් කරලා උකු මිශ්‍රණයක් වෙනකල් හැඳි ගාලා ලිප නිවාගන්න.
  • බේකින් ට්‍රේ හෝ බෝල් එකක් අරගෙන බටර් ටිකක් ගාලා මුලින්ම පැස්ටා ලේයර් එකක් දාගන්න ඊලඟට බිත්තර මිශ්‍රණයෙන් ලේයර් එකක් දාගන්න. ඊලඟට මොසරැල්ලා චීස් ලේයර් එකක් දාගන්න. ඔය වගේ ලේයර්ස් කිහිපයක් දාගෙන අන්තිමට උඩින් මොසරැල්ලා දාලා වයිට් සෝස් එක දාලා 180°ට විනාඩි 20ක් බේක් කරන්න.

 

4. මක්ලුබා රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බාස්මතී හාල් කෝප්ප 2
  2. චිකන් ග්‍රෑම් 500
  3. ලුණු
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  5. කහකුඩු
  6. පෙති කපාගත් වම්බටු කරල් 2
  7. පෙති කපාගත් තක්කාලි ගෙඩි 2
  8. පෙති කපාගත් අල ගෙඩියක්
  9. පෙති කපාගත් ළූණු ගෙඩි 2
  10. කරපිංචා ටිකක්
  11. කරදමුංගු ඇට 2
  12. කරාබු නැටි 4

 

  • බාස්මතී හාල් ටික සෝදලා වතුර බේරල පැය 1/2ක් පෙඟෙන්න තියන්න.
  • චිකන් ටික සෝදලා සාමාන්‍ය කෑලි කපලා ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු තේ හැඳි 1/2ක් දාලා තම්බගන්න. චිකන් ටික වෙනම අරන් ස්ටොක් එක පෙරාගන්න.
  • දැන් මේ චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න.
  • අල, වම්බටු, තක්කලි හා ළූණුත් වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න.
  • දැන් රයිස් කුකර් එකේ අඩියට මේ බැදගත් මස්, අල, වම්බටු, ළූණු හා තක්කාලි දාගන්න. දැන් හාල් ටික දාලා කරපිංචා, කරදමුංගු හා කරාබු නැටි දාලා, කහකුඩු තේ හැඳි 1/2ක් හා ලුණු රස අනුව දාගන්න. ඊට උඩින් පොඟවා ​ගත් හාල් එකතු කරන්න.
  • චිකන් ස්ටොක් ටික දාගෙන, වතුර මදි නම් ඇති ප්‍රමාණයට වතුර දාගෙන බත උයාගන්න. බත ඉදුනම ටිකක් නිවෙන්න ඇරල පිළිගන්වන්න පුළුවන් ප්ලේට් එ​කකට බත හරවගන්න.

 

5. ස්ටෆ්ඩ් පරාටා

පරාටා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. තෙල්
  3. ලුණු

 

ෆිලින් එකට

 

  1. තම්බාගත් අල ගෙඩි 2
  2. කටු රහිත චිකන් ටිකක්
  3. ගරම් මසාලා තේ හැඳි 1
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  7. චොප්කරගත් සුදුළූණු බික් 2
  8. හීනියට ලියාගත් ළූණු ගෙඩි 2
  9. අබ ඇට ටිකක්
  10. තෙල් ටිකක්

 

  • පරාටා හදාගන්න පාන්පිටි වලට ලුණු සහ තෙල් මේස හැඳි දෙකක් දාලා කලවම් කරලා වතුර ටික ටික කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
  • තෙල් ටිකක් අතේ ගාගෙන බෝල හදාගන්න. මේ බෝල උඩින් තෙල් මේස හැඳි දෙක තුනක් දාගෙන පැය තුනක් විතර වහල තියන්න. 
  • ෆිලින්ග් එක හදන්න මුලින්ම චිකන් ටික ලුණු දාල තම්බගෙන ගැඹුරු තෙලේ බැදගෙන මස් තීරු ගලවාගන්න.
  • තෙල් ස්වල්පයක් ලිපේ තියලා රත්වෙනකොට අබ ඇට, චොප්කරගත් ළූණු, සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. මේකට කොත්තමල්ලි කොළ, අමුමිරිස් දාගන්න. ගරම් මසාලා හා කහකුඩු එකතු කරලා ලුණු රස අනුව දාගන්න. චිකන් ටික එකතු කරගන්න. අන්තිමට පොඩි කරගත් අල ටික එකතුකරලා කලවම් කරන්න.
  • දැන් හදාගත්ත පිටි බෝලයක් අරගෙන අතේ තෙල් ගාගෙන, ඒක බාගෙට තුනීකරගන්න. හදාගත් ෆිලින් එකෙන් තරමක බෝල හදාගන්න.
  • මේ හදාගත් ෆිලින්ග් බෝලයක් තුනී කරගත් පිටි මිශ්‍රණය මත තියලා පිටි මිශ්‍රණයෙන් ෆිලින්ග් එක හොඳට කවර් කරගන්න.
  • හොඳට කට වැහෙන්න වහලා ඒ කට පැත්ත යටට තියලා හිමින් රොටිය තුනී කරන්න මේ වෙලාවෙ ඇතුලෙ හුලං පිරීම නිසා රොටිය පැලෙන්න බලනවා ඒ නිසා ගෑරැප්පුවකින් හිල් 3-4ක් රොටිය වටේ නොපෙනෙන්න ඇනගෙන හොඳට තුනී කරගෙන රත් උන තැටියක දාල දෙපැත්ත පුළුස්සගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *