ඩෙල්ෆ්ට් යනු ලංකාවේ උතුරු කෙළවරේ පිහිටි තරමක් විශාල දූපතකි. එයට පිවිසිය හැක්කේ මුහුදු මාර්ගයෙන් පමණි. එනම් යාපනයට ගොස් ඩෙල්ෆ් යෑමට නම් මුලින්ම යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටියට යා යුතුය. නාගදීපයට යන්නේද මේ ජැටිය ඔස්සේය. එම ජැටියෙන් නික්මෙන බෝට්ටුවක නැගී ඩෙල්ෆ්ට් වෙත පිවිසිය හැකිය.
1. ඩෙල්ෆ්ට් ගමන

Source – amila chathuranga
පාන්දරම යන්නේ නම් උදේ 8.00 පමණ නාවුක හමුදාව විසින් වඩතාරකී. නැදුන්තාරකී යන නෞකා දෙකෙන් එකක් ඩෙල්ෆ්ට් වෙත ගෙනයනු ලැබේ. එම යාත්‍රා වඩාත් සුව පහසුය. ඊට අමතරව දවල් 11 සහ 2.30 ආදී වෙලාවන්ටද ඩෙල්ෆ්ට් කරා ඇදෙන යාත්‍රාවෝ වෙති. ඩෙල්ෆ්ට් සිට නැවත පැමිණෙන බෝට්ටු ද කිහිපයකි. එයින් අවසානම බෝට්ටුව සවස 4ට ඩෙල්ෆ්ට් දූවෙන් පිටත් වේ.
2. සැඩ රැලි මතින්

Source – experiencetravelgroup.com
ඇතැම් විටෙක මුහුද රළුය. අප ගිය ගමනේදීද සවස දූපතෙන් නික්මී කුරිකඩ්ඩුවාන් කරා පැමිණෙන විට ගමන සිදුවූයේ සැඩ රළ මතිනි. එම ගමන ලොමු දැහැගන්වන ගමනකි. ඇතැම් විදේශිකයින්ද යාත්‍රාවේ වූ අතර ඔවුන්ද බිය පත් වී සිටියේ යාත්‍රාවේ ගමන බියකරු වූ හෙයිනි. එහෙත් නිතර එවැනි ගමන් ගොස් පුරුදු දූපත් වැසියෝ සහ දරුවෝ නම් කිසිදු ආයාසකයකින් තොරව සනීපෙට නිදාගෙන සිටියෝය.
3. නවාතැන් කෑම බීම

Source – jetwinghotels.com
ඩෙල්ෆ්ට් දූවේ බලාකියාගන්නට තැන් කිහිපයක්ම තිබේ. ඊටත් අමතරව එය ජනාවාස තිබුණද තරමක් පාලු දූපතකි. අපට දූපතක අත්දැකීම යසට විඳගැනීමට හැකි තැනක් ලෙස ඩෙල්ෆ්ට් දැක්විය හැකිය. සාමාන්‍ය නවාතැන් ලෙස නිවාස වල නැවතිය හැකි අතර රු 1500කට සාමාන්‍ය පහසුකම් සහිත නිවාස කාමරයක් වෙන්කරගත හැකිය. සැපදායී හෝටලයක්ද වන අතර එහි නම් කාමර ගාස්තු තරමක් මිල අධිකය. ජැටිය ආසන්නයේම රයිස් කඩයකි. ඇණවුම් කර ගියොත් එතැනින් රයිස් එකක් දමාගත හැකිය. මිල රු 300ක් වූ ඒ රයිස් එක දෙදෙනකුටත් වැඩි එකකි. චිකන් කෑලි සහ සැරට තිබූ එහි මනා රසයක්ද තිබුණි.
4. ගොඩබැසීම සහ ඇවිදීම

Source – amila chathuranga
පාන්දරම ගොස් ජැටියෙන් ඩෙල්ෆ්ට් යාත්‍රාව අල්වාගතහොත් උදේ 9ට දූපතේ සිටිය හැකි ය. අප සමග ගිය යාත්‍රාවේ තවත් 50-60ක පිරිසක් පැමිණ අතර ඇතැමෙක් ඒ ජැටිය ආසන්නයේ නවතා තිබූ මහින්ද්‍රා කැබ් ආදී සංචාරක වාහනවලට ගොඩ විය. දෙදෙනකු පමණ යනවා නම් රු 1500ක් ගෙවා දූපතේ සියලුම වැදගත් ස්ථාන දැකබලාගැනීමට සංචාරක මගපෙන්වන්නෙක් ද සමග ත්‍රීවිලර් රථයක් හයර් කරගත හැකිය. අපේ රියදුරු මිත්‍රයාට යම් තරමකින් සිංහල බස පුලුවන් විය.
5. බයෝබැබ් ගස

Source – amila chathuranga
මුලින්ම අපි බයෝබැබ් ගස කරා නික්මුනි. බයෝබැබ් ගස මන්නාරමෙ පිහිටි එක තරම් විශාල එකක් නොවේ.බයෝබැබ් යනු අප්‍රිකාවෙන් නැව් මාර්ග හරහා ආසියාවට සංක්‍රමණය වූ තරමක් දුලබ ගසකි. ඉන්දියාවේද ස්ථාන කිහිපයකම මෙම ගස් තිබෙන අතර ලංකාවේ සහ ඉන්දියාවේ තිබෙන බයෝබැබ් ගස් මීට අවුරුදු 500කටවත් පෙර අප්‍රිකාවෙන් මෙහි ආ ඒවා විය යුතු බව ඉන්දීය විද්‍යාඥයින් පර්යේශණ මගින් සනාථ කර තිබේ.
6. අශ්වයින්

Source – amila chathuranga
ඩෙල්ෆ්ට් දූව මුල් කාලයේ අරාබි වෙළඳුන්ගේද ඉන් පසු පෘතුගිසි ලන්දේසි සහ ඉංග්‍රිසින්ගේද පසුව ලාංකිකයින්ගේ ද අණසකට ලක්වූ නාවුක කටයුතු වලට මැදිහත් වූ දූපතකි. මෙහි ලන්දේසි සහ අරාබින් විසින් ගෙන ආ යැයි සැලකෙන අශ්වයන් ජීවත් වේ. ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ තවමත් දූපතේ සිටී. ඔවුන්ට සිටීම තැනූ අශ්ව ගාල් දැන් ගරාවැටී පුරාවස්තු බවට පත් වී තිබේ. එහෙත් අශ්වයෝ නම් වෙරලාසන්නයේ තණබිම් වල තවමත් ජීවමානය.
7. මුළු දූවම හිරිගල් ගොඩක් නේ

Source – amila chathuranga
දූපතේ කෙළවරකට ගිය තැන එහි වෙරළක් නැත. කාලයකට ඉහතදී ජීවයෙන් තිබී මියගිය කොරල් පර රැසක් එම කෙළවරේ විය. මුළු දූපතම එකම හිරිගල් ස්ථරයක් මත පිහිටා තිබේ. ඇතැම් තැනක කොන්ක්‍රිට් දැම්මාක් වැනි වූ තදබල හිරිගල් ආස්තරයකි. දූපත් වැසියෝ සිය ඉඩකඩම් වෙන්කරගන ඇත්තේ මෙම පොලවෙන් ලබාගත් හුණුගල් පෙලට තැබීමෙනි. එවැනි තාප්ප ලංකාවේ වෙනත් කිසිම තැනක දකින්නට නැත. උඩරට පලාතේ හිරිගල් කුඩු ගල් වලින් වැවිලි වතු වල ගල් වැටි තනා ඇත්තේ යම් සේද ඩෙල්ෆ්ට් හිදී සුවිශාල හුණු ගල් එක මත එක තබා හුණුගල් තාප්ප තනා තිබේ.
8. බලකොටු නටඹුන්

Source – amila chathuranga
මෙම දූපතේ පැරණි චෛත්‍යයක නටඹුන් තිබේ. මුස්ලිම් ආගම පැතිරීමට ප්‍රථමයෙන් සේද මාවත හරහා රටින් රටට ගොස් ආසියානු මහද්වීපයේ විශාල පදාසයක් තුල පැතිර ගිය මහා ආගම බෞද්ධ ආගම විය. ඒ ආභාෂය නිසා තැනූ එකක්ද පසුව රජෙකු විසින් කරවන ලද එකක් ද යැයි හරියාකාරව සඳහනක් නොමැති මුත් ඩෙල්ෆ්ට් හිද චෛත්‍යයක නටඹුන් තිබේ. ලන්දේසි සහ පෘතුගිසි යුගයකට අයත් විශාල පරිපාලන ගොඩනැගිල්ලක්ද දූපතේ වේ. එම පරිපාලන ගොඩනැගිල්ල ආසන්නයේ එකල පණිවුඩ හුවමාරුවට භාවිතා කල පරවියන් රදවාගන්නා කුළුණක් ද විය.
හිරිගල් සිමෙන්ති භාවිතයෙන් තැනූ මහා ලන්සි බලකොටුවකද විශාල කොටසක් තවමත් ඩෙල්ෆ්ට් හි ඉතිරිව තිබේ. එය සාමාන්‍ය බලකොටුවකට වඩා කුඩා එහෙත් උසැති බලකොටුවකි. දූපතේ කොනක පුරාණ ලයිට් හවුස් එකක් තිබෙන මුත් ත්‍රී රෝද රථයෙන් ඒ වෙත ළඟාවීමට අපහසු හෙයින් එය බලන්නට නොගියෙමු.
9. වෙරළ සහ පරිසරය

Source – amila chathuranga
ඩෙල්ෆ්ට් හි මනරම් වෙරළ තීරයක්ද තිබේ. එහි අපට හමුවූ ජනයාද මිත්‍රශීලිය. ඩෙල්ෆ්ට් තල් ගස් වලින් සමන්විත දූපතක් නිසා මඳක් සොයා බැලුවොත් තල් රා ටිකක්ද සොයාගන්නට අපහසුවක් නොමැත. කර්කශ අව්වේ ස්ථාන නැරඹීම සැමවිටම විනෝදයක් නොවුනත් පාලු දූපතක් ලෙස පෞරාණික නටඹුන් වලින් සමන්විත ඩෙල්ෆ්ට් බැලීමත් එහි දිනක් ගතකිරීමත් මනසට විවේකයක් ලබාදෙන කදිම සංචාරක අත්දැකීමකි.
Cover Image Source – amila chathuranga / wikipedia / experiencetravelgroup.com
Leave a Reply