මේ දේවල් තෑගි දුන්නොත් අයහපත් ප්‍රතිඵල අත් වෙනවාලු!

හෙඩිම දැකලා බයවුණානම් දැන් පොඩ්ඩක් නිවී සැනසෙන්න. මොකද මේ ලිපියෙන් අපි කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් නම් නෙමෙයි. නොයෙකුත් තෑගි ගැන රට රටවල මිනිස්සුන්ගේ තියෙන විශ්වාස ගැනයි අපි මේ කියන්නේ. මේ සමහර විශ්වාස ලංකාවේ අපි අතරත් තියනවා. කියවලාම දැනගන්නකෝ එහෙනම් මොනවද ​මේ විදිහෙ අසුබ තෑගි කියලා.

 

1. ලේන්සු

පෙම්වතාගෙ, පෙම්වතියගෙ නම ගහපු ලේන්සුවක් තෑගි දෙන එක කාලයක් ලංකාවේ පෙම්වතුන් අතරේ ජනප්‍රිය තෑග්ගක් වෙලා තිබ්බා. හැබැයි ඒත් එක්කම පැතිරිලා තිබ්බ තවත් කතාවක් තමයි ලේන්සුවක් තෑගි දෙනවා කියන්නෙ අනාග​ත ඇඬීමක් සංකේතවත් කරන දෙයක්ය කියන එක. ලේන්සුවක් තෑගි දුන්නට පස්සෙ ඇඬූ කඳුලින් ගත කරන්න වෙන නරක කාලයක් උදා වෙලා පෙම් සබඳතා, මිත්‍ර සබඳතා දුරස් වෙන්න පුළුවන් කියන විශ්වාසය අපේ රටේ විතරක් නෙමෙයි, ඉන්දියාව සහ සමහර යුරෝපීය රටවල උදවිය අතරත් තියනවා

 

2. ඔරලෝසු

ඔරලෝසු කිවුවම කාලය සංකේතවත් වෙන බිත්ති ඔරලෝසු සහ අත් ඔරලෝසු කියන දෙවර්ගයම මේකට අයිතියි. මේ විශ්වාසය ගොඩක්ම තියාගෙන ඉන්නෙ චීනෙ උදවිය තමයි. ඔරලෝසුවක් තෑගි දීම මගින් ඒක තෑගි ලබන පුද්ගලයාට ජීවත් වෙලා ඉන්න තියෙන කාලය සීමා සහිත බවකුත්, ඔහුගේ මරණය ළඟ බවකුත් සංකේතවත් වෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. තවත් සමහරු කියනවා ඔරලෝසු තෑගි දීමෙන් ආදර සම්බන්ධයක් හරි යාළු මිත්‍ර සම්බන්ධයක් හරි ඉතා කෙටි කාලයකින් බිඳිල යන්න බලපානවා කියල. අපි නම් ඉතින් ඕව දන්නෙ නෑ ඕං.

 

3. හිස් මුදල් පසුම්බි

වොලට් එකක්, පර්ස් එකක් කියන්නේ ඉතින් තෑගි දෙන්න කදිම භාණ්ඩයක්. එහෙවු එකක් අසුභ වෙනවා කියන්නෙ මොන මල විකාරයක්ද නේද? මෙහෙමයි, මේ මුදල් පසුම්බි සම්බන්ධ අසුභ විශ්වාසයට අනුව කියන්නේ මුදල් පසුම්බි තෑගි දෙන්න එපා කියල නෙමෙයි. එහෙම එකක් තෑගි දෙද්දි අඩුම තරමේ එක කාසියක්වත් ඒක ඇතුළට දාල දෙන්න කියලයි. එහෙම නැති වුණොත් ඒ මුදල් පසුම්බිය පාවිච්චි කරන කෙනාට වගුතුවක් නැති වෙලා යනවා කියලයි ඒ අය විශ්වාස කරන්නෙ.

 

4. කළු ඇඳුම්

මේක ගොඩක්ම තායිලන්තේ මුල් බැසගත්ත තෑගි සම්බන්ධ මිත්‍යා මතයක්. ඒ තමයි කළු ඇඳුමක් කෙනෙක්ට තෑගි දීම අසුබය කියන එක. එමගින් තෑගි ලබන පුද්ගලයාගෙ මරණය සංකේතවත් වෙනවා කියලයි ඒ උදවිය විශ්වාස කරන්නේ. මේ විශ්වාසය කොහොම වුණත් ලංකාවෙත් ගොඩක් අය තෑගි දීම කෙසේ වෙතත් සුබ වැඩකදී හරි සුබ දවසකදී හරි කළු ඇඳුම් අඳින එකෙන් නම් වළකිනවා කියල ඔයාලත් දැකල ඇති.

 

5. වීදුරු භාණ්ඩ

ලංකාවේ මඟුලට, උපන්දිනේට, ගෙට ගෙවදිල්ලට, අවුරුදු උත්සවේ තරඟයක් දින්නාම වගේ එකී මෙකී නොකී හැම දේටම දෙන කොමන් ම තෑග්ගක් තමයි වීදුරු සෙට් එක. මේ විශ්වාසේ හැටියට එහෙම තෑගි ලැබෙන වීදුරු බඩු බිඳුනොත් ඒක අසුභයිලු. එහෙම වුණාම තෑගි දුන්න කෙනත් එක්ක තෑගි ලබපු කෙනාගේ හිතවත්කම බිඳිල යනවලු.

 

6. සපත්තු

කවුද අකමැති ලස්සන සපත්තු කුට්ටමක් තෑගි ලැබෙනවට? හැබැයි සමහර මිත්‍යා විශ්වාසවලට අනුව සපත්තු තෑගි දෙන එකත් අප්සට්ලු. එයින් වෙන්නේ සපත්තු තෑගි ලබන කෙනා අපේ ජීවිතෙන් ඉවතට ඇවිදගෙන ගිහින්, අපෙන් ඈත් වෙලා යන්න බලපාන එකලු.

 

7. උල් සහිත භාණ්ඩ

විශේෂයෙන්ම පිහි සහ කතුරු මේ තෑගි වර්ගයට අයිති වෙනවා. මේක ආසියාවේ වගේම සමහර යුරෝපීය රටවලත් පැතිරිලා තියන මිත්‍යා විශ්වාසයක්. මෙහෙම දෙයක් තෑගි දීමෙන් දෙන්නෙක් අතර තියන සම්බන්ධතාවය කැපිලා ගිහින් දුරස් වීමක් සිද්ධ වෙනවා කියලයි කියන්නෙ. ඊට අමතරව තෑගි ලබන පුද්ගලයාගෙ ජීවිතේට අනතුරක්, විපතක් වෙන්නත් මේක බලපානවා කියලා සමහරු විශ්වාස කරනවා.

 

අපි නම් ඉතින් කියන්නේ හොඳ හිතින් දෙන තෑග්ග මොකක් වුණත් ඒකේ අගයක් තියනවා කියල තමයි. ඒ ව​ගේම ලොකු පොඩි භේදයක් නැතිව ලැබෙන තෑග්ග ලබන පුද්ගලයාත් ඒක සතුටින් භාරගන්න ඕන. එතකොට මේ කිසි දෙයක් අසුභ තෑගි වෙන එකක් නම් නෑ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *