කොරෝනා සටනේ ඉදිරියෙන්ම ඉන්න චීන Sinopharm එන්නත

කොරෝනා පරදවන්න එන්නත්කරණය සැරටම කෙරීගෙන යන මේ කාලෙ, ඒ වගේම එකම අවසාන බලාපොරොත්තුවත් එන්නත්කරණය විතරක්ම වෙලා තියෙන මේ කාලෙ ඒ ලබාදෙන විවිධ එන්නත් ගැන පැහැදිළි, සරල විස්තරයක් අරගෙන එන එක අපේ වගකීමක් කියල හිතන නිසාම ඔන්න අද චීන sinopharm එන්නත ගැනත් අපි මේ විදිහට කතා කරන්න හිතුවා. මීට කලින් අපි Oxford AstraZeneca හෙවත් Covishield එන්නත ගැනත් Gam-COVID-Vac හෙවත් රුසියානු Sputnik V එන්නත ගැනත් කතා කළානේ. මේ දෙකට අමතරව ලංකාවේ දැනට ලබාදීම සිදුකරන අනිත් එන්නත තමයි චීනයේ නිෂ්පාදනය කරන Sinopharm එන්නත. ඒ වගේම මේ දිනවල වැඩියෙන්ම ලබාදෙන එන්නතත්, ඉදිරියේදී වැඩියෙන්ම දෙයි කියල හිතන්න පුළුවන් එන්නතත් මේ චීන Sinopharm එන්නතම තමයි. ඒ නිසා බලමුකෝ Sinopharm එන්නත ගැනත් මේ විස්තරය.

කොරෝනාට එරෙහි Covishield එන්නත ගැන ඇත්ත නැත්​ත

ලංකාවේ කොරෝනා පරද්දන්න අලුතෙන්ම ගෙන්වන රුසියානු Sputnik V එන්නත

 

 

1. Sinopharm එන්නත

මේ එන්නතත් කොරෝනා රෝගය පරද්දන්න භාවිතා කරන ප්‍රතිශක්තිකරණ එන්නතක්. හැබැයි කලින් කියපු එන්නත් දෙකට වඩා මේ එන්නතේ තියෙන විශේෂත්වය තමයි මේ එන්නත හරහා දුර්වල කරන ලද සම්පූර්ණ කොරෝනා වයිරසයම ශරීරගත කිරීම. කලින් කියපු එන්නත් වලදී එන්නතේ ස්පයික් ප්‍රෝටීන කොටස්නේ ශරීරයට ලබාදීම සිදුකළේ. නමුත් වයිරසයම අඩංගුවෙන එන්නත් මේ වෙනකොට ලෝකයේ තියෙන්නෙ දෙකයි. එකක් තමයි චීන Sinovac එන්නත. අනිත් එක තමයි අපි මේ කතා කරන Sinopharm එන්නත. එන්නතේ නම වෙන්නෙ BBIBP-CorV කියන නම. හැබැයි වෙළඳ නාමය විදිහට නම් කරල තියෙන්නෙ එන්නත නිපදවන ආයතනයේ නම. ඒ කිව්වේ Sinopharm කියන නම. ඒ නම අනුව මේ එන්නත Sinopharm BBIBP-CorV සහ Sinopharm COVID-19 vaccine කියන නම් දෙකෙන්ම හැඳින්වෙනවා. 

 

 

2. සොයාගැනීම සහ නිෂ්පාදනය

එන්නත සොයාගැනීමේ ගෞරවය වගේම එන්නතේ නිෂ්පාදන අයිතිය හිමිවෙන්නෙත් චීනයේ Sinopharm කියන ආයතනයට. Sinopharm කියල කියන්නෙ චීන රජයට අයත් චීන ජාතික ඖෂධ සමූහ සංස්ථාව. මේ ආයතනයට අමතරව දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, සර්බියාව, බෙලරුස් රාජ්‍යය සහ බංගලාදේශය කියන රටවල් තම තමන්ගේ රටවල් තුළ මේ එන්නත නිපදවන්න ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. 

 

 

3. සායනික පරීක්ෂණ

එන්නත සොයාගත්ත Sinopharm ආයතනයට 2020 අප්‍රේල් මාසෙදි චීන රජයේ අනුමැතිය ලැබෙනවා පළමු අදියරේ සායනික පරීක්ෂණ ආරම්භ කරන්න. 2020 ඔක්තෝම්බර් 15 වෙනකොට මේ ආයතනය එයාලගේ පළමු සහ දෙවන අදියරේ සායනික පරීක්ෂණ වල ප්‍රතිඵල නිකුත් කරනවා. ඒ ප්‍රතිඵල අනුව පළමු අදියරේ සායනික පර්යේෂණ වලට සහභාගී වුණු වැඩිහිටියන් 192ක් සහ දෙවන අදියරේ සායනික පර්යේෂණ වලට සහභාගී වුණු වැඩිහිටියන් 448 කගෙන් සියළුම දෙනා සාර්ථකව කොවිඩ් වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම සිදුකළ බවට ඔවුන් තොරතුරු ඉදිරිපත් කරනවා. තෙවන අදියරේ සායනික පර්යේෂණ රටවල් ගණනාවක මේ වෙනකොටත් කෙරෙමින් පවතිනවා. 

 

 

4. සාර්ථකභාවය

එන්නතේ අනුමැතිය ලබාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරපු දත්ත අනුව එන්නතේ සාර්ථකභාවය 78.1% ක් කියල තමයි සඳහන් වෙන්නෙ. ඊට අමතරව විවිධ රටවල සිදුකරපු පර්යේෂණ අනුව මේ එන්නතේ විවිධ කාර්යක්ෂමතා අගයන් පෙන්නුම් කරනවා. Pfizer සහ Moderna වගේ mRNA එන්නත් මීට ඉහළ ඒ කිව්වේ 90%ට වඩා වැඩි කාර්යක්ෂමතා අගයන් පෙන්වුවත් ඒවා ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී අධික සීතල පාරිසරික තත්ත්වයන් අවශ්‍ය වෙන නිසා හුඟක් රටවල් වලට භාවිතා කරන්න අපහසුයි.

 

 

5. එන්නත්කරණය ආරම්භය

එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂණ වල අන්තර් ප්‍රතිඵල නිකුත් කිරීමත් එක්ක රටවල් විශාල සංඛ්‍යාවක් මේ එන්නත ඇනවුම් කරන්න පටන් ගන්නවා. ලංකාව ඇතුළු සියළු මහද්වීප වලට අයත් රටවල් විශාල සංඛ්‍යාවක් මේ එන්නත මේ වෙනකොට භාවිතා කිරීම ආරම්භ කරල තියෙනවා. 

 

 

6. අනුමැතිය

හැබැයි මේ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන්නේ 2021 මැයි 7 වෙනිදා. ඒ කියන්නෙ මේ බොහොම මෑතක. එන්නතේ තෙවන අදියරේ සායනික පර්යේෂණ වල ප්‍රතිඵල නිකුත් කරන්න සිදුවුණ ප්‍රමාදයත් මේ අනුමැතිය ලබාගැනීම ප්‍රමාද වෙන්න හේතුවක් වුණා කියලා සැළකෙනවා. කොහොම උනත් මේ වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ අනුමැතියත් ලබාදීලා තියෙන නිසා එන්නත ගැන හුඟක් අයට තිබුණ සැක සංකා බොහෝදුරට දුරුවෙලා තියෙනවා.

 

 

7. ලංකාවේ එන්නත්කරණය 

2021 මාර්තු මාසයේදී තමයි ලංකාවේ රජය මේ එන්නත අනුමත කිරීම සිදුකරන්නේ. ඒ අනුව මාර්තු මාසයේදී එන්නත් ප්‍රධානයන්  ලක්ෂ 6ක ප්‍රමාණයක් ලංකාවට ලැබෙන අතරේ මැයි මාසයේදී තවත් ලක්ෂ 30ක එන්නත් ප්‍රමාණයක් ලංකා රජය මිලදී ගන්න ඇනවුම් කරල තිබෙන බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. හැබැයි ලංකාවේ එන්නත්කරණය ආරම්භ වෙන්නේ මැයි 7 ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබුනට පස්සෙ මැයි 8 වෙනිදා ඉඳලයි. මේ වෙනකොට කොරෝනා අවදානම ඉහළින්ම තියෙන බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශයන්වල මේ එන්නත්කරණය ආරම්භ කරල තියෙනවා. 

 

දැනට ලංකාවේ භාවිතා වෙන මේ එන්නත් වර්ග තුනම ගැන සවිස්තරාත්මකව මේ කරුණු කියල දුන්නට පස්සෙ මෙන්න මේ කාරණාවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. WHO එහෙමත් නැත්තම් ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු ඉදිරිපත් කරන විදිහට මේ සියළුම එන්නත් වලට කොවිඩ් රෝගය දරුණු තත්ත්වයට පත්වීම සහ ඒ හේතුවෙන් ඇතිවෙන රෝහල් ගතවීම් සහ මරණ පාලනය කරන්න විතරයි තවම හැකියාව තියෙන්නෙ. ඒ කියන්නෙ මේ එන්නත් ලබාගත්තයි කියල රෝගය නොහැදී තියෙනවා කියල තවම තහවුරුවක් නැහැ. ඉතින් අපේ උපදෙස් මෙන්න මේවයි.

  • ලැබෙන එන්නත් ප්‍රමාණය සීමාසහිත නිසා එන්නත ලබාගන්න ලැබෙන පළමු අවස්ථාවේදීම තෝරාගැනීම් නොකර, අපිට ලෙඩේ හැදෙන්නෙ නැහැ කියල අධි තක්සේරුවෙන් නොඉඳ හැකි ඉක්මනින් එන්නත ලබාගන්න. 
  • එන්නත ලබාගත්ත කියල ගැම්මෙන් රෝගයේ අවදානම නොසළකා නොඉඳ මේ වසංගත අවදානම ඉවරයි කියලා හරි තහවුරුවක් සෞඛ්‍ය අංශ වලින් ලැබෙනකන් කලින් වගේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරල පරිස්සම් වෙන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *