ආසියාවේ සුන්දරම සංචාරක ස්ථාන අතර ලංකාවද බොහෝ ලැයිස්තු වල ඉහළින්ම තියෙනවා. විදේශිකයින්ගේ වාර්තාවන්ට අනුව ලංකාව යනු සොබාදහම සහ සංස්කෘතික අගයන් හොඳින් විඳගත හැකි ලාබදායී තැනකි. ලංකාවේ අපිද අයිති වන ආසියානු කලාපයේ තවත් සුන්දර ස්ථාන බොහෝ ගණනක් තියෙනවා. හිමාලයේ ඇති උස් කඳු මුදුන්, ගෝබි, කර්කුරම් ආදී කාන්තාර මෙන්ම ඉන්දුනීසියාවේ සුන්දර පැසිපික් සාගරීය දූපත්ද ලොව විශාලතම මහද්වීපය වන ආසියානු මහද්වීපයට ඇතුළත් වෙනවා. එයින් වඩාත්ම සුන්දර ස්ථාන දැකබලාගෙන විඳගන්න වර්ෂයකට ලක්ෂ ගණනින් සංචාරකයින් ඒ ස්ථාන කරා යනවා. අපි ඒ වගේ තැන් කිහිපයක් ගැන දැනගමු.
1. පොකරා

Source – andbeyond.com
කඳු බලන්නට, කඳු නගින්නට ආස අයට නම් නේපාලය තරම් ලෙහෙසි තැනක් තවත් නැහැ. පොකරා කියන්නෙත් කඳු වලින් වටවුණු ලස්සන නගරයක්. ඒ නගරයේ ෆෙවා විල අවට සංචාරකයෝ ගොඩක් ගැවසෙනවා. ෆෙවා විලේ බෝට්ටු පදින්න, විල අසල කන්දේ තිබෙන ජපන් පංසලට යන්න වගේම විල් තීරයේ ඇවිදින්නත් පොකරා එන සංචාරකයෝ අමතක කරන්නේ නැහැ. පොකරා වල ඉඳන් අන්නපූර්ණා කඳු වැටියේ පොඩි දුරක් නැගලා හිමකඳු බොහොම ළඟින්ම බලලා බැහැලා එන්නත් හැකියාව තියෙනවා. ස්කයිඩයිවින්, දියඇලි හරහා ඇවිදීම්, වෝටර් රාෆ්ටින්, බයිසිකල් රයිඩින් වගේ සංචාරක විනෝද වැඩ ගොඩාක් පොකරා ගියොත් ලාබෙටම ලබාගන්න පුළුවන් වෙනවා.
2. බාලි

Source – travelzom.com
ඉන්දුනීසියාව ලංකාවේ අයට වීසා නැතුව යන්න පුලුවන් තැනක්. මෑතකදී ගිනිකඳු දෙකක්ම බාලි ආසන්නයේදි පුපුරා ගියත්, ඉන්දුනීසියානුවන්ට ගිනිකඳු කියන්නේ එදිනෙදා සිදුවන රිය අනතුරු වගේ සාමාන්‍ය අත්දැකීමක්. බාලි වල ලාංකික අපිට නම් එච්චරම විශාල වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ. ගිනිකඳු දැකබලාගැනීම සහ යාබදව පිහිටා ඇති කොමඩෝ උරගයින් බැලීම නම් අපිටත් අලුත් අත්දැකීමක්. බාලි ලෝකයේ සංචාරකයින් අතර නම් ප්‍රචලිත වන්නේ ලස්සන මුහුදු තීරය නිසා. නිල්වන් මූදු ජලයේ කරන සර්ෆින්, කිමිදීම් ආදියත් බාලි වලදී විඳගන්නට හැකියි. අපේ නුවර පැත්තේ හෙල්මලු තියනවා වගේ බාලි වලත් කඳුකරයේ බොහොම ලස්සනට වගා කටයුතු කරලා තියෙනවා. විදේශිකයෝ ඒ හෙල්මලු වල ඇවිදලා, ඒ ගොවීන් එක්ක ගොවිතැන් කටයුතු කරලා ඒ අත්දැකීම් ලබාගන්නවා.
3. වාරණාසි

Source – micato.com
බෞද්ධ චරිතයේදි එදා බරණැස කියාල හඳුන්වපු අනේපිඬු සිටුතුමා ආදී ප්‍රභූවරුන් හිටපු පළාතට අද කියන්නේ වාරණාසි කියලා. ගංගා නම් ගඟට යාබදව පිහිටා ඇති වාරණාසි, ගංගා නම් ගඟේ පූජාවන් පවත්වන අය අතර බොහොම ප්‍රකට තැනක්. ඒ හින්දු පූජා කටයුතු වල ආශිර්වාදය ලබාගන්න ඉන්දියානු ජනතාවත්, ඒවායේ සිරි අසිරි බලන්නට විදේශිකයිනුත් වාරණාසියට පැමිණෙනවා. ලංකාවේ කෙනෙක් වාරණාසි යනවා නම් ඒ අසල තිබෙන බුද්ධගයාව අමතක කරන්නට බැහැ. වාරණාසි සිට පැය 2-3ක ගමනකින් ළඟාවෙන්නට හැකි බුද්ධගයාව ලොව පුරා බෞද්ධ ජනතාවගේ පුදපූජාවට ලක්වෙන තැනක් ලෙස ප්‍රසිද්ධයි. ඉන්දියානු හින්දු සංස්කෘතික අංගයන් බලාගන්න වගේම ඉන්දියානු ජන ජීවිතයේ එක්තරා පැතිකඩක් දැකගන්නත් වාරණාසිය ප්‍රකට තැනක් විදියට විදේශීය සංචාරකයින් දක්වා තියෙනවා.
4. හනොයි – වියට්නාමය

Source – vietnam-guide.com
වියට්නාමය උතුරු සහ දකුණු ලෙස බෙදිලා යුද්ධ කරද්දි හෝ චි මිං කියන ගරිල්ලා නායකයා සිටි උතුරු වියට්නාම අගනුවර තමයි හනොයි. හනොයි හි පිහිටා ඇති හා ලොන් බේ කියන සුන්දර දූපත් රැසකින් සමන්විත මුහුදු බොක්ක බොහොම ආකර්ෂණීය තැනක්. ඒ හා ලොන් බේ හි බෝට්ටු සවාරිය හනොයි වෙත එන කෙනෙක් ලබාගත යුතුම අත්දැකීමක්. බොහෝ දේ අඩුමිලට ලබාගත හැකි හනොයි හිදී මසාජ්, ස්පා පහසුකම් ආදිය අඩුමිලට ලබාගන්නටත් හැකියි. හනොයි ආසන්නයේ කඳුවැටි නැරඹීම, ඒවායේ නැගීම මෙන්ම නගරයේ සිරි නැරඹීමත් එහි එන සංචාරකයින් අතර ජනප්‍රියයි.
5. සියම් රීප් – කාම්බෝජය

Source – cambodia-hotels.com
ථෙරවාදී බෞද්ධ උරුමය තවමත් පවතින එක් රටක් වන කාම්බෝජය පෞරාණික නටඹුන් ආදියට කැමති අයට විශේෂිත තැනක් වෙනවා. කාම්බෝජයේ පැරණි නටඹුන් රාශියක් තවමත් පැරණි ආකාරයට සුරැකී තිබෙනවා. කාම්බෝජයේ සියම් රීප් හි ඇති පෞරාණික බුදු පිළිම, චෛත්‍ය කර්මාන්ත ආදිය බෞද්ධ අබෞද්ධ හැමගේම සිතේ පහන් සංවේග උපදවන්නට හේතු වෙනවා.
6. චියන් මායි – තායිලන්තය

Source – chiangmai.bangkok.com
උතුරු දිග තායිලන්තයේ චියන් රායි පළාත පසුගිය කාලයේ ළමුන් පිරිසක් භූගත ගුහාවක සිරවී බේරාගැනීමත් සමග ජනප්‍රිය වුනා. ඊට කිලෝමීටර 200ක් ආසන්නයේ ඇති චියන් මායි අද කාලයේ තායිලන්තයේ ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයකි. බැංකොක් සහ ෆුකට් තරම් විශාල තදබදයක් නැති චියන් මායි හි අසිරිය විඳගන්නට බැක් පැක් සංචාරකයින් වැඩිවශයෙන් පැමිණෙනවා. චියන් මායි පළාතේ අලි ඇතුන්, දිවියන් සිටින දර්ශනීය ජාතික වනෝද්‍යාන තිබෙනවා. එසේම බෞද්ධ බහුතරයක් සිටින මේ පළාතේ පංසල් වෙහෙර විහාරද සංචාරකයින්ගේ සිත් ගත් ස්ථාන වෙනවා. කඳුකර කොටස් සහිත මේ පළාතේ කඳුකර පරිසරයේ ඇති දිය ඇලි සහ භූමි දර්ශන විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබාගන්නට සමත් වෙලා තියෙනවා.
7. කියෝතෝ – ජපානය

Source – handluggageonly.co.uk
ජපානයට පරමාණු බෝම්බ හෙලීමට තෝරාගත් පළමු නගර දෙකට කියෝතෝවද ඇතුළත්ව තිබුනා. එහෙත් මිත්‍ර පාර්ශවයේ සිටි ඇමරිකානු ඉහළ නිලධාරියෙක් කියෝතෝවේ සිය මධුසමය ගතකර තිබූ නිසා ඔහු පරමාණු බෝම්බ හෙලීමට නියමිත නගර වලින් කියෝතෝව ඉවත් කරනවා. කියෝතෝ නගරය සුන්දර ජපානයේද වඩාත් සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. බටහිර රටවල සංචාරකයින්ට කොතෙක් ගියත් එපා නොවෙන ජපානයේ කියෝතෝ නගරය එහි ඇති පෞරාණික අගයන් නිසාම ජනප්‍රිය වී තිබෙනවා. කියෝතෝව ක්‍රි.ව 794 සිට 1868 දක්වා ජපාන අධිරාජයාගේ අගනගරය ලෙස භාවිතා වුනා.
8. ආර්කන්ගායි – මොංගෝලියාව

Source – commons.wikimedia.org
මධ්‍යම ආසියාවේ පිහිටි සුන්දර රටක් වන මොංගෝලියාව 1200 කාලයේදී ප්‍රබල මොංගල් අධිරාජ්‍යයේ මූලස්ථානය වුනා. ආර්කන්ගායි යනු මොංගෝලියාවේ සුන්දරතම සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. පෙනෙන තෙක් මානය තෙක් දිවයන කඳුවැටි, දිය පිරි විල් ආදිය මෙම පළාතේදී නැරඹිය හැකිය. මේ කඳුවැටි වල ස්වභාවය අපි ලංකාවේ දකින කඳුවලට වඩා තරමක් වෙනස් වේ. ආර්කන්ගායි හි දකින්නට ලැබෙන කඳු එතරම් ජලය සහිත සදාහරිත තත්ත්වයෙන් නොමැති අතර, තැනින් තැන කොළ පැහැ ගැන්වී තිබේ. ගෝබි කාන්තාරයේ සයිබීරියානු කොටස් වලටද අයිති වෙන මෙම ආර්කන්ගායි ඒ පළාතටම ආවේණික ජන ජීවිතය, සංස්කෘතික අංග සහ පරිසරය විඳගත හැකි සුන්දර පළාතක් ලෙස ජනප්‍රියය.
ආසියාවේ එක් කෙළවරක ජපානය, චීනය, කොරියාව ආදී රටවල්ද, අනෙක් කෙළවර ඉරානය, ඊශ්‍රායලය ආදී මැදපෙරදිග කලාපයේ රටවල්ද, මැද කොටසේ ඉන්දියාව, තජිකිස්ථානය, පාකිස්ථානය වැනි රටවල්ද, ගිනිකොන දෙසින් තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල්ද පිහිටා තිබෙනවා. ඒ අනුව ආසියාවේ විවිධත්වය කෙතෙක්ද යත් එකම ආසියාවේ වුවත් ආසියාවේ මැද පිහිටි ලාංකිකයින්ගේ මුහුණුවරට වඩා ඈත චීන ජපාන ආදී රටවල ජනයාගේ මුහුණුවර පවා වෙනස් වෙනවා. ඒ ආසියාවේ සෑම තැනම සංචාරය කරන්නට අපිට නොහැකි වුවත්, වඩාත් වෙනස් වඩාත් වැදගත් තැන් කිහිපයක හෝ පා සලකුණු තබන්නට හැකිනම් එය අපිට ලැබෙන වාසනාවක් ලෙස සලකන්නට හැකි වෙනවා.
Cover Image Source – travelpassionindia.com
Leave a Reply