මුං ඇට රසට හදාගෙන කන්න රෙසිපි 5ක් මෙන්න!

මුං ඇට කියන නම ඇහුවමත් මූණ නරක් වෙන අය අතරෙ මේවා කන්න ආසා අයත් ඇතිනේ. මේ කොයි කවුරු උනත් නිකන් තම්බලා කනවට වඩා වෙනස් රසකින් කන්න කැමති ඇතිනේ. හැමදාමත් වෙනස් රස දෙන ලයිෆි එකේ අපි අදත් ගෙනාවේ මුං ඇට වලින් හදාගන්න පුළුවන් වෙනස්ම රෙසිපි ටිකක්. මේවා ට්‍රයි කරලා අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඕන්.

 

1. මුං මස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

මුං මිශ්‍රණයට 

 

  1. මුං ඇට ග්‍රෑම් 200
  2. කරපිංචා 
  3. සුදුළූණු බික් 3-4
  4. චොප්කරගත් බී ළූණු ගෙඩි 1
  5. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  6. ගම්මිරිස්කුඩු ටිකක්
  7. ලුණු

 

කරියට 

 

  1. ඉඟුරු සුදුළූණු පේස්ට් එක
  2. මිරිස්කුඩු තේ හැඳි 2
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. ගම්මිරිස්කුඩු ටිකක්
  5. ලුණු
  6. අමු තුනපහකුඩු තේ හැඳි 1/2
  7. ගොරකා කෑලි 3
  8. චොප්කරගත් ළූණු ටිකක්
  9. උළුහාල් ස්වල්පයක්
  10. සූදුරු ස්වල්පයක්
  11. මිටිකිරි කෝප්ප 1
  12. බැදපු තුනපහකුඩු ටිකක්
  13. රම්පේ කෑල්ලක්

 

  • මුං ඇට රැයක් පෙඟෙන්න දාලා අරගෙන මුං මිශ්‍රණයට කිව්ව ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කරගන්න. දැන් ස්ටීම් කරන්න පුළුවන් තැටියක කෙසෙල් කොළයක් දාල හරි බටර් ගාගත් ලන්ච් ශීට් එකක් හරි දාලා ඒකට මේ මික්ස් එක දාලා තරමක් මහතට තුනී කරගෙ​න විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඊට පස්සෙ කෑලි කපාගන්න.
  • තෙල් ටිකක් භාජනයකට දාලා රත්වෙනකොට ළූණු, ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් උළුහාල්, සූදුරු, ගොරකා සහ රම්පේ එකතු කරගන්න.
  • මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු, ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව දාගන්න. හොඳට මිශ්‍ර කරල ස්ටීම් කරපු මුං කෑලි ඇතිලියේ අතුරගන්න. 
  • කිරි ටික දාලා උතුරනකොට බැදපු තුනපහකුඩු ටිකක් උඩින් ඉහලා අවශ්‍ය ගාණට කරිය හිටින්න හින්දගෙන ලිප ඕෆ් කරගන්න.

 

2. හකුරු මිශ්‍ර මුං ඇට කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුං ඇට කෝප්ප 1/2
  2. සුදු කැකුළු හාල් කෝප්ප කාලක්
  3. ගාගත් හකුරු ග්‍රෑම් 200
  4. දියකිරි කෝප්ප 2
  5. මිටිකිරි කෝප්ප 2
  6. රුලං මේස හැඳි 2
  7. සව් මේස හැඳි 2
  8. කජු ටිකක්
  9. වියලි මිදි ටිකක්
  10. ලුණු

 

  • මුංඇට රැයක් පෙඟෙන්න දාලා වතුර කෝප්ප 2ක් දාලා තැම්බෙන්න තියන්න. සව් ටික සෝදලා පෙඟෙන්න දාගන්න. කජු ටික පොඩියට කපාගන්න.
  • මුංඇට තැම්බීගෙන එනකොට ඒකටම සුදුහාල් ටික දාගෙන හාල් ටික තැම්බෙන්න තියන්න.
  • භාජනයක් ලිපේ තියලා හකුරු හා දියකිරි වලින් කොටසක් දාලා රත්කරගන්න. හකුරු දිය වුණාම ලිපෙන් අයින් කරල හකුරු මිශ්‍රණය පෙරාගන්න.
  • හොඳට තැම්බුනාම මුංඇට ටික ලී හැන්දකින් පොඩි කරගන්න.
  • මේකට පෙඟෙන්න තිබ්බ සව් ටික සහ ඉතිරි දියකිරි ටිකත් දාලා සව් තැම්බෙනකල් හැඳිගාගන්න.
  • මේකටම හකුරු මිශ්‍රණය, වියලි මිදි හා කජු ටික එකතු කරගන්න. හොඳට හැඳිගාලා රුලං එකතු කරන්න. රස අනුව ලුණු දාලා අන්තිමට මිටිකිරි ටික දාලා උතුරවගන්න.

 

3. චයිනීස් පැ​ළ මුං සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මුං පැළ ග්‍රෑම් 200
  2. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  3. ලුණු
  4. සෝයාසෝස් මේස හැඳි 2
  5. තල තෙල් තේ හැඳි 1
  6. විනාකිරි තේ හැඳි 2
  7. සීනි ස්වල්පයක්

 

  • වතුර භාජනයක් ලිපේ තියලා උතුරනකොට ලුණු ටිකක් දාලා මුං පැළ ටික දාලා විනාඩි 2ක් වගේ තම්බලා අයිස් වතුර භාජනයක ටිකක් වෙලා දාලා තියලා වතුර පෙරාගන්න.
  • මේකට සෝයාසෝස්, ඉඟුරු සුදුළූණු පේස්ට්, විනාකිරි, සීනි හා තලතෙල් ටිකත් දාගෙන හොඳට කලවම් කරගන්න.

 

(මුං පැළ ගෙදරම හදාගන්න මුං ඇට රැයක් පෙඟෙන්න තියල වතුර බේරල පෙට්ටියක දාල දින දෙකක් විතර සිසිල් අඳුරු තැනක වහල තියන්න) 

 

4. මුං ඇට දැල්ලො පිරවුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

දැල්ලො පිරවුමට

 

  1. දැල්ලො ග්‍රෑම් 500 (පොඩි දැල්ලන් 4-5ක් පමණ)
  2. රැයක් පෙඟෙන්න දාගත් මුංඇට ග්‍රෑම් 200
  3. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  4. කුරුඳු පොතු කෑල්ලක්
  5. චොප්කරගත් සුදුළූණු බික් 4-5
  6. රම්පේ හා කරපිංචා
  7. කරදමුංගු ඇට 2
  8. කෑලිමිරිස් තේ හැඳි 2
  9. ගම්මිරිස්කුඩු
  10. ලුණු
  11. අමු තුනපහකුඩු තේ හැඳි 1
  12. කෑලිමිරිස් තේ හැඳි 1

 

කරි එක සඳහා

 

  1. චොප්කරගත් රතුළූණු ගෙඩි 3
  2. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  3. රම්පේ හා කරපිංචා
  4. ගම්මිරිස්කුඩු ටිකක්
  5. බැදපු තුනපහකුඩු තේ හැඳි 1
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. මිරිස්කුඩු තේ හැඳි 2
  8. ගොරකා කෑලි 2
  9. කරදමුංගු ඇට 2
  10. කුරුඳු පොත්තක්
  11. මිටිකිරි කෝප්ප 2
  12. ලුණු

 

  • මුලින්ම මුං ඇට ටික බෙරි නොවෙන්න තම්බගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් රතුළූණු, සුදුළූණු කුරුඳු පොතු, රම්පේ හා කරපිංචා ටික දාලා තෙම්පරාදු කරගන්න. ගම්මිරිස්කුඩු, අමු තුනපහකුඩු, කෑලිමිරිස් ටික එකතු කරලා කරදමුංගු, ලුණු දාලා කලවම් කරගෙන, තම්බාගත් මුං ඇට ටික දාලා හොඳට කලවම් කරගෙන ලිපෙන් බාගන්න.
  • දැල්ලො ටික සුද්ද කරලා සෝදලා අරන් මේ මුං ඇට ෆිලින් එක එකින් එක දැල්ලගෙ පරිස්සමට පුරවගන්න. එළියට එනවට ටූත්පික් එකක් ගැහුවට කමක් නෑ.
  • දැන් භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාලා බැදෙන්න අරින්න. ඊලඟට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා ටිකකින් ගම්මිරිස්කුඩු, බැදපු තුනපහකුඩු, මිරිස්කුඩු, කහකුඩු, ගොරකා, කුරුඳු පොතු හා කරදමුංගු ඇට එකතු කරලා හොඳට හැඳිගාන්න. රස අනුව ලුණු දාගන්න.
  • මිටිකිරි ටික දාලා හැඳි ගාලා නටනකොට දැල්ලො ටික හිමීට අතුරගන්න. ගින්දර ටිකක් අඩු කරලා දැල්ලො ටික තැම්බෙන්න ටිකක් ඒ මේ අත පරිස්සමෙන් පෙරලන්න. කිරි ටික හිඳීගෙන එනකොට ලිප ඕෆ් කරගන්න.

 

5. මුං ඇට දෝසා (තෝසෙ)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මුංඇට කෝප්ප 1
  2. උඳු ඇට මේස හැඳි 2
  3. හාල්පිටි මේස හැඳි 1
  4. හීල් බත් මේස හැඳි 2
  5. ලුණු

 

තෙම්පරාදු​ව සඳහා

 

  1. චොප්කරගත් රතුළූණු ගෙඩි 3
  2. චොප්කරගත් සුදුළූණු බික් 2
  3. රම්පේ
  4. කරපිංචා ස්වල්පයක්
  5. තෙල් මේස හැඳි 2
  6. අබ ස්වල්පයක්

 

  • මුංඇට හා උඳු ඇට රැයක් පෙඟෙන්න දාලා අරන් හීල් බතුත් දාල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට හාල්පිටි ටික දාගන්න. පැය තුනක් විතර වහල තියන්න. ඊට පස්සෙ රස අනුව ලුණු දාගන්න. වතුර ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න.  
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු හා සුදුළූණු, කරපිංචා ටික දාගන්න. හොඳට තෙම්පරාදු උනාම අබ ටිකක් දාලා පුපුරනකොට ලිප ඕෆ් කරගන්න. 
  • මේ තෙම්පරාදුව ටිකක් නිවුනම බැටර් එකට එකතු කරගන්න. 
  • තෝසේ හදන පෑන් එකට තෙල් ටිකක් දාලා මේ බැටර් එකෙන් හැන්දක් දාලා රවුමට තුනී කරගෙන තෝසේ හදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *