රට කජු වලින් හදාගන්න පුළුවන් රසවත්ම කෑම වර්ග 7ක්

රට කජු තියෙන්නෙ බයිට් වලට ගන්න විතරක්ම නෙමෙයිනේ. තව කෑම වර්ග ගොඩක් හදාගන්න පුළුවන් අපිට. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න රසම රස ව්‍යාංජන වගේ කෑම ගොඩක් හදලා බලන්න, රට කජු වල රස නියමෙටම දැනගන්න එන්න මේ පැත්තට.

 

1. රට කජු චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රට කජු ග්‍රෑම් 200
  2. සුදුළූණු බික් 4-5ක්
  3. ලොකු ළූණු ගෙඩි 1/2
  4. කෑලි මිරිස් මේස හැඳි 2
  5. අබ මේස හැඳි 1
  6. තෙල් ස්වල්පයක්
  7. කරපිංචා කොළ කිහිපයක්
  8. ලුණු

 

  • රට කජු ටික කබලෙ බැදලා පොතු අයින් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු හා සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරන්න. 
  • ටිකක් රන්වන් පාට වෙනකොට අබ ටික එකතු කරන්න. ඉන්පසු කෑලි මිරිස් හා ලුණු රස අනුව දාගන්න.
  • අන්තිමට රට කජු ටික එකතු කරගන්න. හොඳට තෙම්පරාදු උනාට පස්සෙ ලිප ඕෆ් කරලා ටිකක් නිවෙන්න තියල බ්ලෙන්ඩ් කරගන්න.

 

2. රට කජු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රටකජු ග්‍රෑම් 100
  2. කරපිංචා හෝ ගොටුකොළ ඉති කිහිපයක්
  3. නූඩ්ල්ස් ග්‍රෑම් 50ක්
  4. ළූණු ටිකක්
  5. පොඩියට කපාගත් පපඩම් ටිකක්
  6. කජු ටිකක්
  7. මිරිස් කරල් කිහිපයක්
  8. බැදගැනීමට තෙල්
  9. බටර් ටිකක්
  10. ලුණු
  11. කෑලිමිරිස් 

 

  • මුලින්ම මිරිස් කරල් ටික කෑලි වලට කඩලා ලුණු වතුර එකක දාලා තියන්න.
  • කරපිංචා කොළ විතරක් වෙන් කරලා ගන්න. කැමති නම් මේකට ගොටුකොළ බැදලා දාන්නත් පුළුවන්.
  • රට කජු ටික කබලේ බැදලා පොතු ඇරගන්න. තෙල් ලිපේ තියලා රත් වෙනකොට රට කජු ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ පපඩම්, කරපිංචා, නූඩ්ල්ස්, කජු, ළූණු වෙන වෙනම බැදලා තියාගන්න. අන්තිමට මිරිස් කරල් ටික බැදගන්න.
  • බටර් පොඩ්ඩක් රත් වෙන්න තියල ඒකට කෑලි මිරිස්, සීනි චුට්ටක් එක්ක ලුණු ටිකක් එකතු කරල මිරිස් ටික පිච්චෙන්න නොදී බැදගත් රට කජු සහ අනික් ඔක්කොම දාගන්න.
  • හොඳට කලවම් කරල නිවෙන්න ඇරල හුළං නොවදින්න පැක් කරගන්න. බත් එක්ක කන්න රස බැදුමක් මේ.

 

3. රටකජු බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තෙල් ස්වල්පයක් 
  2. රෝස්ට් කරපු රටකජු ග්‍රෑම් 20-25ක් පමණ
  3. උඳු ඇට මේස හැඳි 1
  4. කඩල පරිප්පු මේස හැඳි 1
  5. තල ඇට මේස හැඳි 1
  6. වියළි මිරිස් කරල් 3-4
  7. ගාගත් පොල් කෝප්ප 1/4
  8. අබ ඇට මේස හැඳි 1
  9. කරපිංචා 
  10. පිසගත් බත් කෝප්ප 2

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට පොතු අයින් කරගත් රට කජු ටිකක් ඉතුරු කරලා බැදගන්න. ඒකට උඳු, තල, කඩල පරිප්පු, මිරිස් කරල් දාලා රන්වන් පාට වෙනකොට ගාගත් පොල් ටික එකතු කරන්න.
  • දැන් මේක හොඳටම තෙම්පරාදු උනාට පස්සෙ ග්‍රයින්ඩ් කරල කුඩු කරගන්න.
  • ආයෙම පෑන් එකක් අරගෙන තෙල් දාලා රත් වෙනකොට අබ ටිකක් දාලා රත්වෙන්න අරින්න. මේකට කරපිංචා ටිකක් එකතු කරන්න.
  • තෙම්පරාදු වෙනකොට ඉතුරු කරගත් රට කජු ඇට ටික එකතු කරන්න. දැන් මේකට පිසගත් බත් ටික එකතු කරලා ග්‍රයින්ඩ් කරගත් මසාලා පව්ඩර් එක දාගන්න. 
  • රස අනුව ලුණු එකතු කරන්න. තවත් විනාඩි 5ක් වගේ තියලා ලිප ඕෆ් කරගන්න.

 

4. රට කජු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු රට කජු කෝප්ප 2
  2. සුදුළූණු බික් 10-12
  3. රතුළූණු ගෙඩි 12-15
  4. තක්කාලි ගෙඩි 4
  5. කහකුඩු තේ හැඳි 1/4
  6. ගරම් මසාලා තේ හැඳි 1/2
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  9. මහදුරු තේ හැඳි 1/2
  10. ගම්මිරිස් ඇට තේ හැඳි 1
  11. කපාගත් පොල් කෑලි ටිකක්
  12. කහ 
  13. කපාගත් වම්බටු කරල් 2ක්
  14. අබ මේස හැඳි 1
  15. බැදගැනීමට තෙල්

 

  • රට කජු වලට වතුර කෝප්ප 2ක් දාලා තම්බගෙන පැත්තකින් තියාගන්න. 
  • සුදුළූණු, ළූණු, තක්කාලි, කහකුඩු, මිරිස්කුඩු, ගරම් මසාලා, මහදුරු, ගම්මිරිස්, පොල් කෑලි, කොත්තමල්ලි කුඩු, කහ යන මේ සියල්ලම ග්‍රයින්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්න.
  • දැන් තම්බාගත් රට කජු එකට කපාගත් වම්බටු ටික දාගන්න. මේකට ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එකත් දාලා කලවම් කරගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටිකක් දාලා බැදගන්න. දැන් මේකට කරි එක දාගන්න. අඩු ගින්දරේ වම්බටු තැම්බෙනකම් කලවම් කර කර ලිපේ තියාගන්න. ලිපෙන් බාන්න කිට්ටුව ලුණු රස අනුව දාගන්න. උඩින් කොත්තමල්ලි කොළ ටිකක් දාලා කෑමට ගන්න.

 

5. පැණි කජු කෑලි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රට කජු ග්‍රෑම් 200
  2. සීනි කෝප්ප  1
  3. බටර් තේ හැඳි 2

 

  • රට කජු ටික කබලෙ බැදලා හෝ අවන් කරලා හරි පොතු අයින් කරගන්න. දැන් රට කජු ඇටය කැඩිලා දෙපලු වෙන්න අතින් පොඩි කරන්න. වතුර නොගෑවුණු භාජනයක් ලිපේ තියලා ඒකට සීනි හා බටර් ටික දාගන්න. 
  • සීනි ටික උණු උනාට පස්සෙ රට කජු ටික දාගන්න. හොඳට කලවම් කරලා බටර් ගාගත් තැටියකට දාලා තුනී කරලා උණුවෙන්ම පිහියෙන් ඉරි ඇදගන්න.

 

6. මසාලා රට කජු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු රට කජු ග්‍රෑම් 100
  2. හාල්පිටි මේස හැඳි 2
  3. කඩල පිටි මේස හැඳි 5
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. ලුණු ස්වල්පයක්
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. පෙරුම්කායම් තේ හැඳි 1/4

 

  • රට කජු ටික බාගෙට වගේ කබලෙ බැදගන්න. 
  • බැටර් එක හදන්න මුලින්ම කඩල පිටි වලට කහකුඩු, මිරිස් කුඩු, ලුණු, හාල්පිටි එකට කලවම් කරගන්න.
  • මේකට පෙරුම්කායම් ටිකත් දාගන්න. හොඳට කලවම් උනාම බැදගත් රට කජු ටිකත් දාලා කලවම් කරන්න.
  • තෙල් මේස හැන්දක් දාලා කලවම් කරගන්න.
  • වතුර මේස හැඳි 2ක් දාලා තවත් හොඳට කලවම් කරගන්න.
  • අතේ ඇලෙන ගතියක් එනකල් හොඳට කලවම් කරලා රත් වුණු තෙල් තාච්චියකට ටික ටික දාලා බැදගන්න.

 

7. පීනට් බටර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රට කජු කෝප්ප 2
  2. ලුණු ස්වල්පයක්

 

  • රට කජු ටික කබලෙ බැදගන්න. ඊට පස්සෙ පොතු ඉවත් කරගන්න. දැන් රට කජු වලට ලුණු දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • පව්ඩර් එකක් වගේ හොඳටම බ්ලෙන්ඩ් උනාම බ්ලෙන්ඩර් එකෙන් ග්‍රයින්ඩර් එකට මාරු කරන්න. විනාඩි 5ක් විතර ග්‍රයින්ඩ් කරන්න.
  • ටික ටික තෙල් උනන්න පටන් ගනීවි. ඒ වගේම ක්‍රීමි ගතියට ඒවි. ඒ විදියට හොඳටම ක්‍රීමි උනාම නවත්තන්න. ඔන්න දැන් පීනට් බටර් එක රෙඩි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *