ෆේස්බුක් එපා කරවන, ෆේස්බුක් එකේ හෑලි ලියන හෑලි ඩේවිඩ්සන්ලා!

අහල ඇතිනේ හාලි ඩේවිඩ්සන් ගැන. ඒක ලෝකේ සුපිරි මෝටර් බයික් හදන සුපිරි සන්නාමයක්. හැබැයි එහෙම වුණාට හෑලි ඩේවිඩ්සන්ලා කියන්නේ එහෙම කිසිම සුපිරි බවක් නැති අන්තිම සාපයක්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ට දැන් කාලේ ෆේස්බුක් එකට යන්න එපා වෙන්නෙත් මේ කියන හෑලි ලියන පොරවල් නිසා තමයි. ගොඩක් වෙලාවට මේ අය මෙහෙම ෆේස්බුක් එකේ හෑලි ලියන්නේ එක්කෝ තමන්ගේ තියෙන මොකක් හරි පෞරුෂත්ව ප්‍රශ්නයක් නිසා. එක්කෝ සැබෑ සමාජයේ කිසිම තැනකට එන්න බැරිවුණු නිසා මේ අය හිතනවා ෆේස්බුක් එකේ හෑලි ලිව්වහම පොරවල් වෙනවා කියලා. තවත් සමහර හෑලි ලියන්නන්ට තියෙන්නේ සංවේදීතාවය ඕවර්ඩෝස් වුණු ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම, තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එකේ, පේජ් එකේ, ගෘප් එකේ රීච් එක වැඩි කරගන්නත් හෑලි ලියන උන්දැලා ඉන්නවා.

හරි, අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් මේ විදියේ හෑලි ලියන හෑලි ඩේවිඩ්සන්ලා කියන්නේ වඳවෙලා යන්න ඕන සත්ව කොට්ඨාසයක් කියන එකට. හැබැයි මේ විදියේ ෆේස්බුක් හෑලි ලියන උන්දැලාගේ විවිධ කැටගරි අඳුනාගන්න එකත් වෙනම ආතල් එකක්!

 

 

1. පොලිටික්ස් හෑලි

පොලිටිකල් හෑලි ලියන මිනිස්සු නම් අපිට වැඩි කරදරයක් නැතුවම අඳුනගන්න පුළුවන්. උන්දැලා සාමාන්‍යයෙන් මොකක් හරි දේශපාලන පක්ෂෙකට කඩේ යන, වහල් භාවයේ ඉන්න ජීවීන් කොට්ඨාසයක්. මුන්දැලා සමහරු හිතාගෙන ඉන්නේ තමන් මාර පොලිටිකල් ඇනලිසිස් ලියනවා කියලා. හැබැයි ඒවා ඒනල්-ලිකින් මිසක් ඇනලිසිස් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඔන්න මොකෙක් හරි පොලිටික්කෙක් තමන් මෙලෝ අලබෝලයක් නොදන්න දෙයක් ගැන ගොන් ටෝක් එකක් දෙනවා. දැන් කාලේ ඔය වගේ දේවල් වලට සෝෂල් මීඩියා වල මිනිස්සු හිනාවෙනවනේ. ඉතින් ඔන්න පොලිටිකල් හෑලි කාරයෝ බහිනවා පතරංග හෑලි ලියලා අර පොලිටික්කා කියපු ගොන් කතන්දරේ සාධාරණීකරණය කරන්න. ඒ හෑල්ල එයිට හපන්. ඉතින් කොහෙද දොරේ මේ රට හදන්නේ මුනුත් එක්කලා!!

 

 

2. උපන්දින හෑලි

සාමාන්‍යයෙන් අපි ෆේස්බුක් එකෙන් මිනිස්සුන්ගේ උපන් දින වලට සුබ පතනවනේ. ඒක මහ අමුතු කාරණයක් නෙවෙයි. එතකොට ඔය කලාකාරයෝ, දේශපාලකයෝ වගේ රටේ ජනප්‍රිය මිනිස්සුන්ගේ උපන්දින එනවනේ. ඒවලටත් ෆේස්බුක් එකේ ඔය විදියටම සුබ පතනවා. ඒකත් අමුතු කාරණයක් නෙවෙයි. සමහර වෙලාවට නිකම්ම හැපි බර්ත්ඩේ කියන්නෙ නැතුව මොනවා හරි වදනක් දෙකක් එක්ක සුබ පතන එකත් ගැටළුවක් නෙවෙයි. මොකද, ජනප්‍රිය නැතත් සමහර වෙලාවට අපේ ජීවිතේට සමීප මනුස්සයෙක්ට ෆේස්බුක් එකේ සුබපතනකොට වුණත් සමහර වෙලාවට විශේෂයෙන් මොනවා හරි කියලා සුබ පතනවනේ. හැබැයි ඔය අතරේ තවත් සමහරු ඉන්නවා, ෆේස්බුක් එකේ ජනප්‍රිය මනුස්සයෙක්ට උපන්දිනේට සුබ පතන්න ගියහම දන්න කියන ඔක්කොම කැටයං ටික දාලා පත හෑලි ලියන. සිද්ධ වෙලා තියෙන්නේ මියුසිකල් ෂෝ එකකදී කවුරුහරි ප්‍රසිද්ධ ගායකයෙක් එක්ක සෙල්ෆියක් ගහන්න අවස්ථාව ලැබිලා. හැබැයි ඉතින් ඒ සෙල්ෆිය දාලා ආයෙ කතන්දරයක් ලියනවා, ඒ අහවල් ගායකයා එක්ක මං ඊයෙ රෑත් පැයක් විතර කතා කලානේ ලෙවල් එකට. ඕවා හෑලි පුතා, හෑලි. ඇති වැඩක් නෑ!

 

 

3. අවමංගල්‍ය හෑලි

මනුස්සයෙක් මැරුණහම ලියන හෑලි තමයි හෑලි. ඇත්තම කිව්වොත් ඒවා දැක්කහම අපිට මැරෙන්නත් බය හිතෙනවා. ආයෙ අවමංගල්‍ය හෑලි ලියන්නේ අර මැරුණු මිනිහා පණපිටින් ඉන්නකොට කරපු ප්‍රයිවට් චැට් වලත් ස්ක්‍රීන් ෂොට් දාලා. ආයෙ මැරුණු මනුස්සයා ෆේස්බුක් එකේ පොඩ්ඩක් අනික් මිනිස්සු දන්න අඳුනන ඩයල් එකක් නම් විනාසයි. උන්දැ මැරිලත් ලැජ්ජාවේ ආයෙ පණ යනවා ඒ ලියන හෑලි දැකලා. සමහර වෙලාවට මැරුණු මනුස්සයගෙ වැඩි හොඳ ලියන්න ගිහිල්ලා මේ හෑලි ඩේවිඩ්සන්ලා මැරුණු මනුස්සයගෙ රෙදිත් ගලවනවා!

 

 

4. ජීවිතේ විඳින හෑලි

මේ ෆේස්බුක් හෑලි යුගයේදී ජීවිතේ විඳිනවා කියන්නේ හෙනම සීන් එකක් වෙලානේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බස් එකේ හිරවෙලා, කෝච්චියේ තෙරපිලා වැඩට යනවා එනවා. එහෙම යන එන මනුස්සයෙක් ඔන්න වැල්ලවත්ත කෝච්චි ස්ටේෂමට කෝච්චිය එනකල්, අහල පහල කඩල වෙළෙන්දෙක් ගෙන් රටකජු ගොට්ටකුත් අරගෙන, මුහුද දිහා බලාගෙන රටකජු කනවා. බැරිවෙලාවත් ඔය අහල පහල ඉන්න හාදයෙක් අර රතු පාට අහසයි මුහුදයි පසුබිම් කරගෙන ඔය සීන් එක ෆොටෝ ගැහුවා කියන්නේ, හෑලි ඩේවිඩ්සන්ලට ඕකෙන් මාසයක් අදින්න පුළුවන්. “ජීවිතේ විඳින මිනිස්සු” කියලා අර ට්‍රේන් එක එනකල් රටකජු කන කොල්ලව අකනිටා බ්‍රහ්ම ලෝකෙට උස්සලා තියලා හෑලි ලියන්නේ. ඔය වගේම තමයි මොකෙක්ටවත් මලාට පොල් රොටී කඩයක් අයිනේ ඉඳන් පොල් රොටියකුයි ප්ලේන්ටියකුයි ගහන්න එහෙම බෑ. ඒකත් ෆොටෝ ගහලා “ජීවිතේ විඳින මිනිස්සු” කියලා පතරංග හෑලි ලියනවා. හරි, ඔය වගේ පොඩි පොඩි මෝමන්ට්ස් ජීවිතේ විඳින අවස්ථා තමයි. හැබැයි ජීවිතේ විඳින එක එපා වෙලා වලකජ්ජ ගහන්න හිතෙනවා ඒවලට ලියන හෑලි දැක්කහම!

 

 

5. අනේ ඒ ආදරේ හෑලි

දැන් ඔන්න කපල් එකක් මාසෙම වැඩ කරලා නිවාඩු හම්බුණු සති අන්තෙක පොඩ්ඩක් කොහේ හරි ඇවිදින්න යනවා. කොල්ලගේ බයික් එකේ නැගලා තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඔය දුර බැහැර ගමන් බයික් එකක යන එක ටිකක් අමාරු වැඩක්නේ. අතරමග පොඩ්ඩක් නවත්තන්නත් ඕන. නවත්තලා පස්සට විවේකයක් දෙන්න ඕන. ඉතින් ඔන්න දෙන්නත් එක්ක තැඹිලි කරත්තයක් ගාව නවත්තලා බයික් එකට පිටුපාලා කයියකුත් ගහගෙන තැඹිලි බොනවා. ඒ අතරේ කොල්ලා ඔන්න කෙල්ලගේ කොණ්ඩේ ඉන්න දිමියෙක්ව දැකලා ඌව අහක් කරනවා. එතකොටම ඔය අහල පහලක ඉන්න හෝතඹුවෙක් ඕක ෆොටෝ එකක් ගහනවා. එහෙම ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් දානවා. ආන්න ඊට පස්සේ අපේ හෑලි ඩේවිඩ්සන් ලට රජ මගුල්. ‘අනේ ඒ ආදරේ’ කියාගෙන ඉතින් හෑලි ලියන්නෝ ටික දහසක් කවි ගී සිලෝ ලියනවා අර ෆොටෝ එකට. අන්තිමට මුන්ගෙ හෑලි නිසාම ගෙදරට හොරෙන් කරන ලව් එකක් එහෙම නං, ලව් එක ගෙදරටත් මාට්ටු වෙනවා!

 

 

6. සිංදුවකට, ෆිල්ම් එකකට ලියන හෑලි

සාමාන්‍යයෙන් මාසෙයක් විතර ගත්තත්, කීයක් නං සිංදු, පොත් පත්, ෆිල්ම් එහෙම අවුට් වෙනවද. ඒකේ අරුමයක් නෑනේ. හැබැයි ඔය සමහර සිංදුවක්, පොතක් පතක්, ෆිල්ම් එකක් සෑහෙන්න හිට් වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණහම ඔන්න හෑලි ලොක්කො ලොක්කියො ටික එලි බහිනවා. ආයෙ සිංදුවේ පද රචනය කරපු එකා හීනෙන් වත් නොහිතපු එව්වා ටිකක් එක්ක ඔන්න හෑලි ලියනවා. ඔය සිංදු වලට ෆිල්ම් වලට හෑලි ලියන එක විදියක් ඒක. දෙවෙනි හෑලි සීන් එක තමයි, ඔය සිංදුවේ හරි පොතේ හරි ෆිල්ම් එකේ හරි තියෙන මොකක් හරි දෙයක් අල්ලගෙන, එක්කෝ ඒකට පහර ගහලා හෑලි ලියන එක. අපි කියමු සිංදුවේ අනියම් ප්‍රේමයක් ගැන තියෙනවා කියලා. ඔන්න සංස්කෘතියයි අරකයි මේකයි එක්ක ඒ සිංදුවට විරුද්ධව හෑලි ලියනවා. එතකොට තව සෙට් එකක්, ඒ සිංදුවට විරුද්ධව හෑලි ලියපු එවුන් කලාව රසවිඳින්න දන්නෙ නැතෙයි අරකයි මේකයි කියලා ඒකට හෑල්ලක් ලියනවා. එතකොට අර සිංදුවට විරුද්ධව ලියපු හෑල්ලට විරුද්ධව ලියපු හෑල්ලට විරුද්ධව ආයෙත් තව සෙට් එකක් ආයෙත් හෑල්ලක් ලියනවා. දැන් ඔහොම ඔහොම හෑලි පිට හෑලි වට කීපයක් ගොඩගැහුණට පස්සේ හෑලි ලියන එවුන්ටත් මීටර් නෑ මොකක් ගැනද හෑල්ල ලියන්නේ කියලා. ඒත් ඉතින් ආයෙ යුනිකෝඩ් අතින් පයින් යනවැයි කියලා හිතාගෙන ඔහේ හිතට එන එන ඒවා ලියලා දානවා. ඒවා කියවලා සිංදුව ලියපු එකා යනවා මහණ වෙන්න!

 

 

7. සයිකොලොජි හෑලි

අපි හැමෝටම එක් එක් ආකාරයේ මානසික ගැටළු තියෙන්න පුළුවන්. ඒක බොරුවක් නෙවෙයි. එතකොට එහෙම මානසික ගැටළුවක් අපිට තනියෙන් හරි, යාළු මිත්‍රයෙක් එක්ක හරි කතාබහ කරලා විසඳාගන්න බැරි ලෙවල් එකකට යනවා නම්, ආන්න එතකොට අපි ඒ සම්බන්ධයෙන් වෘත්තීමය ප්‍රවීණත්වයක් තියෙන උපදේශකවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක් මුණගැහෙන්න ඕන. අපි ඒ වගේ මානසික ගැටළුවක් හෝ සංකූලතාවයක් සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ උපදෙස් පතන එකත් විකාරයක්. හැබැයි තමන් නිකම් ගූග්ල් කරලා මානසික ගැටළුවක දෙකක නම් දැනගත්තු පළියට එව්වා ගැන පත හෑලි ලියන එක ඊට හපන් විකාරයක්!

ඇත්තටම එහෙම මිනිස්සුන්ගේ සයිකොලොජිකල් ප්‍රශ්න ගැන හෑලි ලියන එක විකාරයක් වගේම, අනතුරකුත් වෙනවා. ඇයි ඊට පස්සේ මිනිස්සු ඒ හෑලි ඔස්සේ තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ගිහින් ඊට වඩා අමාරුවක වැටෙන්නේ!

 

හැබැයි හොඳට මතක තියාගන්න. අපි මේ කියන්නේ ෆේස්බුක් එකේ සීරියස් දේවල් ගැන වුණත්, සරල දෙයක් ගැන වුනත්, හැඟීම්බර දෙයක් ගැන වුණත්, තාර්කිකව, හරි දැනුවත් භාවයකින් දේවල් ලියන ඇසූ පිරූ තැන් ඇති මිනිස්සු ගැන නෙවෙයි. නිකම්ම නිකම් වචන වලින් හිස් ඉඩ පුරවන හෑලි ඩේවිඩ්සන්ලා ගැන. උන්දැලා තමයි සමාජෙන් වඳ වෙලා යන්න ඕන කරන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *