කොරෝනාවෙන් සමුගෙන ගිය ඇත්තෝ – 2 කොටස

අවාසනාවකට වගේ අපිට පළමු ලිපියේ දෙවැනි කොටසකුත් ලියන්න සිද්ධ වෙලා තියෙනවා. පළමු ලිපිය ලියලා නිම වෙද්දිම අපි දැනගත්තා අනිවාර්යයෙන්ම දෙවැනි කොටසත් ඉක්මනින්ම ලියන්න වෙයි කියන එක. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ලිපියේ තව කොටස් ලියන්න නොලැබේවා කියලා. ඔබ බලන්න පසුගිය ලිපියේ සහ අද ලිපියෙන් ඇතුළත් කරලා තියෙන නම් බැලුවම ධනවත් බලවත් අය වගේම ආධ්‍යාත්මික ගුණයෙන් ඉහළ තත්ත්වයේ හිටිය භික්ෂූන් වහන්සේත් ඉන්නවා. නමුත් ඒ සියළු දෙනාම මේ රෝගයට ගොදුරුවීම නිසා මිය යනවා. ඒ නිසා හැකි තරම් දුරට නිවසටම වී සිට මේ රෝගය පරාජය කිරීමට ඔබේ දායකත්වය ලබාදෙන්න. යම්කිසි විදියකින් ඔබට නිවසෙන් බැහැරට යන්න සිද්ධ වෙනවා නම් අදාළ සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්න අමතක කරන්න එපා.

 

කොරෝනාවෙන් සමුගෙන ගිය ඇත්තෝ

 

 

1. ගලිගමුවේ ගුණරතන නාහිමි

ලංකාවේ බොහෝ බෞද්ධයෝ මුන්වහන්සේ ගැන අහලා නොතිබුණාට උන්වහන්සේ මෑතකාලීන ලංකාවේ වැඩ හිටපු සිල්වත් සහ ගුණවත් ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වන විට මහියංගනය මහා සුදර්ශන ආරණ්‍ය සේනාසනයේ අනුශාසක ධූරය දරමින් සිටියා. සියම් නිකායේ වනවාස පාර්ශවයේ ජේෂ්ඨතම භික්ෂූන් වහන්සේ නමක් වන උන්වහන්සේ නිකායේ නායක පදවි සියල්ලම ප්‍රතික්ෂේප කරපු ස්වාමීන්වහන්සේ නමක්.

 

2. ආඳාඋල්පත ධම්මජෝති හිමියෝ

ධම්මජෝති හිමියෝ ශාසනික ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම හා සමානව මෙරට භික්ෂූන් වහන්සේ හට පැවරී තිබෙන ඓතිහාසික කාර්යභාරය වන රට ජාතිය ආරක්ෂා කර ගැනීමට සක්‍රීය මැදිහත්වීමක් කළ භික්ෂූන්වහන්සේ නමක්. විශේෂයෙන්ම තමන්වහන්සේගේ නිජ භූමිය වන ඌව වෙල්ලස්සේ පරිසරය සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් බලධාරීන් සමඟ සටන් වැදුණු සටන්කාමී භික්ෂූන්වහන්සේ නමක්.

 

3. මුංහේනේ මෙත්තාරාම හිමි

තමන් වහන්සේට සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාව වෙත වැඩම කළ මෙත්තාරාම හිමියෝ එහිදී කොරෝනා ආසාදිත වීම නිසා අපවත් වී වදාළා. සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරමින් කටයුතු කළ උන්වහන්සේගේ හදිසි අපවත්වීම එම ප්‍රදේශවල ජනතාවට දැඩි කම්පනයක් ඇති කරනු ලැබුවා.

 

4. එල්මෝ ගුණරත්න

එල්මෝ ගුණරත්න ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක්. ලේක්හවුස් සමාගමේ මුල්කාලීන සේවකයෙකු වූ ඔහු එම ආයතනය රජයට පවරා ගැනීමට විරුද්ධව සිය විරෝධය පළ කොට ඉන් ඉවත් වී විදේශගත වී තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙසද කටයුතු කළා. පසුව යළිත් දිවයිනට පැමිණි ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයට එක් වී ලංකාදීප, සන්ඩේ ටයිම්ස් සහ ඩේලි නිව්ස් යන පුවත්පත් තුනේම කර්තෘ ධූරය දරමින් සුවිශේෂී වාර්තාවක් පිහිටවනු ලැබුවා.

 

5. විශේෂඥ වෛද්‍ය සතිෂ් ජයසිංහ

ළමා රෝග විශේෂඥ සතිෂ් ජයසිංහ වත්තල ප්‍රදේශයේ ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වෛද්‍යවරයෙක්. පසුව ඔහු ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට ද පත් වුණා. එතුමා නෝත් කල්ම්බු මෙඩිකල් කොලේජ් ආයතනයේ සම නිර්මාතෘවරයෙකු ද වනවා. බොහෝ දෙනෙකුට නොමිලේ ප්‍රතිකාර කළ එතුමාට ජීවිතෙන් සමු ගැනීමට සිදු වූයේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගැනීමේදී අවශ්‍යව තිබූ ඖෂධයක් මෙරට තුළ නොමැතිවීම හේතුවෙන් බව පසුව ඔහුගේ පුත්‍රයා විසින් ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කරනු ලැබුවා.

 

6. ජනාධිපති නීතිඥ ඩී. එස් විජේසිංහ

නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ කීර්තිමත් ජනාධිපති නීතිඥයෙකු වූ ඩී. එස් විජේසිංහ වඩාත් ප්‍රසිද්ධව සිටියේ තම කනිෂ්ඨ නීතිඥයන්ට පවා තමන් සතු දැනුම නොමිලේ ලබාදුන් පුද්ගලයෙකු ලෙසයි. එසේම ඔහු තුළ වූ උතුම් මානුෂික ගුණාංග බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක්ව තිබුණා. නීති ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳව පැතිරුණු දැනුමක් සහිත වූ ඔහු සිය සේවාදායකයන් වෙනුවෙන් සෑම විටම සාධාරණය ඉෂ්ට කිරීමට මැදිහත් වූ අයෙක්.

 

7. නීතිඥ ගෞරි තවරාසා

මෙරට ජනතාවගේ මානව හිමිකම් නඩු වලදී තම සක්‍රීය දායකත්වය වින්දිතයන් වෙනුවෙන් ලබා දුන් ගෞරි තවරාසා, එම ක්ෂේත්‍රයේ සමාජ ක්‍රියාකාරිනියක ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඇගේ එම දායකත්වය නිසාම ඇතැම් පාර්ශවවල විරෝධය ද ඇයට එල්ලවී තිබුණා. මේ නිසාම ඇගේ මරණය බොහෝ ජනමාධ්‍ය වලට අවම වශයෙන් ප්‍රවෘත්තියක් බවට හෝ පත් වුණේ නැහැ.

 

8. සුනිල් පෙරේරා

ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයක් සටහන් කළ අයෙක්. එමෙන්ම ඔහු විසින් ප්‍රකාශ කරන ලද යම් යම් අදහස් ලාංකික සමාජය තුළත් කලින් කලට දැඩි කතාබහට ලක් වුණා. කොරෝනා වැළඳීමෙන් අනතුරුව සුවය ලබා නැවත නිවස වෙත ගියත්, නැවතත් කොවිඩ් ආශ්‍රිත සංකූලතා මතු වීම හේතුවෙන් එතුමා මෙලොවින් සමුගත්තා. මිය යන විට එතුමා 68 වන වියෙහි පසුවුණා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *