අධිවේගී මාර්ග ඇතිවීමත් සමග කොලොම්තොට ඇත්තන්ට ගිරුවාපත්තුව පහුකරලා කතරගම දෙවියන් වැදපුදාගන්න එක තවත් එක දවසේ චාරිකාවක් බවට පත් වුණා. උදේ පාන්දරක වගේ යනවා නම් කොට්ටාවේ සිට තංගල්ලට ළඟාවෙන්න පැය තුනක කාලයක් වැඩිත් එක්ක. තංගල්ල දිහාවේ මොනවද බලන්න කියන්න තියෙන්නේ..අපි ටිකක් සලකා බලමු ඒ ගැන.
1. හුම්මානය
” හුම්මානේ… දුර අහසට විසිවෙන හිරිපොද මල් වැස්ස වගේ ” දික්වැල්ලෙන් බිහිවී මුළු රටම අමන්දානන්දයට පත් කල චාමර වීරසිංහ ගායකයානන් එසේ ගායනා කරන්නේ හුම්මානයෙන් ඉහලට විදින ජල ධාරාව ගැනයි. හුම්… හඩක් නගමින් ගිරි ශිඛරයක් මගින් ඉහලට ඇදෙන ජල ධාරාවක් මීටර ගණනාවක් උසට ගල්තලාව පුරාවට විසිරීම හුම්මානයේදී දැකගන්නට හැකියාව ලැබෙනවා. කුඩාවැල්ල හංදියෙන් හැරී පටු මාවතක කිලෝමීටර කිහිපයක් ගමන් කිරීමෙන් හුම්මානයට ලඟාවන්නට හැකියාව තිබෙනවා. මාතර දෙසින් පැමිනෙන්නේ නම් දික්වැල්ලෙන් මහවෙල පාර එහෙම නැත්නම් මුහුද ආසන්න මාර්ගයෙන් ගමන් කරන විට හුම්මානය කියන දැන්වීම් පුවරුවක් දැකගන්නට පුළුවනි. ඒ අසලින් හැරී ගොසින් හුම්මානය දැකගන්නට හැකියි.
හුම්මානය වසරේ සෑම කාලයකට සක්‍රීය නැහැ. එය සක්‍රිය වන්නේ වාරකන් සහ රළ ගෙඩි ඉහල නගින කාලයට පමණයි. මුහුද රළු වන්නේ කුමන වේලාවටද කියලා හරියටම කියන්න අමාරුයි. ඔය අසලින් යනවා නම් ඇක්ටිව් ද කියලා බලන්න හෝ හුම්මානේ පැත්තේ ගිහින් ඒක ඇත්තටම සක්‍රිය වුණොත් ඒ අත්දැකීම ලබාගන්න ලැබුනොත් ඒක ලොකු වාසනාවක්.
2. මුල්ගිරිගල
මුල්ගිරිගල කියන්නේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පිහිටා තිබෙන ශෛලමය සිද්ධස්ථානයක්. ගල්ගුහා ආසන්නයේ පිහිටා ඇති සිද්ධස්ථාන බොහොමයක් සමග සම්බන්ධකම් තිබූ විජයබාහු රජතුමා ඇතුළු රාජ පරම්පරා කිහිපයකදීම මෙම මුල්ගිරිගල ප්‍රකට සිද්ධස්ථානයක් වී තිබෙනවා. ගලක් මත නැගීමෙන් මෙම ලෙන් විහාර ආරාම වගේම ඒවා තුල ඇති සැතපෙන පිළිම වැදපුදාගන්නට පුළුවනි. පලාතේ මුදුනක පිහිටි ශේෂ කන්දක් වන හෙයින් මුල්ගිරිගල නැගි පසු ඒ අවට හාත්පස මනරම් දර්ශනයක්ද දැකබලාගැනීමට හැකියි. අපේ පැරණි ජනයා මෙම ලෙන් විහාර ආරාම තනා ඒවායෙ සිතුවම් සහ පිළිම කර්මාන්ත සිදුකොට භාවනානුයෝගී සංඝ්‍යා වහන්සේට ඇප උපස්ථාන කරන්නට ඇති. රුහුණේ අතීතය සොයා යන අයට මුල්ගිරිගල කියන්නේ ලෙහෙසියෙන් අමතක කරන්නට නොහැකි මහාර්ඝ සිද්ධස්ථානයක්.
3. රැකව කලපුව සහ කැස්බෑවුන්
කලපුවට යාබදව පිහිටා ඇති රැකව වෙරළ තීරය කලකදී සංචාරක ආකර්ශනය නොමඳව ලැබුනු පළාතක්. තංගල්ල ප්‍රදේශයේදී සංචාරකයින්ට සිදුවූ ඇතැම් නොමනා ක්‍රියා හේතුවෙන් පසුකාලීනව සංචාරකයින් වැඩිමනක් නොපැමිණියත් අද වනවිට දකුණු වෙරළ තීරයම නැවතත් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබමින් ඒ කර්මාන්තය පෝෂණය කරමින් යනවා. තංගල්ලේ අලුතින් ඉදිවූ අනන්තරා වැනි සංචාරක නිකේතන ඉහල පෙලේ සංචාරකයින් සඳහා සේවාවන් ලබාදෙන මනා සංචාරක මධ්‍යස්ථාන බවට පත් ව තිබෙනවා.
මිනිස් පහස එතරම්ම නොමැති රැකව කලපුවේ කඩොලාන මතින් බෝට්ටු සවාරියක් යෑම සිතට නිස්කලංක බවක් ඇතිකරන දෙයක් වේවි. බෝට්ටු ඔරු පහසුකම තවමත් ඉහල මටටමක නැතත් ඒ පළාතේ ඔරුකරුවෙක් සොයාගන්න ලොකු මහන්සියක් නම් වෙන එකක් නැහැ. ඊට අමතරව එක්තරා කාලයකදී රැකව වෙරළ තීරයට සංචාරකයින් රැගෙන එන එක් මාර්ගයක් ලෙස කැස්බෑවුන් හැදින්විය හැකියි. විශාල දාර කැස්බෑවුන් පැමිණ ගුල් හාරා බිත්තර දමන අකාරය නැරඹීම බොහෝ සීරුවෙන් කල යුතු දෙයක්. එහෙත් යන්ත්‍රයකින් මෙන් බිත්තර සිය ගණනක් හලන කාර් රියකින් බාගයක් තරම් විශාල මෙම කැස්බෑවුන් දැකගැනීමට සාගරයේදී නම් හැකියාව අඩුයි. බිත්තර දාන්නට පැමිණෙන විට ඒ දර්ශනය සාවධානව නැරඹීම කැස්බෑවුන් ස්වාභාවිකව බැලීමට ඇති එක් ආකාරයක්.
4. උස්සන්ගොඩ කඳු මුදුන
උස්සන්ගොඩ ඇතැම් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වන්නේ රතුපස්ගොඩැල්ල යන නමින්. අවට පළාත පුරා ඇති කහපැහැති පස වෙනුවට එක් පළාතක පමණක් තද රතු පැහැති පස් ස්ථරයක් විසිරී පැතිරී තිබෙනවා. ඉතා ඇත කාලයක සිදුවූ ආකාශ වස්තු කඩාවැටිමක් හෝ භූ තාපය හේතුවෙන් සිදුවූ සිදුවීම් දාමයක් මගින් මෙලෙස උස්සන්ගොඩ බිම රතුපැහැ ගන්නට ඇති බැව් විද්‍යාඥයින් මත පළ කොට තිබෙනවා.
දේව යුද්ධයක් අවසන ගැලූ ලේ දහරා හේතුවෙන් මෙම පෙදෙස ලේ පැහැ වී ඇති බැව් ජනප්‍රවාද වල සදහන් වෙනවා. කොහොම වුවත් එම කලාපය මුහුද අසබඩ පිහිටි තැනක්. වෙරලේ ඇතැම් තැනක තද උෂ්ණයකට හසු වී උණු වී ගිය වැනි ගල් තලාද දැකගැනීමට හැකියි. මෙම වෙරළ තීරයෙහි ඇති සුවිශේෂී අලංකාර බව හේතුවෙන් චිත්‍රපට සහ මියුසික් වීඩියෝ කිහිපයකටම මෙම වෙරළ තීරය යොදාගෙන තිබෙනවා. උස්සන්ගොඩ තැනිතලාවේ රතු පස් තලාපයේ කුඩා පදුරු මිස විශාල ගස් වැවීමක්ද සිදු වන්නේ නෑ. උස්සන්ගොඩ රතුපස් ගොඩැල්ල වගේම ඒ අසල අලංකාර වෙරළ තීරයත් තංගල්ලේ සිට තිස්ස යන ප්‍රධාන මාර්ගයේ ගොස් අම්බලන්තොට ආසන්නයේදී හැරී වෙරල දෙසෙට ගමන් කිරීමෙන් නැරඹීමට හැකියි.
උස්සන්ගොඩ ආසන්නයේම කලමැටිය අභය භූමියද පිහිටා තිබෙනවා. කඩොලාන විල්ලුව තුල සංචාරක පක්ෂීන් මෙන්ම විල්ලු ආශ්‍රිතව දිවිගෙවන අලංකාර පක්ෂීන්ද ලැගුම් ගෙන සිටිනවා. මෙම කලමැටිය අභය භූමිය කුරුල්ලන්ට ලැදි සංචාරකයින්ගේ එක් මධ්‍යස්ථානයක් ලෙසද සැලකෙනවා.
5. මුහුද අසබඩ සංචාරක නවාතැන්
කලබලයට මෙන් තැන් කිහිපයකට කඩා වැදී එතැන් නැරඹීම රුචි නොවන සංචාරකයින් ඇතැම් දෙනෙක් එක් මුහුදු වෙරළක දිගාවී සැනසීමෙන් සවස් කාලය ගතකරමින් විවේකයෙන් සිටින්නට කැමැතියි. හොඳට කෑමෙන් බීමෙන් අඩුවක් නැති පහසුකම් සපිරි ඒ වගේම මනරම් වෙරල තීරයකට යාබද වූ සංචාරක නිකේතන රැසක් මෙම දකුණු වෙරළ කලාපයේ පිහිටා තිබෙනවා. දික්වැල්ල තංගල්ල , මාරකොල්ලිය, රැකව, කලමැටිය, රන්න, කහදමෝදර , ගොයම්බොක්ක ආදී වෙරළ තීර රැසක් තංගල්ල පලාතේ මේ වන විට සංචාරක වාසස්ථාන ඇති සනීපදායක ස්ථාන බවට පත් වී තිබෙනවා. ඇතැම් තැනෙක දේශීය සංචාරකයින්ට කාමර නිකුත් නොවුණත් ඒ ආසන්නයේ තැනක් වෙනත් තැනක් සොයාගන්නට දේශීය සංචාරකයිනට හැකියි.
විඩාවෙන් පිරී ගිය කාර්බහුල ජීවන රටාවෙන් මිදී සැහැල්ලුවෙන් තැන් කීපෙකුත් බලාකියාගෙන විවේකයෙන් ඉන්න තංගල්ල පැත්ත තෝරාගන්නට ඔබට මෙයින් හේතුවක් දෙකක් ලැබෙන්නට ඇති.
Cover Image Source – buravi.com
Leave a Reply