අලුතින් බබෙක් ඉපදීම කියන්නේ බොහොම සුන්දර අත්දැකීමක්. අපේ ළඟම ඥාතියෙක්ට නම් අලුත් බබා උපදින්නේ අපේ හිතටත් නොදැනීම පොඩි අභිමානයක්, ආඩම්බරයක් එනවා. ඒ වගේම නිතර හමුවෙන යාලුවෙක්, අල්ලපු ගෙදර ඉන්න අක්කා හෝ නංගී, ඔෆිස් එකේ මිතුරියක් විශාල කුසක් දරාන මාස ගණනාවක් දුක්වෙලා දරුපැටියෙක් ලෝකෙට දායාද කරලා නම්, එතැනදි දරුපැටියා බලන්න යන එක අපේ තියෙන හොඳ පුරුද්දක්. ඒත් නිකාං ආවට ගියාට, හිතුමනාපේ දරුවා බලලා එන්නෙ නැතුව, දරුවා බලන්න ගිහින් මොනවද කරන්න ඕනි? කොහොමද අම්මගේ සහ ඒ ගෙදර අයගේ හිත නොරිද්දා බබාව බලලා එන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතන එක වටිනවා. අපි ඒ ගැන කරුණු කිහිපයක් ලයිෆි ඔස්සේ ඔබට කියන්නට හිතුවා.
1. බබා බලන්නට යන්න ඕනි කාලය

Image Source – incredibleyears.com
පොඩි බබෙක් ඉපදුන ගමන්ම බබා විතරක් නෙමෙයි අම්මත් පරෙස්සම් වෙන්නට ඕන. ඒ කාලෙදි අම්මට ටිකක් ගෙදර වැඩ පල කරගන්නත් අමාරුයි. පිටින් එන පිරිසකට පහසුකම් සලසන්න අම්මාට බැහැ. දරුවෙක් ලැබුනා කියලා ආරංචිය ආවම ඒක වෙනුවෙන් කෝල් එකක් දීලා ඉඩ තියෙන වෙලාවක සුබ පැතීම හොඳයි. බබා ලැබිලා බලන්න යන්න ආසම වුනත් සති 6ක් වත් ඉවසන එක තමයි හොඳ. ඉන් පස්සේ බබාත් අම්මාත් හොඳ සනීපෙන් ඉන්නවා කියල දැනගත්තාම අපිට පුලුවන් බබාව බලන්න යන්න දවසක් දාගන්න. මෙහෙම කිව්වට ඉතිං බොහෝම සමීප නෑයෙක් නම් හැකි ඉක්මනින්ම බබාව පොඩ්ඩක් බලලා එන්න ඕනි. ඒ කිව්වේ අපේ නංගිට එහෙම බබා ලැබුනාම අක්කා හෝ අයියා එනකම් එයාල මග බලන් ඉන්නවා අලුත් බබාව පෙන්වන්න. ඔය කන්තෝරුවේ, අහල පහල, කෝච්චියේ යන යාලුවෙක්ගෙ වගේ බබෙක් බලන්න තමයි කලිං කිව්ව මාසයක් දෙකක් ප්‍රමාද වෙලා යෑම වලංගු වෙන්නේ.
2. යන්න ඕනි ආකාරය

Image Source – thebump.com
අලුත් බබා කියන්නේ මේ ලෝකෙට අලුත් ජීවියෙක්. අපි හතර අතේ රවුන් ගහලා ගහලා හැන්දෑ වෙන්න දාඩිය පිටින් බබාව බලන්න ගියොත් බබාව ලෙඩවෙන්න පුලුවන්. ඒ නිසා බබා බලන්න යන එක වෙනම ගමනක් විදියට යොදාගෙන, හොඳට පිරිසිදු වෙලා, අලුත් ඇඳුමක් දාගෙන යන එක නුවණට හුරුයි. ඒ වගේම යන ගමන ඒ අයට කරදරයක් නොවන වෙලාවක් තෝරලා යන්නත් වගබලාගන්න ඕනා. අලුත අම්මා කෙනෙක් වුනාම බබාගේ වැඩ ටික කරන එක ලේසි නැහැ. ඒ අතර නිවසට බබා බලන්න කණ්ඩායම් දෙක තුනක් එකපාර ආවොත් අම්මට ඒක කරදරයක්. ඒ නිසා හොඳට පිරිසිදු වෙලා, හොඳ පහසු වෙලාවක බබා බලලා එන්න යෑම ගොඩක් හොඳයි.
3. සබන් පවුඩර්

Image Source – firstcry.com/seventeen.com
පරණ පුරුද්ද තමයි බබාට ඕනි කරන සබන් පවුඩර් කට්ටලයක් ගෙනියන එක. ඒත් දැන් සමහර අම්මලා තාත්තලා බබාට පාවිච්චි කරන්නේ එක ජාතියක සබන් පවුඩර් විතරයි. “ඉතිං අපිට මොකෝ? අපි කරන්නේ යුතුකම නේ” කියලා කියන්න පුලුවන් වුනත්, වැඩියෙන් උවමනා වෙන දෙයක් ගෙනිහින් දෙන එක එයාලට වගේම අපේ හිතටත් අමතර සතුටක් නේද? බබාලාට සුවපහසු නැපි, පැම්පස් වගේම හැකිනම් ළඟපාත තැනකින් වවුචරයක් ගෙනිහින් දෙන එකත් හොඳයි. වවුචර් එක දෙද්දි පරණ කඩේ මුදලාලි සීනි දෙසිය පනහක් දෙනවා වගේ අමුවෙන් දෙන්නේ නැතුව ඒක ලස්සනට ඔතලා කාඩ් එකක් එක්කම දෙන්න පුලුවන් නම් අම්මාට එය හොඳ මතක සටහනක් වේවි. ඒ එක්කම අපේ යාලුවා ඉතිං බබාගේ අම්මා හරි තාත්තා හරි නේ. තාත්තා වුනත් අමතක කරන්න බැහැ. අලුත උපන් ළමයෙක් ඉන්න ගෙදරක තාත්තා කෙනෙක්ට රෑට හරියට නිදාගන්න ලැබෙන්නේ එහෙමත් දවසක. ඉතිං මේ අයගේත් රුචි අරුචිකම් අනුව හොඳ පොතක් පතක්, මල් පැලයක්, විසිතුරු බඩුවක් ගෙනියන්න පුලුවන් නම් තවත් හොඳයි.
4. කෑම බීම

Image Source – orders.provenancemeals.com
කෑම බීම පිලියෙල කරන එකනම් අලුත උපන් බබෙක් ඉන්න අම්මෙක්ට අමාරු දෙයක්. ඒත් ඒ අය ටිකක් බලකරනව වගේ නම්, ආගන්තුක අය විදියට සාලෙට වෙලා ඉන්නේ නැතිව පොඩි චැට් එකක් දාගෙන උයන පිහන වැඩට උදව් වෙන එක හොඳ දෙයක්. ඉස්සර අපේ ගම්වල ආච්චිලා, අම්මලා දුර බැහැර ඉන්න තමුන්ගේ දෝනියැන්දාව බලන්න කෙහෙල් කොළේක ඔතාපු හොඳ බත් ගෙඩියක් අරගෙන යනවා රස එළවලු තුන හතරක් එක්ක. ඒකට අලුත් අම්මා කැමති ව්‍යංජන දෙක තුනක් එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ. කොච්චර තමුන් උයාගෙන කෑවත් එහෙම හොඳ බත් එකක් කන්න ලැබෙන එක වාසනාවක්. ඔයා උයන්න ප්‍රසිද්ධ නම්, රහට උයන පිහන එක ඔයාට නතින් වැඩක් නම්, බත් එකක් හදාගෙන, ඒ බව කලින් කියලාම යන එකත් හොඳයි.
5. හපෝ අපිරිසිදු වෙලා, හැඩිවෙලා

Image Source – youtube.com
අපේ අයට මොකක්දෝ මන්දා ජානගත පුරුද්දකට වගේ ගෙදරකට දොරකට ගියොත් අඩුපාඩු ටිකක් යහමින් පේනවා. ගෙදර හැඩිවෙලා, අස් පරස් වෙලා නැහැ, මිදුල් අතුගෑවිලා නැහැ, කුස්සියේ බඩු හැමතැනම ආදී දේවල් අලුත් බබා උපන් තැනට ගියාමත් අපිට පේන්න ගන්නවා. ඒත් ඒවා බලලා ඇවිත් කෝල් එකක් අරං අනෙක් අයට කියනවාට වඩා හැකි පමණ ඒවා ගොඩදාගන්න උදව් වෙන එක බබාටත් අම්මටත් කරන සහයෝගයක්. මිදුල ඉතිං හැඩිවෙලා නම් පිට කෙනෙක්යැ, අපේම යාලුවෙක්, නෑයෙක් නේ. ඉතිං ඒක අතුගාල දුන්නට පාඩුවක් නැහැ. ගැහැණු අයට නම් ගේ අස් කරලා, කුස්සිය අස් කරලා අම්මාට පොඩි සහයෝගයක් දෙන එක ලොකු දෙයක් නෙමෙයි. වැරදි පෙනුන ගමන් ඒවා හිත අස්සේ අමිහිරි විදියට දාගන්නේ නැතිව, ඒ වැරදි නිවැරදි කරගන්න උදව් වෙන එක ජීවිතේට වුනත් ළං කරගන්න හොඳ පුරුද්දක්.
6. කට පරෙස්සම

Image Source – ourhappyhive.com
අලුත උපන් බබා බලන්න ගියාම කියන ඇහෙන කතා තියෙනවානේ. ඒවායෙන් ඇතැම් දේවල් ගැන අපි ටිකක් හිතුවොත් ඇත්තටම ඒවා ටිකක් හිත රිද්දන ඒවා නේද? දරුවෙක් නිවසකට ඒම කියන්නේ අම්මාට තාත්තාට වගේම පරම්පරාවේ අයටත් වාසනාවක්. ඒ වගේ අවස්ථාවකදි දරුවා බලන්න ගිහින් පැරණි ඉතිහාස කතා, පවුලේ අයගේ වැරදි, අලුත් බබාගේ අම්මා තාත්තගේ ඉස්සර හැසිරීම් ආදී වල්පල් ටිකක් අඩුවෙන් කතා කරනවා නම් හොඳයි. ඒ වගේම බබා ගැන රිවීව්ස් දෙද්දි ටිකක් පරෙස්සම් වෙන්නට ඕනි. බබා කෙට්ටු නම්, බර අඩුනම් “බබා කෙට්ටුයි නේද? බරත් අඩු ඇති නේද?” කියලා පොල්ලෙන් ගැහුවා වගේ කිව්වා කියලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම බබාගෙ අම්මගෙ තාත්තගෙ පෙනුමට වඩා බබා පෙනුමෙන් වෙනස් නම්, එතැනදී අනවශ්‍ය දේවල් කියලා දෙමාපියන්ගේ හිත රිද්දන එකත් බබා බලන්න යන අය නොකළ යුතු දෙයක්. කොහොම හරි ඒ අයගේ හිත රිදෙන්නේ නැති වෙන්න සතුටින්, පොඩි කතාවක් දාලා එන එක බුද්ධිමත් ඔබේ වගකීමක්.
7. බබා වඩාගැනීම සහ සන්සන්දනය

Image Source – babygaga.com
බබා වඩාගන්නට යනවා නම් අත් දෙක හොඳට සෝදාගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම වඩාගන්න දෙන්න වැඩිය අම්මා කැමති නැහැ වගේ නම්, ඒ ගැන වැඩිය කරදර නොවී, චූටියාව දැකබලාගෙන එන්න අපිට පුලුවන් වෙන්නට ඕනි. අද කාලේ හැමදේම අලුත්. දැන් ඉස්සර වගේ බබා ලැබුනාම පරණ විදියට ගවුම්, චීත්ත අඳින්නේ නැහැ. සමහර විට ඔබ බබා ලැබිලා මාස දෙක තුනකින් යනවා නම් පොඩි කොට කලිසමකින් අම්මා සැරසී ඉන්නවා වෙන්නට පුලුවන්. “එදා නම් අපි මේම… අද මේම” කියා, ඒ වගේ දේවල් විවේචනය කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම සන්සන්දනය කරන්න පුලුවන් ගොඩාක් දේවල් තියෙනවා. “අපේ සුදු බබා, පැටිය කාලේ එයා මේම මේම මහතයි, එයා මේම මේම කෑ ගැහුවා” වගේ ඒවා වුනත් එක්තරා සීමාවකට තියාගන්නට වගබලාගන්නට ඕනි.
බබා බලලා ඒම නිකං ඔන්න බබා බැලුවා මෙන්න ආවා නෙමෙයි… අපි ටිකක් ඉස්සරහට ගිහින් අම්මාගේ සහ ඒ ගෙදර අයගේ හිත නොරිදෙන විදියට උපදෙස් උනත් දෙන්නට ඕනා. බබාව අල්ලන විදිය, බබාව නලවන විදිය, බබාව තියලා තියෙන විදිය වගේ දේවල පොඩි වැරැද්දක් තියෙනවා නම්, “නංගියේ මේක මෙහෙම වුනොත් හොඳයි කියලා තමයි මම අහලා තියෙන්නේ” කියලා ආදරෙන් කියන්නට ඕනා. “හාපෝ මේ මොකද්ද මේ කරලා තියෙන්නේ” කියලා ඇඟට ගොඩවෙන එක අනවශ්‍ය මැදිහත් වීමක් වෙනවා.
ඉතිං ඔයාලට බබෙක් බලන්න ගියාම කොහොමද වෙන්න ඕනි කියලා අදහසක් මේ හරහා එන්නට ඇති. ඒ වගේම මීළඟට අලුත් බබෙක් බලන්න ගියාම අම්මගේ හිත සතුටු වෙන ආකාරයට ඔයාලා බබාලව බලලා ඒවිය කියල ලයිෆියේ අපි හිතනවා.
Cover Image Source – huffingtonpost.com
Leave a Reply