පොඩි බඩ කලගෙඩියක් බවට පත් කරන නරක පුරුදු

හැදෙන ගහ පැත්තෙන් දෙපෙත්තෙන් දැනේ කියලා කියමනක් තියෙනවා. ඒ වගේ අපේ හැදෙන බඩත් ටිකක් පැත්තෙන් බැලුවාම ගාණට පේනවා. බඩ ටිකක් හැදීගෙන එනකොටම අපිට බඩ අඩු කරගන්න ඕනි වෙනවා. එතකොට රූපවාහිනියේ අන්තර්ජාලයේ සහ වෙළඳපොලේ තියෙන ලාභ ක්‍රම හමු වෙනවා. බඩේ ආලේප කරලා බඩ අඩු කරන ක්‍රම, බඩ වටා බෙල්ට් එකක් දාලා බඩ අඩු කරන ක්‍රම, බඩට හොඳට ව්‍යායාම කරවන යන්ත්‍ර වගේම වැඩි බඩ මට්ටුව පිණිස සැදූ එක එක වර්ගයේ ඖෂධත් තියෙනවා. ඒත් සරලවම සැලකුවාම බඩ ලොකු වෙන්නෙ ව්‍යායාමයකින් තොරව සිරුරට පමණට වඩා ආහාර දාගත්තම කියලා අපි හොඳටම දන්නවා. ඉතින් බඩ වැඩි කරන නරක පුරුදු කිහිපයක් අපි කියවලා බලමු. 

 

1. නිසි නින්දක් නොලැබීම

නින්දට ඇඳට ගියාට පස්සේ සෝෂල් මීඩියා යන එක නරක පුරුද්දක්. ඒකෙන් නින්ද තවත් ප්‍රමාද වෙනවා. රෑ වෙනකල් ගෙදර ටීවි බැලීම, රෑ 12ත් පහු වෙනකල් යාළුවෝ එක්ක කරක් ගැහීම වගේ විනෝදාංශ එච්චරම බඩට හොඳ නැහැ. නින්ද නිසි ලෙස නොලැබීම බඩ වැඩිවෙන්න ප්‍රබල හේතුවක් කියලා හොයාගෙන තියෙනවා. නින්ද වුනත් වැඩිපුර ගැනීමත් හොඳ නැහැ. පැය 7-8ක නින්දක් සාමාන්‍ය පුද්ගලයෙක් සදහා හොඳටම ප්‍රමාණවත් .

 

2. පිඟාන ගැන සැලකිලිමත් නොවීම

සමහර අය පුරුද්දක් විදිහටම සෙට් වෙලා කනවා. ඔෆිස් එකේ වුනත් ගෙදරදි වුනත් සෙට් වෙලා කන එක හොඳ සෝෂල් පුරුද්දක් වුනත් සෙට් වෙලා ආහාර ගැනීමෙදි තනිව ආහාර ගන්නවාට වඩා 44%ක් පමණ වැඩිපුර ආහාර බඩට යන බව සොයාගෙන තියෙනවා. ලොකු පිඟන් වල ආහාර ගන්නට හුරු වීමෙනුත් බඩට නිකරුණේ යන ආහාර ප්‍රමාණය වැඩි වෙනවා. වඩාත් සුමට පිටි සහ ස්වීට්ස් ආහාර වර්ග රළු අහාර වලට වඩා මිනිස් සිත ඩැහැගන්නවා. ඒත් ඒ සුමට ආහාර බොහොමයක් මගින් ලැබෙන පෝෂ පදාර්ථ එතරම්ම හොඳ ඒවා නෙමෙයි. ඒ නිසා ලේසි කෑම කන්න පුරුදු වෙලා ඉන්නවා නම් ටිකක් ඒකෙන් ඈත්වෙන එකත් බඩට හොඳ වෙයි.

 

3. අයහපත් බීම පුරුදු

දැන් ලංකාවේ පැණි බීම විතරක් නෙමෙයි, කිරි වැනි පාන වර්ග වල පවා සීනි මට්ටම ගහලා තියෙනවා. සෝඩා හෙවත් කාබනේටඩ් බීම බොද්දි සීනි මට්ටම බලලා බොන්න ඕනි. ඒ වගේම තේ කෝපි වගේ දේවල් නිතර නිතර පාවිච්චිය වගේම තේ කෝපි බොනකොට වැඩිපුර සීනි එකතු කරගන්න එකත් නරක පුරුද්දක්. වතුර බෝතල් මේස උඩ තියාගෙන හිටියට විතරක් මදි. අපි දවසකට සිරුරකට ඕනි කරන වතුර ප්‍රමාණය වන ලීටර 3කට ආසන්න ප්‍රමාණය බොන එකත් පුරුදු වෙන්නට ඕනි. 

 

4. ස්ට්‍රෙස්

සමහර අයට මානසික පීඩාවක් ආවාම, හැගීම්බර ප්‍රශ්නයක් ආවාම නොකා ඉන්නවා. තවත් අය වැඩිපුර කනවා. මේ දෙකම බඩ පාලනයට එච්චර හොඳ නැහැ. සමහර අය ස්ට්‍රෙස් වැඩි වුනාම ගන්න තියෙන ආහාර වේලවල් මග හරිනවා. ආහාර වේල් මග හැරීම ඇඟේ බර වැඩිවෙන්න සෘජු හේතුවක් වෙනවා. ස්ට්‍රෙස් නැතිකරගන්න එක පෙත්තකින් හෝ මසාජ් එකකින් වගේ ක්ෂණිකව කරගන්න බැහැ. ජීවන රටාව වෙනස් කරගැනීම, අලුත් විනෝදාංශ එකතු කරගැනීම, චාරිකා වල යෙදීම, පවුලේ අය සමග ගතකරන කාලය වැඩිකිරීම, ක්‍රීඩා වල නිරත වීම වගේ ක්‍රියාකාරකම් එකිනෙකාට තමුන්ගේ ස්ට්‍රෙස් ලෙවල් එක අඩුකරගන්න පාවිච්චි කරන්නට පුළුවන්.

එකතැන වාඩිවෙලා පැය 8-10 වැඩකරන්න  අපිට අද සිද්ධ වෙලා තියෙනවා. ඒත් මිනිසාගේ සිරුර වගේම මනසත් එහෙම එකතැනකට වෙලා ඉන්නට සැකසිලා නැහැ. ඒනිසා ඇඟට වගේම මනසටත් එකම තැන පැය ගණන් එකම ඉරියව්වෙන් ඉන්න එක වධයක්. ඒ නිසා එකතැන වැඩකරන්න වෙන අයට දවසේ එක වෙලාවක ඇවිදීම, ජිම් යෑම, ක්‍රීඩා කිරීම, යෝගා වලට යොමු වීම වැනි වෙනසක් ලැබෙන වැඩක් කරන එක බඩ අඩුවෙන්න වගේම එදිනෙදා සෞඛ්‍යයටත් හොඳ වේවි. 

 

5. එදිනෙදා ව්‍යායාම ලැබෙන ස්ථාන මගහැරීම

කාර්යාල වලදි කරන්න පුළුවන් හොඳ ව්‍යායාමයක් තමයි තරප්පු නැගීම සහ බැසීම. තරප්පු පේළි තිබුනාට දැන් ගොඩක් අය කැමති ලිෆ්ට් එකේ යන්න. ඒත් ලොකු කලබලයක් නැතිනම් පඩි පේළි  පාවිච්චිය ඇඟට හොඳ ව්‍යායාමයක් ගේනවා. ඒ වගේම ගෙදරින් එළියට බහින හැම වෙලාවෙම වාහනයකින්ම බහින්නේ නැතිව පයින් යන ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන් නම් එයිනුත් සිරුරට හොඳ ව්‍යායාම ලැබෙනවා.

 

6. කෑම වල පෝෂණ ගුණ ගැන නොතැකීම

කෑම කද්දි කෑම වල තියෙන දේවල් මොනාද? කෑම ගන්න ප්‍රමාණය මොකද්ද කියලා අවධානයකින් කන පුරුද්ද අපේ බොහොමයක් දෙනාට නැහැ. බුදු දහමේදීත් ආහාර ගැනීමේදී ආහාර ගැන අවධානයෙන් කෑමේ වැදගත්කම ගැන වදාරලා තියෙනවා. 

ආහාර ගන්න ගමන් පරිගණකය, ෆෝන් එක, ටීවී එක දිහා බලාගෙන අහාර ගැනීමෙන්, අපි ගන්නා ආහාර මොනවද? ඒවා කොපමණ ගැනෙනවාද කියන එක ගැන තියෙන අවධානය ගිලිහෙනවා. මේ ආහාර වල තෙල්, කාබෝහයිඩ්‍රේට වැඩිපුර තිබුනොත් එයින් බඩේ මහත තවත් වැඩිවෙනවා. ඒත් ප්‍රෝටීන සහිත ආහාර සහ එළවළු පළතුරු කියන්නේ එච්චරම ලොකු අවුලක් තියෙන දෙයක් නෙමෙයි. ඒ විදිහට අපි කන දේවල් මොනවද? ඒවායේ අන්තර්ගතය මොනවද කියලා හිතලා කන්න පුරුදු වුනොත් ඒක බඩට වගේම ඇඟටත් හොඳ පුරුද්දක් වේවි.

 

7. ජිම් එක සහ එක්සයිස් රූට් මගහැරීම

එක්සයිස් පටන් ගන්න තියෙන මහන්සිය ඒක පවත්වාගෙන යද්දි අතුරුදන් වෙනවා. සමහර අයට එක්සයිස් කරන්න වෙලාව වෙන් කරගත්තාම නෙට්ෆ්ලික්ස් වල ඊළඟ සීරීස් එක බැලීම, ටෙලි නාට්‍ය බැලීම ෆේස්බුක් ගොස් යාළුවන් ගැන බැලීම,යාළුවාට කෝල් කර විස්තර ඇසීම වගේ දාහකුත් එකක් වැඩරාජකාරි මතක්වෙනවා. ඒත් ඒ හැම පුරුද්දකටම වඩා ජිම් එකකට ගිහින් ඇඟ හදාගන්න එක වටිනවා. එක පැත්තකින් අපේ සිරුර ජිම් යන එක නිසා ලස්සන වෙනවා. අනෙක් පැත්තෙන් බඩ අඩුවෙලා අලුත් ෆිට් එකක් ජිම් එකෙන් ඇඟට එකතු වෙනවා.

හොඳට ඇඟ තියෙන කෙනෙක් දිහා බලන්න. ඔවුන්ට ඒ සිරුර නිකම්ම ලැබිලා නැහැ. ඔවුන් ජිම් ගිහින්, ආහාර පාලනය කරලා, සැලකිය යුතු කැපකිරීමක් කරලා තමයි ඒ ආකර්ෂණීය, බඩ අඩු, සුන්දර සිරුර ලබාගෙන තියෙන්නේ. බඩ අඩු කරගන්න එක ගැන සාකච්ඡා කළාට පමණක් බඩ ඉබේම අඩුවන්නේ නැහැ. කැපවීමෙන් අපේ නරක පුරුදු වලින් ඈත් වෙලා, අලුත් හොඳ පුරුදු ඇතිකරගන්න හැකිනම් මාස කීපෙකින් ම ඔබේ සිරුර ඉදිරිපිට තියෙන අභිමානවත් බඩ ඔයාලට අයින් කරග්න්න පුළුවන් වේවි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *