කොහොමත් නිවර්තන කටුක දේශගුණයක් තියෙන ලංකාවේ අපි කතරගම යන්න් සනීප ගන්න නෙමෙයි. කතරගම කියන්නේ හම්බන්තොට ආසන්නයේ ඇති කටුක පරිසරයක් තියෙන පළාතක්. කටුසර ගස් කොලන් වලින් හෙබි කතරගම ඇතැම් කාලවලට කතරක් හෙවත් කාන්තාරයක් නේදැයි සිතෙන තරමට ඌෂ්ණ ස්වභාව ගන්නවා. වැඳපුදාගෙන, දේව ආශීර්වාදය අපිට, අපේ වැඩවලට, අපේ ව්‍යාපාරික ස්ථානවලට ලබාගන්නට අපි කතරගම යනවා. විවිධ අන්දමේ සිද්ධස්ථාන කිහිපයක්ම තියෙන කතරගම ඒ සිද්ධස්ථාන වලින් කිහිපයක් වැඩිපුර බැතිමතුන්ගේ වන්දනාවලට ලක් වෙනවා.
1. කතරගම දෙවොල
කතරගම යනු සර්වාගමික සිද්ධස්ථාන පිහිටා ඇති වටිනා තැනක්. එයින් කතරගම මහ දෙවොල වඩාත් ජනප්‍රියයි. මේ මහ දෙවොලේ දවසට තුන් වතාවක් පූජා පැත්වෙන අතර බැතිමතුන් පළතුරු වට්ටි තබා දෙවියන්ට වන්දනාව සිදුකරනවා. පොල් ගැසීමේ චාරිත්‍රයක්ද මේ කතරගම දෙවොල ආශ්‍රිතව තියෙනවා. මෙහි දෙවියන්ගේ රූපය සහිත විශාල තිරයක් ඇති අතර ඒ පිටුපසින් දේව ආසනයක් ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් හින්දු ආගමික කෝවිලක් වැනි දෙවියන් වැඩ සිටින තැනක් වුවද වෙනත් හින්දු සිද්ධස්ථාන මෙන් කතරගම දෙවොලේ විශේෂ ගෘහ නිර්මාණ ශිල්ප දකින්නට නැහැ. එසේම දැනට පුද පූජා කටයුතු කෙරෙන්නෙත් සිංහල කපු මහත්වරු අතින්.
2. අෂ්ඨ ඵල රුහ බෝධිය
බෝධි වන්දනාව බෞද්ධයින් බුදුන් වෙනුවෙන් කරන මූලිකම පූජාවකි. ශ්‍රී ලංකාවට වැඩම කරන ලද සිරිමා බෝධියේ මුල්ම අංකුරයන් අටෙන් එකක් මේ කතරගම පුද බිමේ දේවාලයට ඉතා ආසන්නයෙන් වැඩවාසය කරනවා. මේ බෝධීන් වහන්සේ ද අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධයි. ඒ නිසා දිවයින නන් දෙසින් එන බැතිමතුන් කතරගම වන්දනාවේදී මේ බෝධීන් වහන්සේ වැඳපුදාගන්නවා. ඒ සමගම තිබෙන අනික් බෝධියට කඩවර බෝධිය කියලා කියනවා.
3. කිරි වෙහෙර
කතරගම යනු බුදුන් වහන්සේගේ ලංකාගමනයේදී පාදස්පර්ශය ලැබූ අවසාන ස්ථානයයි. මේ කිරිවෙහෙර දුටුගැමුණු රජ දවස දක්වා පැරණි වූ සිද්ධස්ථානයක්. සුදෝ සුදු වන් කිරි වෙහෙර බෞද්ධ බැතිමතුන්ගේ සිත් පහන් කරනවා. මේ කිරි වෙහෙර ආසන්නයේ මහසෙන් පිළිමයක් තියෙනවා. මහසෙන් යනු කතරගම දෙවියන්ගේම තවත් එක් ස්වරූපයක් යැයිද, එය මහසෙන් නොව දුටුගැමුණු රජතුමාගේම පිළිමයක් යැයිද මත තියෙනවා. කෙසේ වෙතත් කිරි වෙහෙර ඉදිකිරීම ගැන දැක්වෙන පෞරාණික ලේඛනවල මහසෙන් නැමැත්තෙක් ගැන සඳහන් වෙනවා. ඒ මහසෙන් පිළිමය ආසන්නයේද මහසෙන් දෙවියන් වෙනුවෙන් දේව පූජා පැවැත්වෙනවා.
4. මැණික් ගඟ
කතරගම ඇති චණ්ඩ වූ හිරුරැස් පතිත වෙන කඨෝර කාලගුණය පරයා පුදබිම හරහා ඇදී යන කුඩා නදියකි. එය මැණික් ගඟ ලෙස සියවස් ගණනාවක සිට බැතිමතුන්ට ජල පහසුව සලසා දෙනවා. ඌවේ නමුණුකුල කන්දෙන් පටන් ගන්නා මැණික් ගඟ කිලෝමීටර 160ක් පමණ ගෙවා මුහුද සිපගන්නවා . කතරගම මහ දේවාලයේ රාජකාරි සඳහා කෙලින්ම සම්බන්ධ වන මැණික් ගඟෙන් නා පිරිසිදු වී වන්දනා කටයුතු කිරීම බැතිමතුන්ගේ සිරිතක්. කෙම්මුර දිනවල කතරගම දේවාලයේ නානුමුර කිරීම මෙන්ම අෂ්ඨඵල බොධීන් වහන්සේ නෑවීමද සිදු කරන්නේ මැණික් ගඟේ වූ ශුද්ධ ජලයෙන්. යටත් විජිත සමයේ ඒ සුදු පාලකයින් පවා මැණික් ගඟේ පිරිසිදුකම ගැන අවධානය යොමු කර ඇති අතර දෙවියන්ගේ පුද පූජා වැඩට පේ කර තිබූ මැණික් ගඟට මුත්‍රා කළා යැයි රුපියල් 50ක දඩයක් ගැසූ බව ඉංග්‍රීසි ලේඛන වල සඳහන් වෙනවා.
5. සෙල්ල කතරගම
කතරගම දෙවියන් යනුවෙන් හැඳින්වෙන ස්කන්ධ කුමාරයා ඉන්දියාවේ සිට ලංකාවට සැපත් වූ බවත්, ඔහු ලංකාවේ කතරගම වැදි ජනයා අතර ජීවත් වූ වල්ලි අම්මා සරණ පාවා ගත් බවත් ජනප්‍රවාදයේ සඳහන්. එහිදී අසරණ මහල්ලෙකු ලෙස සැරසී වල්ලි අම්මා අසලට සමීප වෙන කතරගම දෙවියන්, එවෙලේ වල්ලි අම්මා අභිමුවට පැමිණි ඇතෙකුගෙන් වල්ලි අම්මා ගලවාගන්නේ නැවත සිය සුපුරුදු රූපයද පෙන්නුම් කරමින්. එවිට ඒ ප්‍රයෝගයට හසුවන වල්ලි අම්මා කතරගම දෙවිඳු නොහොත් කඳ කුමරුට සිය කැමැත්ත පළ කළා. ඒ ඇත් වෙසින් පැමිණියේ කතරගම දෙවියන්ගේ මලණුවන් වූ ගණ දෙවිඳුන්. එය සිදුවූ භූමිය සහ කඳ කුමරු සහ වල්ලි විවාහ වූ මංගල බිම සෙල්ල කතරගම ය. සෙල්ල කතරගම දේවාලයේ ඝන දෙවියන් වැඩ සිටී. විභාග කරන, අධ්‍යාපනය ලබන දරුවන් සහ වැඩිහිටියන් නුවණට අධිපති ගණ දෙවි ආශිර්වාදය පතා දිවයිනේ නන් දෙසින් මේ සෙල්ල කතරගම බලා ඇදේ .
6. වැඩසිටි කන්ද
වැඩසිටි කන්ද නැගීම කතරගම යන අයගේ එක්තරා චාරිත්‍රයක්. කතරගම දෙවොල ඉදිකරන්නට දෙවියන් ස්ථානය නියම කළේ මේ වැඩසිටි කන්ද මත සිට හී සරයක් විදීමෙන් බව පැවසෙයි. ඒ වැඩසිටි කන්ද යාබද තවත් නටබුන් වූ පෞරාණික ස්ථාන රැසකි. වැඩසිටි කන්ද මත බෝධීන් වහන්සේ නමක්ද, චෛත්‍ය වහන්සේ නමක්ද දෙවොල් දෙකක්ද පිහිටා තිබේ. මේ වැඩසිටි කන්ද අද හිමිවී ඇත්තේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාටය. ශේෂ කන්දක් වන වැඩසිටි කන්දට අද නැංගද තවමත් නාගරීකරණයෙන් ඈත් වූ කතරගම පළාතේ කෙත් වතු කුඹුරු වතුපිටි සපිරි අලංකාර භූමි දර්ශනයක් දැකබලාගත හැකිය. අද වනවිට කෘ කැබ් සේවාවකින් මුදුනතටම බැතිමතුන්ට වාහනයෙන් යෑ හැකිය.
7. කතරගම මුස්ලිම් පල්ලිය
බටහිර ජාතීන් ලංකාව ආක්‍රමණය කළ විට එයින් මුස්ලිම් ජාතිකයින්ට දැඩි බලපෑමක් එල්ල විය. එතෙක් වෙළඳ ආධිපත්‍යය තිබූ මුස්ලිම් පාලකයින් අතින් එය ලබාගන්නට යටත්විජිත බටහිර පෘතුගීසි ,ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයෝ උත්සාහ ගත්තේය. ඒ අවස්ථාවේදී සියවස් ගණනාවක් පුරා අපේ ජනතාව සමග අත්වැල් බැඳගෙන ජීවත් වූ මුස්ලිම් ජාතිකයින් රැක ගන්නට අපේ රජවරු සහ සිංහල නායකයෝ මැදිහත් වූහ. කතරගම විසූ බව සැලකෙන බබා නැමැති මුස්ලිම් පූජකවරයාගේ සොහොන මෙම ස්ථානයේ තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල බාරහාර භාරගැනීමක් සිදු නොවන නමුත් කතරගම මුස්ලිම් පල්ලියේ ජාති ආගම් භේදයක් නැතිව සියලු දෙනාම ගොස් බාරහාර සිදු කරනවා. තමුන් අපේක්ෂා කරන දෙයෙහි ආකෘතියක් මුස්ලිම් දේවස්ථානයට බාරදෙන බැතිමතුන් ඒ හරහා තමුන්ගේ අදහස් සඵල වේ යැයි විශ්වාස කරනවා. කතරගම පෙරහැර සමය පටන් ගන්නට පෙර සියලුම පූජාභාර නිළමේවරු සහ කපුමහතුන් හැමදෙනාම එකතුව එක් පූජාවක් මේ මුස්ලිම් පල්ලියේද පැවැත්වෙනවා.
කතරගම යන එක දැන් අලුත් හයිවේ එක නිසා හරිම ලෙහෙසි දෙයක් වෙලා. මීට කාලෙකට පෙර ඉන්දියාවෙන් ලංකාවට බෝට්ටුවෙන් එන්න හැකියාව තිබුනා. ඒ කාලේ තලෙයිමන්නාරම් තොටට ගොඩබැහැපු ඉන්දීය හින්දු ජාතිකයෝ ඉන් පසු තලෙයි මන්නාරම් සිට දුම්රියෙන් මාතර දක්වා ආවා. එතැනින් මාතර සිට පයින්ම හෝ එකල වූ රිය වලින් කතරගම දක්වා ගියා. ඒ වගේම එක් කාලයකට යාල මහ වනය මැදින් යාපනයේ සිට හින්දු බැතිමතුන් කතරගම වන්දනාවට එනවා. මීට වසර 50කට පෙර කොළඹ ඇත්තන්ට කතරගම යෑම දවස් දෙක තුනක චාරිකාවක් වුනා. අද වෙද්දි උදේ ගිහින් හවස එන්න පුළුවන් චාරිකාවක් වෙලා තියෙන කතරගම ගමන දැනගෙන ගිහින් ඔක්කොම සිද්ධස්ථාන බැති සිතින් වන්දනා කරගෙන එන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
Leave a Reply