ලංකාව චීන කොලනියක්. සමහර අය කියන්නේ එහෙමයි. ඒක ඇත්ත වුනා හෝ නොවුනා ලංකාවේ කොළඹ ගත්තත් වෙන පැතිවල ගත්තත් පුදුමාකර චීන්නු තොගයක් විවිධ ආකාරයේ වැඩ බිම්වල වැඩ කරනවා. පහුගිය දවස්වල චීනයේ වුහාන් වලින් අලුත් කොරෝනා වෛරසයක් බිහිවුනා. නිව්මෝනියාව වැළඳීමෙන් මරණය ලඟාකරවන මේ වෛරසය තවමත් පරීක්ෂණ පැවැත්වෙන දෙයක්. ලෝකේ පුරා විවිධ මට්ටමින් දැන් මේ වෛරසය ගැන පරීක්ෂා කරනවා.
1. කොහේද මේක තියෙන්නේ?
දැනට මේ වෛරසය වැඩිපුරම පැතිරිලා තියෙන්නේ චීනයේ වුහාන් පළාතේ. වුහාන් ඉඳලා තායි රටට ගිය සංචාරකයෝ දෙන්නෙක්ගෙනුත් මේ වෛරසය වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම හොංකොං සහ ජපානයට චීනෙන් ගිය සංචාරකයින් දෙන්නෙකුගෙනුත් මේ වෛරසය වාර්තා වෙලා තියෙනවා. ඒ හැර තවම චීනේ ගොඩක් දුරට මේ වෛරසය පැතිරිලා නැහැ. මේක මිනිසාගෙන් තවත් මිනිසෙකුට බෝ වෙනවාද යන්න ගැන තවමත් සොයාගෙන නැහැ. වුහාන් වල මාළු මාකට් එකකට ගිය පිරිසෙන් වැඩි පිරිසක් තමයි මේ වෛරසයට වැඩිපුර භාජනය වෙලා තියෙන්නෙ.
2. රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සා වෛරසයක් විදිහටම, කැස්ස සෙම ගතිය, ඔළුව බර ගතිය, උණ ඔලුවෙ කැක්කුම ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ මේ කොරෝනා වෛරසය වැළඳුන අයටත් එනවා. මේ අලුත් වෛරසයට තවමත් බෙහෙතක් කියලා එකක් හරියටම හොයාගෙන නැහැ. ඒ නිසා දැනට තියෙන වේදනා නාශක ආදියෙන් වේදනාව අඩුකරගන්නවා හැර වෙනත් පැහැදිලි විසඳුමක් මේ වෛරසය වැළඳුන අයට දෙන්නට නැහැ.
3. මේ වෛරසයෙන් මොකද්ද වෙන්නේ?
මේ වෛරසය ආසාදනය වුනාම පෙනහලු දරුණු විදිහට ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්වයක් ඇතිවෙනවා. මේ නිසා වයස වැඩි දුර්වල පුද්ගලයින්ට වැඩිපුර බලපානවා. දැනට මේ වෛරසය වැළඳිලා කියලා සොයාගෙන තියෙන්නේ චීනයේ වුහාන් පළාතේ 40 දෙනෙකුට විතරයි. ඒත් මේ වෛරසය තවත් පැතිරෙයි කියලා ලොව වටේම සෞඛ්‍ය බලධාරින් බයවෙලා ඉන්නවා.
4. චීන අවුරුද්ද සහ ගුවන් ගමන්
චීනයේ අවුරුද්ද පෙබරවාරි මාසයේ යෙදෙනවා. ඒ අවුරුද්දට ලංකාවේ වගේම ලෝකයේම තැන් තැන් වල වැඩ කරන චීන්නු ආයෙත් චීනයට යනවා. චීනයට ගිහින් සති දෙකක් විතර තියෙන උත්සව කාලේ රිසිසේ ගත කරලා ආයෙත් ඒ වැඩ කරපු රටවලට යනවා. මේ නිසා ලෝකයේ දියුණු රටවල ගුවන් තොටුපල් ආශ්‍රිතව උණ රෝගීන් සොයන්න විශේෂ වැඩපිළිවෙලවල් දියත් කරලා තියෙනවා. තර්මල් ඉමේජ්, එහෙම නැතිනම් සිරුරේ උෂ්ණත්වය සටහන් වන කැමරා මගින් චීනයේ සිට එන උණ රෝගීන් සොයාගන්නත්, එසේ සොයාගන්නා අය විශේෂයෙන් පරීක්ෂාවට භාජනය කරන්නත් අමරිකාව, කැනඩාව වගේ රටවල් දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
5. මේකෙන් මැරෙන්න පුළුවන්ද?
හතලිකට අධික මිනිස්සු ගාණකට දෙසැම්බරයේ පටන් අරගෙන මේ දක්වා වෛරසය වැළඳුනත්, මේ ලිපිය ලියන මොහොත වන විට එයින් මැරිලා තියෙන්නේ දෙන්නයි. ඒත් තවමත් පරීක්ෂණ කෙරෙන නිසා මේ වෛරසය වැළඳීමෙන් ඇතිවන බලපෑම් ගැන හරි පැහැදිලි අදහසක් වෛද්‍යවරුන්ට නැහැ. මෙතෙක් සොයාගත් වෛරස වලට වඩා වෙනස් මේ වෛරසය ගැන චීනයේ විද්‍යාඥයින් සහ වෙනත් රටවල විද්‍යාඥයින්ද එකතු වෙලා පරීක්ෂණ කරනවා. සාමාන්‍යයෙන් චීනය කියන්නේ එච්චර ලෝකෙට විවෘත රටක් නෙමෙයි. ඒත් මේ අවස්ථාවේ ලෝකේ ඉහළම මට්ටමේ තියෙන වෛද්‍ය අංශ සමග ඔවුන් වෛරසය ගැන සොයාගත් දත්ත හුවමාරු කරගන්න කටයුතු කරලා තියෙනවා.
6. කොහෙන්ද එන්න ඇත්තේ?
මේ වෛරසයත් මීට කලින් මිනිස්සුන්ට මරණීය වෛරස විදිහට ආපු සාර්ස් වෛරසය, එච් එයි වී, වගේ සතුන් අතර තිබුන වෛරස මාදිලියක්. මෙවන් වෛරස කාක්කන්, බල්ලන්, ඌරන්, පූසන් සහ ඔටුවන් යන සතුන්ට ස්වාභාවිකවම වැළඳෙනවා. ඒත් මේක මිනිස්සුන්ට වැළඳුනා කියලා සොයාගත්ත පළමුවෙනි අවස්ථාව තමයි මේ. මේ වෛරසය කොහොමද සත්තු ගාව තිබිල මිනිස්සුන්ට බෝ වුනේ කියන එක තාමත් හොයාගෙන නැහැ.
7. මීට පෙර පැතිරුණ සාර්ස්
මීට පෙර කලෙක ලොව පුරා මිනිසුන් භීතියෙන් සලිත කළ සාර්ස් වෛරසය ලොව පුරා මිනිස්සු දහදාහකට විතර වැළඳුනා. එයින් 800ක් දෙනා මිය පරලොව ගියා. මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් කියන නිව්මෝනියා වෛරසය ඔටුවන්ගෙන් මිනිසුන්ට බෝවුන එකක්. ඒ මර්ස් වෛරසය මුලින්ම හඳුනාගත්තේ ඔටුවෝ සමග වැඩකරන අයගෙන්.
8. මේ වෛරස පැතිරෙන්න පුළුවන් විධි
සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් විදිහටම මේ වෛරසය වැළඳුන අයෙක්ගේ කෙළ, සෙම් සොටු බිඳිති ආදිය මගින් ශ්වසන වාතය මගින් තවත් අයෙක්ට වැළඳෙන්නට ඉඩ කඩ තියෙනවා. කහිනකොට, කිවිසුම් යනකොට කුඩා බිඳිති වශයෙන් විසිරෙන ද්‍රව්‍ය මේ ඉන්ෆ්ලුවන්සා වෛරස බෝවෙන්න දායක වෙනවා. යම් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් වැළඳුණු කෙනෙක් පාවිච්චි කළ ලේන්සු, ඇල්ලූ බඩුබාහිරාදිය පරිහරණය කිරීමෙනුත් මේ වෛරසය බෝවෙන්න පුළුවන්. නිතරම අත් පිරිසිදුව තබාගැනීම, බෝවෙන ඉන්ෆ්ලුවන්සා වලින් ගැලවෙන්න හොඳ මගක් වෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා බෝවීම පහසුවෙන් සිද්ධ විය හැකි නිසා සෞඛ්‍ය කාර්යය මණ්ඩලත් මේ හරහා දැඩි අවදානමකට ලක් වෙනවා.
9. චීන අයගෙන් මේක බෝවෙයිද?
චීනෙට මේ රෝගය ඇවිත් තියෙන්නෙත් දෙසැම්බර් වලදි. තවමත් මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට වේගවත් පැතිරීමක් මේ වෛරසයෙන් වාර්තා වෙලා නැහැ. අපේ රටේ ඉන්න චීන උදවිය අපේ රටේ ඇතැමෙක් යනවා වගේ දිග නිවාඩුවලට, සති අන්තවලට චීන රටේ තියෙන එයාලගේ ගමේ යන්නේ නැහැ. එයාල මෙහෙ ඇවිත් කාලයක් ඉඳලා අවුරුද්දකට එක ගමනක් දෙකක් තමයි චීනයට යන්නේ. ඒ නිසා චීනයෙන් මේ වෛරසය එනවාදැයි ගුවන් තොටේදී පරීක්ෂා කිරීම හැර දකින දකින චීනාට මේ වෛරසය ඇති යැයි සැක කිරීම තේරුමක් නැහැ. කොහොම වුනත් ලෝකෙම සෞඛ්‍ය අංශ මේ ගැන දැඩිව ක්‍රියාකරල තියෙන වෙලාවක චීන පිරිස ගොඩක් රට ගිහින් ආයෙම එන චීන අවුරුදු කාලෙදි ලංකාවේ සෞඛ්‍ය බලධාරීනුත් මේ ගැන අවධානය යොමු කරන එක වටිනවා.
Leave a Reply