ශරීර උෂ්ණත්වය හෙවත් උස්නෙ අඩු කරගන්න මේ දේවල් කරලා බලමු

මේ දවස්වල කුඩයක් නැතුව එළියකට යන්න බෑ පතුරු ගැලවෙන රස්නයක් තියෙන්නේ. එහෙම බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක හින්දා ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යන්න පුළුවන්. ඒ රස්නේ අමාරුව මුළු ඇඟටම දැනෙනවා. හරියට ගිනි ගොඩක් ළඟ හිටන් ඉන්නවා වගේ. ඒක දරාගන්න බැරි මට්ටමට ළං වුණාම මොකක් හරි පිළියමක් ඕනි කරනවා. මේ ඔබට නිවසේ දී ම කරගන්න පුළුවන් දේවල්.



1. පාන වර්ග පානය කිරීම


වතුර, පොල් වතුර, කුරුම්බා, පළතුරු බීම, අයිස්ඩ් ටී වගේ සෞඛ්‍ය සම්පන්නබවට හානියක් නොකරන පාන වර්ගවලට අත ගහන එකෙන් ශරීරය අභ්‍යන්තරයෙන් හීන් හීතලක් දැනෙන්න ගන්නවා. උෂ්ණත්වය වැඩිවීම එක්ක ඇඟට දැනෙන අමාරු ගතිය නැති වෙලා පණ ගහලා එනවා. ඔය අමාරු එනකන්ම නොඉඳ පුරුද්දක් විදියට වතුර බොන්න පුරුදු වෙලා හිටියා නම් විජලන තත්ත්ව ඇති වෙන්න ඉඩ නොදී ශරීරය බබෙක් ව වගේ බලාගන්නවා.

 


2. කෝමාරිකා බලේ


කෝමාරිකා කෑල්ලක් කඩාගෙන ඇතුලේ තියන ජෙල් එක අතපයේ තවරගත්තම පුදුමාකාර සනීපයක් දැනෙන්නේ. ලොවෙත් සැපක් අවශ්‍ය නම් කෝමාරිකා කෑල්ල ගල්වන්න කලියෙන් ශීතකරණයක දාලා තියලා ගන්න. ඇඟේ පතේ ගගා ඉන්න එක මදිකමක් වගේ හිතනවා නම් ඇඟ ඇතුළට පත්තියන් වෙන්න ගසලා දාන්න පුළුවන්. වතුර වීදුරුවකට කෝමරිකා ජෙල් මේස හැඳි දෙකක් දාලා කලවම් කරලා බොන්න තමයි තියෙන්නේ. වෙළඳපොළේ දැන් දැන් කෝමාරිකා පාන එහෙමත් වැහි වැහැලා.



3. වතුරවලින් සෙල්ලම්


ගඟේ මූදේ පැනීමේ ඉඳන් ටැප් එකට ඔළුව ඇල්වීම දක්වා ම සියලු ම සෙල්ලම් රස්නය නැති කරවනවා. එහෙම සර්වාංගෙම තෙමා ගන්න එක වාතයක් නම් පොඩි බේසමකට වතුර ටිකක් අයිස් කැටත් එක්ක දමාලා ඒකේ කකුල් දෙක ඔබාගෙන විනාඩි 20ක් විතර සැපේ ඉන්න. සීතල ගතිය වැඩිවෙන්න නම් පෙපර්මින්ට් වගේ දෙයක් වතුර එකට දාන්න.



4. ඇඳුම් මාරු කිරීම


කළු හෝ ඒ වගෙ තද ඉර එළිය වැඩියෙන් අවශෝෂණය කරගන්න පාටක් සෙට් වුණා නම් ඉන්න තැනක ඉඳන් ඒක ළා පාට, කපු රෙද්දකින් මහපු ඇඳුමක් විදියට මාරු කරගන්න. බරින් වැඩි ශරීරයට දරා ගන්න බැරි ඇඳුම් නම් අඳින්න තියා ඒ ගැන හිතන්නත් නරකයි. විළි වහගන්න කරපු ඒ උපදෙස් ටික හැරුණු කොට හොඳ තොප්පියක් සහ සඟක් දැමීමෙනුත් අනවශ්‍ය රස්නය අඩු වෙනවා.



5. පැණි කොමඩු ගෙඩිය


අපි ආහාරයට ගන්නා කොමඩු ගෙඩියක චුට්ටන් කෑල්ලක් ගත්තත් 92%ක් විතර ඒකේ තියෙන්නේ වතුර තමයි. කොමඩු කෑවම ඒකේ තියෙන දියර ප්‍රමාණය සහ කොමඩු කෑල්ලේ තියන නැවුම් ගතියත් මුහු වෙලා අමුතු සීතලක් ඇති කරනවා. කොමඩු කෑලි කපලා ඔහේ කන්න පුළුවන්, නැත්තන් කොමඩු බීමක්, ඒත් කමක් නෑ. ඒ නැත්තන් මේ වගේ ම ආහාර වෙන පිපිඤ්ඤා එක්ක කෑලි කපලා සැලඩ් එකක් විදියට කෑමෙනුත් වැඩක් වෙනවා.



6. තාක්ෂණයේ ප්‍රතිඵල 


තාක්ෂණය විසින් ම එක පැත්තක ඉඳන් නොදැනුවත්වම පරිසරය විනාශ කරනකොට කොණකින් අපිවත් නෑ. ඒ වුණාට අනෙක් පැත්තෙන් තාක්ෂණය විසින් ම ෆෑන්, ඒ/සී නිර්මාණය කරලා තියනවා. කොළඹ පැත්තේ නම් ඕවා නැතුව ජීවත් වෙනවා බොරු.

 


7. වෛද්‍ය උපදෙස්


මේ කිසිම දෙයක් කරලත් පළක් නැද්ද? එහෙනම් පුතේ මේ නිකන් උෂ්ණත්වයකට වඩා එහා ගියපු දෙයක්. උණ රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. එහෙම අපහසුවක් දැනුනම නම් කොමඩු කකා ඉන්න එපා. ඉක්මනට වෛද්‍යවරයෙකු හමුවන්න.