අඳින ඇඳුමට ගැලපෙන අත් ඔරලෝසු තෝරාගන්න හැටි

ඔරලෝසුවක් කියන්නෙ ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් වෙලාව බලාගන්න උදව් වෙන මෙවලමක්නෙ. මේ කතා කරන්නෙ අත් ඔරලෝසු ගැන. ඒවත් ඉතින් අනිත් ඔරලෝසු වගේම තමයි. වෙනසකට තියෙන්නෙ යන එන ගමනකදී, මඟ තොටේදී වෙලාව බලාගන්න අතේ බැඳගෙන යන එකයි. නැත්නම් ගන්න ප්‍රයෝජනය එකයි. එහෙමනෙ අපි අත් ඔරලෝසු ගැන හිතන්නෙ. හැබැයි ඒක එහෙම්මමත් නැහැ. මේ අත් ඔරලෝසු කියන්නෙ කෙනෙකුට නැතුවම බැරි ජීවිතේට අත්‍යාවශ්‍ය මෙවලමක්. තවත් කෙනෙකුට විලාසිතාවක්. තවත් කෙනෙකුට විනෝදාංශයක්. ආසාවට ඔරලෝසු එකතු කරන, එක එක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල මිල අධික ඔරලෝසු එකතු කරන ජනප්‍රිය පුද්ගලයො ගැන අපි අහල තියෙනවනෙ. ඉතින් මේ එක එක විදිහෙ වෙනස් දේවල් වලට මිනිස්සු පාවිච්චි කරන ඔරලෝසු තමන් අඳින ඇඳුමත් එක්ක ගලපන්නෙ කොහොමද කියන එකනම් ගොඩක් දෙනෙක් දන්නවද කියන එක සැකයි. ඒ නිසා අපි හොයල බලමු අත් ඔරලෝසු ගැනයි, අඳින ඇඳුමට අත් ඔරලෝසු ගලපන විදිහ ගැනයි.

 

1. විවිධ අත් ඔරලෝසු වර්ග

අපි නිකන් පිටින් පේන පෙනුම අනුවයි, වැඩ කරන විදිහ අනුවයි අත් ඔරලෝසු වර්ග කළාට හරිම විදිහට කිව්වොතින් අත් ඔරලෝසු වර්ග 5ක් තියෙනවා. ඒ මේන්න මෙහෙමයි.

  • Dress Watch – මේ කියන්නෙ වැඩි සුකුරුත්තන් නැති චාම් ඉලක්කම් සහ කටු තියෙන, ලා පාටක මුහුණතක් තියෙන, කළු, දුඹුරු වගේ සාමාන්‍ය පාටක ලෙදර් බෙල්ට් එකක් තියෙන ඔරලෝසු. මේ ඔරලෝසුවෙන් බලාගන්න පුළුවන් වෙලාවයි වැඩිම උනොතින් දිනයයි විතරයි.

 

  • Diver’s Watch – කිමිදුම් කාර්යයන් වල නිරත වෙනකොට පාවිච්චි කරන්න හදපු ඔරලෝසු තමයි මේ. සාමාන්‍යයෙන් හොඳ Diver’s Watch එකක් මීටර් 100ක් වගේ දිය යටදී පවා වැඩ කරනවා කියලයි කියන්නෙ. හැබැයි මේ ඔරලෝසු සාමාන්‍ය ඇඳුමකට ඇඳගෙන ගමන් බිමන් යන එකනම් ගැලපෙන්නෙ නැහැ.

 

  • Sports Watch – මේ ඔරලෝසු තියෙන්නෙ මූලිකවම ක්‍රීඩා කටයුතු කරද්දී දාගෙන යන්න. හැබැයි සාමාන්‍ය ඇඳුමකට උනත් දාගෙන යන්න බැරි නැහැ සහ දාගෙන ගියාට වරදක් නැහැ. සාමාන්‍ය Dress Watch එකක් වගේ නෙමෙයි. මේ ඔරලෝසුවේ මාලිමාවක්, සැතපුම්මානයක්, උච්චාමනයක්, GPS, හෘද ස්පන්දනය මනින්න පහසුකම් වගේ එක එක ඒවා ඇතුළත් වෙන්න පුළුවන්.

 

  • Pilot Watch – මේ ඔරලෝසුව ටිකක් ලොකු මුහුණතක් තියෙන කියවන්න ඉතාම පහසු විදිහට හදන ඔරලෝසුවක්. හුඟක් වෙලාවට දකින්න පුළුවන් සම්මත ඉලක්කම් වලින්, රෝමානු ඉලක්කම් වලට වඩා ඉක්මනින් කියවන්න ලේසි නිසා. මේවා මුලිකවම නිෂ්පාදනය කරන්නෙ ගුවන් නියමුවන් වෙනුවෙන්. ඒ නිසාම අත් වැසුම් දාල තියෙද්දී පවා සකස් කරන්න ලේසි වෙන්න ටිකක් ලොකු crown නැත්තම් අපි දන්න විදිහට කිව්වොත් වෙලාව සකස් කරන ගැජට් හයි කරලා තියෙනවා.

 

  • Field Watch – සරලවම field watch කියන්නෙ හමුදා සෙබළුන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු අත් ඔරලෝසු වර්ගයක්. දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි පහසුවෙන්, නිවැරදිම වෙලාව බලාගන්න පැහැදිලි මුහුණතක් එක්ක හදපු ඔරලෝසු වර්ගයක්. යුධ බිමේදී පාවිච්චි කරන්න පහසුවට මේ ඔරලෝසු හදන්නෙ වයින් කරන ක්‍රමයටයි.

 

2. අත් ඔරලෝසුවක් ඕනෙමද?

ඒක තීරණය කරන්න ඕන තම තමන්ගේ කැමැත්ත මත. විලාසිතාව, පහසුව, සමාජ තත්ත්වය වගේ ඕනම කාරණාවක් ගැන හිතලා අපිට අත් ඔරලෝසුවක් පාවිච්චි කරනවා කියන තීරණයට එන්න පුළුවන්. හැබැයි ඒක වදයක්, හිසරදයක් වගේනම්, ෆෝන් එකෙන් වෙලාව බලාගන්න එක පහසුයිනම්, පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල, ඒ කිව්වේ පෙනුමට ඇඳලා යන රාජකාරීමය ගමනක් වගේ නම් අත් ඔරලෝසුවෙනුත් ඒ පෙනුමට ලකුණු එකතු වෙන බව මතක තියාගන්න ඕන.

 

3. සපත්තු, බෙල්ට්, පර්ස් එක්ක ඔරලෝසුව

ඇඳුම් එක්ක ඔරලෝසු ගලපනව කියල අපි කිව්වට ඇත්තෙන්ම නිවැරදිම සුදුසු ඔරලෝසු ගලපන විදිහ තමයි අපි ඇඳුමට එකතු කරගන්න අතිරේක පැළඳුම් එක්ක මේ අත් ඔරලෝසුව ගලපන එක. ඒ කිව්වේ සපත්තු, ගැහැණු කෙනෙක්නම් හෑන්ඩ් බෑග් එක, පිරිමි කෙනෙක්නම් ඉනට දාන බෙල්ට් එක වගේ ලෙදර් කොටස් එක්කම ඔරලෝසුව ගලපන්න.

 

4. ඇඟේ තරමට ඔරලෝසුව

ඒ වගේම තමයි තමන්ගේ ශරීර ප්‍රමාණයේ තරමට ගැලපෙන සයිස් එකකින් අත් ඔරලෝසුව ගලපන්නත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද පොඩි ඇඟක් තියෙන කෙනෙක් අති විසාල ඔරලෝසුවක් දාගෙන යනකොට වගේම ටිකක් මහත දෙහෙත මනුස්සයෙක් චුට්ටන් ඔරලෝසුවක් දාගෙන යන එකත් කිසිම ගැලපීමක් නැති වැඩක්. වෙලාව බලාගන්නම විතරක් හොඳයි ඉතින්. විලාසිතාවක් විදිහටනම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නම් නැහැ.

 

5. ඔෆිස් ඇඳුමට

ඔන්න අපි කලිනුත් කිව්ව වගේ formal විදිහට ඇඳලා ඔෆිස් යනකොට අත් ඔරලෝසුවක් දාන එක හුඟක් හොඳයි. ඒකට හුඟක්ම ගැලපෙන්නෙ අපි මුලදී කිව්ව වර්ග වලදී කතා කරපු dress watch කියන වර්ගය. කලින් කිව්ව විදිහට ඇඳුමේ බෙල්ට් එකට, සපත්තු දෙකට, බෑග් එකට ගැලපෙන්න ඔරලෝසු දාගෙන යන්න පුළුවන්. හැබැයි ඔෆිස් යනවා වගේ රාජකාරීමය ගමනකටනම් වෛවාරණ පාට වල ඔරලෝසු දාන එක ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා චාම් කළු, දුඹුරු බෙල්ට් එකක් හරි, නැත්තම් අද කාලෙ අති ප්‍රසිද්ධ stainless steel ඒ කිව්වේ වානේ බෙල්ට් එකක් හරි තියෙන ඔරලෝසුවක් තමයි වැඩියම ගැලපෙන්නෙ.

 

6. Casual ඇඳුමට

ඔය කලින් කියපු එක එක පාට පාට ඔරලෝසු දාන්න පුළුවන් මේ කැෂුවල් ඇඳුමටනම්. ගැහැණු ළමයෙක්නම් එක එක පටිකෑලි, පබළු, චේන් වගේ ඒවා වලින් හදපු බෙල්ට්, වෙනස් වෙනස් මුහුණතවල් තියෙන අත් ඔරලෝසු වගේම පිරිමි ළමයින්ට නම් sports watch එකක් උනත් අඳින ඇඳුමේ හැටියට දාගෙන ගියාට ගැටළුවක් නැහැ.

 

7. ක්‍රීඩා ඇඳුමට

ක්‍රීඩා ඇඳුමටනම් ඉතින් sports watch එකක්ම තමා ගැලපෙන්නෙ. අපි ලොකුවට නොහිතුවට ක්‍රීඩා කරන්න යනකොට මේ ඔරලෝසුවක් පළඳින එකේ වැදගත්කම කිව්වොත් මෙන්න මෙහෙමයි. කොයි වැඩේදි වගේම ක්‍රීඩාවෙදිත් වෙලාව වැදගත්. ඒ වගේම තමයි අර අපි කලින් කියපු අමතර පහසුකම්. හාර්ට් රේට් එක මනින එක, GPS වලින් දුවනවා වගේ ව්‍යායාමයක දුර මැනගන්න එක වගේ අමතර පහසුකම්. ඉතින් Sports Watch එකක් හරි, නැත්තම් අද කාලෙ හුඟක් ප්‍රසිද්ධ Fitness Watch/ Fitness Tracker එකක් හරි දාගෙනම ක්‍රීඩා කරන්න යනවනම් තමයි හොඳ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *