ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඇති වුණු ගීත සම්බන්​ධ ආරවුල්

ලංකාවේ බොහෝ ගීත ආරවුල්වලට හේතු වෙලා තියෙන්නේ ගීතයේ අයිතිය කාටද කියන ප්‍රශ්නයයි. මේ වෙද්දි බුද්ධිමය දේපල පනත හරහා මේ ප්‍රශ්නයට යම් උත්තරයක් ලබා දීලා තියෙනවා. ඒ තමයි ගීතයේ අයිතිය තියෙන්නෙ පද රචකයාට සහ තනු නිර්මාණ ශිල්පියාට කියන කාරණය. හැබැයි මේ අර්ථනිරූපණය නිසා ලංකාවේ ගීත කලාවේ අලුත් සම්ප්‍රදායක් ගොඩනැඟුණා. ඒ තමයි එච්චර කල් ගායකයෝ පද රචකයාට සල්ලි ගෙව්වා වුණත් දැන් පද රචකයන්ට තමන්ගේ ගීත ගායනා කර ගන්න ගායකයන්ට සල්ලි දෙන්න වෙලා තියෙනවා.

 හරි, ඒ කතා පැත්තකින් තිබ්බොත් අපි අද කතා කරන්න යන්නේ මෑත කාලයේදී අපිට අහන්න ලැබුණ ගීත සම්බන්ධ ආරවුල් කිහිපයක් ගැන. සමහර ආරවුල් නම් උසාවි යන මට්ටම දක්වා දුර දිග ගියා.

 

1. මට ආලෝකෙ ගෙන දේවී 

හර්බට් එම්. සෙනෙවිරත්න නළුවෙක් විදිහට වගේම ගී පද රචකයෙක් විදිහට අපේ සිනමාවංශය තුළ ප්‍රසිද්ධියට ලක් වුණු කෙනෙක්. ඔහු විසින් “අයියයි මල්ලියි” චිත්‍රපටයට රචනා කරපු ජනප්‍රිය ගීතයක් තමයි “මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ” කියන ගීතය. මීට වසර ගණනාවකට කලින් ඉරාජ් වීරරත්න විසින් එම ගීතයේ පද මාලාව වෙනස් කරමින් “මට සිතන්න බෑ, අදහගන්න බෑ” යැයි ගීතයක් නිර්මාණය කර තිබුණා. මීට එරෙහිව හර්බට් එම්. සෙනෙවිරත්නගේ පවුලේ සාමාජිකයන් විසින් ඉරාජ්ට එරෙහිව නඩු පවරනු ලැබූ අතර එහිදී ඉරාජ් පවසා සිටියේ එම ගීතයේ අයිතිය “අයියයි මල්ලියි” චිත්‍රපටියේ දැන් අයිතිකරු වන තිස්ස නාගොඩවිතාන විසින් තමන්ට පැවරුණු බවයි.

 

2. අම්මා සඳකි

පිය ගුණ ගීත අඩු ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියම පිය ගුණ ගීතයක් විදිහට “අම්මා සඳකි” ගීතය සඳහන් කරන්න පුළුවන්. ටී. එම්. ජයරත්න විසින් ගායනා කරන මේ ගීතය රචනා කරල තියෙන්නෙ ඔහුගේම බිරිඳ වුණු මාලනී ජයරත්න. නමුත් ඉතාමත් මෑතකදී ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය ජාලා හරහා එම ගීතය රචනා කරන ලද්දේ කුමාර කවිරාජ් නම්  සාහිත්‍යවේදියෙක් වන බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විසින් අදහසක් ගොනු කළා. නමුත් මේ ප්‍රකාශය මාලනී ජයරත්න සහ ටී. එම් ජයරත්න යුවළ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.

 

3. රඟහල දැන් ඇත අඩ අඳුරේ

විජයරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල විසින් ගායනා කරන ලද “රඟහල දැන් ඇත අඩ අඳුරේ”ගීතය හඩ්සන් සමරසිංහ විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීතයක්. නමුත් එය කේවල ගායනයක් විදිහට සංගීත් විජේසූරිය විසින් රැප් කොටසක් ද එක් කර ගායනා කිරීමට පටන් ගත්තා. අවසානයේ දී මීට එරෙහිව හඩ්සන් සමරසිංහ විසින් නඩුවක් පවරනු ලැබූ අතර ඔහු එම නඩුව ජයග්‍රහණය කළා. ඒ අනුව නැවතත් සංගීත් විජේසූරියට එම ගීතය ගායනා කිරීමට අවසර හිමි වන්නේ නැහැ.

 

4. රුවන් අඹර සෙමර සලන

 

“රුවන් අඹර සෙමර සලන” ගීතය අපට වැඩි වශයෙන් අහල පුරුදු ලතා දිසානායක ගායන ශිල්පිනියගේ හඬින්. නමුත් පසුව හෙළිවුණේ මේ ගීතයේ මුල් අයිතිකරුවන් දෙදෙනා වන්නේ ජයතිස්ස හෙට්ටිආරච්චි සහ රූපා ඉන්දුමතී යන දෙපළ බවයි. රූපා ඉන්දුමතී විවාහයෙන් පසුව කලා ක්ෂේත්‍රයෙන් තාවකාලිකව සමුගැනීම නිසා පසු කාලීනව යම් පිරිසක් විසින් ලතා දිසානායක ලවා මේ ගීතය ගායනා කරවා ගෙන තිබෙනවා. මෙම ගැටළුවත් අවසානයේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මට්ටම දක්වා දුර දිග ගියා. 

 

5. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත

ක්ලැරන්ස් විජේවර්ධන අපේ සිනමා ගීතය වෙනස් කරන්න මුල් වෙච්ච පුද්ගලයෙක්. ඔහුගේ ගීත කොයි තරම් අපේ ජනතාවට සමීප වුණාද කියනවා නම් අදටත් විනෝද ගමනක් යද්දී ක්ලැරන්ස්ගේ ගීත අපිට ඇහෙනවා. මේ නිසාම විවිධ ගායකයින් සහ සංගීත කණ්ඩායම් ක්ලැරන්ස්ගේ ගීත ඔහුගේ මරණයෙන් පස්සේ නිසි අවසරයක් ලබා ගැනීමකින් තොරව ගායනා කිරීමට කටයුතු කළා. මේ නිසා ක්ලැරන්ස් ගේ බිරිඳ සහ දියණිය ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. අද වෙන කොට ක්ලැරන්ස්ගේ ගීත නිසි අවසරයකින් තොරව කිසිවෙක්ට ගායනා කිරීමට හැකියාවක් නැහැ. මේ මැදිහත් වීම නිසා රජීව් සෙබස්තියන්ට  ක්ලැරන්ස්ගේ ගීත ගායනා කිරීම තහනම් වුණත් ක්ලැරන්ස්ගේ සමීපතමයෙකු වූ ඇනස්ලි මාලවන වැනි අයට නම් එවැනි තහනමක් පැනවුණේ නෑ.

 

6. මේ තරම් සියුමැලිද කළුගල්

ආසන්නතම කාලයේ නව පරපුරේ ගී පද රචකයෙක් අතින් බිහි වුණු විශිෂ්ට ගණයේ ගී පද රචනයක් විදිහට “මේ තරම් සියුමැලිද කළු ගල්” ගීතය හඳුන්වන්න පුළුවන්. මේ ගීතය රචනා කළේ රජීව් වසන්ත වෙල්ගම නම් ගී පද රචකයා. ගීතය ගායනා කළේ සුනිල් එදිරිසිංහ විසින්. නමුත් මේ ගීතය ජනප්‍රියත්වයේ ඉහළම තලයේ තියෙද්දි සුනිල් එදිරිසිංහ ප්‍රකාශ කළේ තමන් තවදුරටත් මේ ගීතය ගායනා කරන්නේ නැහැයි කියලායි. රජීව් වගේම සුනිල් එදිරිසිංහත් මේ දේට හේතුව ගැන එළිපිට කතා කරේ නැහැ. නමුත් දැනගන්න ලැබෙන විදිහට මේ ගීතය රිගින් ටෝන් එකක් ලෙස භාවිතා කිරීමට යම් සමාගමකට ලබා දීපු අවසරයක් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා තමයි මේ ගැටළුව ඇති වෙලා තියෙන්නේ.

 

7. කන්‍යාවී

“සිරිමැදුර” චිත්‍රපටියේ ඇතුළත් වුණු කන්‍යාවී ගීතය රන්බණ්ඩා සෙනෙවිරත්න, ප්‍රේමසිරි කේමදාස සහ අමරසිරි පීරිස් යන තිදෙනාගේම විශිෂ්ට සංකලනයෙන් බිහි වුණු ගීතයක්. හැබැයි ප්‍රේමසිරි කේමදාසගේ මරණයෙන් පස්සේ මේ ගීතය ගැන විවිධ කතා එහෙන් මෙහෙන් ඇහෙන්න පටන් ගත්තා. අවසානයේ දී ලූෂන් බුලත්සිංහල සහ ප්‍රේමසිරි කේමදාසගේ බුද්ධිමය දේපල අයිතිය හිමි ඔහුගේ බිරිඳ වන ලතා කේමදාස විසින් අමරසිරි පීරිස්ට එරෙහිව එන්තරවාසියක් එවනු ලැබුවා. එතැන් පටන් අමරසිරි පීරිස් කන්‍යාවී ගීතය ප්‍රසිද්ධියේ ගායනා කිරීම නවතා දමනු ලැබුවා. එහිදී අමරසිරි පීරිස් සඳහන් කළේ සිරි මැදුර චිත්‍රපටියේ නිෂ්පාදකයා වූ බන්දුල ගුණවර්ධන විසින් මෙම ගීතයේ අයිතිය තමන්ට ලබා දුන් බවයි.

 

එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *