ව්‍යාජ පුවත් පැතිරීමෙන් වෙන අවුල්

ඇත්ත පුවත් වලට වඩා ව්‍යාජ පුවත් වේගයෙන් පැතිරෙන බවට සොයාගෙන තිබෙනවා. අන්තර්ජාල යුගයේදී පෙර වගේ කෙළින්ම ප්‍රවෘත්ති ඒජන්තයින් මගින් එන පුවත් වගේම ව්‍යාජ පුවතුත් මහජනයා අතර පැතිරෙනවා. ලංකාවෙදි නම් ව්‍යාජ පුවත් පැතිරවීමට විටෙක ප්‍රධාන දහරාවේ පුවත් නාලිකාද සම්මාදම් වෙනවා. ඉතින් මේ ව්‍යාජ පුවත් පැතිරීමේ අවුල මොකද්ද. එහි බලපෑම් මොනවද කියා අපි බලමු.

 

1. සත්‍ය පුවත් යට යෑම

ව්‍යාජ පුවත් මගින් ඇත්ත පුවත ඉබේම යට යනවා. අපි කාට වුණත් නිවුස් උකහා ගන්න ලැබෙන්නේ එකම අවකාශයක්. නූතනයේ ෆේස්බුක්, ට්විටර් හරහා වෙනදාට වඩා ඉක්මනින් තොරතුරු අපිට ලැබෙනවා. ඒත් මේ ඇතැම් තොරතුරු නිසා සත්‍යම තොරතුරු යට යනවා. කොවිඩ් සඳහා එන්නත් සොයාගැනීම් ගැන ප්‍රධාන මාධ්‍යවල පවා තොරතුරු නිතර හුවමාරු වුණා. ඒ එක්ක කොවිඩ් වලට ඉක්මනින්ම තිත තියන්න පුළුවන් වෙයි කියන අදහස ලොව පුරා සෝෂල් මීඩියා හරහා පැතිරුණා. ඒත් ඇත්තටම එන්නතක් ආවා වුණත් ලෝකය පෙර තත්ත්වයට ආරක්ෂිත වෙන්න වසර ගණනාවක් ගත වෙනවා. ඒ වැනි යම් යම් විපත් අවස්ථාවල ෆේක් නිවුස් මගින් ඇත්ත තත්ත්වය යට ගොස් ව්‍යාජ පසුබිමක් මවනවා.

 

2. දේශපාලනික මඩ ගැසීම් පැතිරීම

යම් අයෙක් පොලිසියට හෝ යම් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා කියන්නේ ඔහු සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් දීම නෙමෙයි. පොලිස් කට උත්තර, ප්‍රශ්න කිරීම් නාටකීය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම මෑත කාලයේ ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති වල දකින්නට පුළුවන් වෙනවා. ඒ හරහා සම්පූර්ණ නඩුව හෝ පරීක්ෂණ විමර්ෂණය අවසන් වීමටත් පෙර සෝෂල් මීඩියා හරහා නඩු අසා, වැරදිකරුවන් කර ඔවුන්ට දිය යුතු දඬුවම්ද තීරණය කරනවා. මේ හරහා එක් පසෙකින් සැබෑ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වලට බාධා වෙනවා. අනෙක් අතින් ඒ දේශපාලන වාසි ලබාගත් පසු සියළු දෙනාට සිද්ධිය අමතක වෙලා යනවා.

 

3. අධ්‍යාපනික දත්ත වැරදි වීම

ඉතිහාසය කියලා අපි අද නිර්මාණය කරගෙන තියෙන තොරතුරු සොයාගන්නේ වර්තමානයේ ඉතිරි වෙලා තියෙන සාධක වලින්. මේ ඉතිහාස තොරතුරු විටෙක අපි අධ්‍යාපනික කාරණා විදිහටත් පාවිච්චි කරනවා. අන්තර්ජාලයේ යම් යම් දේ සොයන විට සෑම දිශාවකටම විහිදුණු තොරතුරු තොගයක් හමු වෙනවා. ඒ තුළ නිවැරදි තොරතුරු තෝරාගැනීම අමාරු වෙලා. ඒ නිසා අද පළවෙන ෆේක් නිවුස් හරහා අනාගතයේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට බාධාවක් ඇතිවන්නට හැකියාවක් තියෙනවා.

 

4. වැරදි තීරණ වලට එළැඹීම 

1956 දී සිදු වූ සූර්යග්‍රහණ අවස්ථාවේ වදකහ බීමෙන් රූපය සුන්දර වන බවට පුවත්පතක කුඩා තීරුවක් පළ වුණා. ඒ පුවත බැලූ ලාංකික කාන්තාවන් තැන් තැන්වල වදකහ බිව්වා. ඒ මගින් ඒ අයට බඩේ අමාරු හැදුණා. ඒ වගේ වෛද්‍ය විද්‍යාත්මක දේවල් වගේම රූපලාවණ්‍ය දේ ගැනත් විවිධ ව්‍යාජ පුවත් සහ ටිප්ස් පළ වෙනවා. ගොඩ වෙදුන් මගින් නියම කරන මේ රූපලාවණ්‍ය ප්‍රතිකාර අන්තර්ජාලයේ තිබෙන නිසාම කරන්නට ගොස් සමහර උදවිය වැඩ වරද්දාගන්නවා. කෑම වට්ටෝරු, ප්‍රතිකාර, රූපලාවණ්‍ය කටයුතු ආදිය ගැන තියෙන වැරදි පුවත් නිසා පොදු මහජනයා වැරදි තීරණ වලට එළැඹී සිය කාලය, මුදල්, ශ්‍රමය නාස්ති කරගන්නවා.

 

5. වංචනික ව්‍යාපාර වැඩිදියුණු වීම

ඉරිදා පුවත්පත් වල වශී ගුරුකම්, ලිංගික අප්‍රාණික තත්ත්වයට විසඳුම්, යාග හෝම බලි පැවැත්වීම්, භූත බලවේග මගින් සහනය සැලසීම් ගැන කුඩා දැන්වීම් පළ වෙනවා. දැන් ඔන්ලයින් ලෝකයේදී ෆෙන්ෂුයි, දේවාල, හොර වෙදුන් ආදීන් ද වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඕනෑම ව්‍යාජ දේවාලයක්, වෙද ගෙදරක් ඉස්සරහ ඉන්න පිරිස කොහොමත් ඒ තැන හොඳ කියනවා. ඒ වගේ වංචාවට නොදැන අහුවෙන පිරිස් ව්‍යාජ සුවය ගැන තොරතුරු බෙදා හැර ව්‍යාජ පුවත් මවනවා. ඒ ඔස්සේ අන්ධ විශ්වාසයන්ට වෙනදා නැති මාකට් එකක් නිර්මාණය වෙනවා. ෆේස්බුක් වැනි අවකාශ වල මුදල් දී ප්‍රචාරය කරන්නට පුළුවන් නිසා නොපෙනෙන බලවේග ආදිය ගැන  ව්‍යාජ පුවත් අදාල නුවණ මද පිරිස් කරා ඉක්මනින්ම ළඟා වෙනවා.

 

6. ජාතීන්, ආගම් අතර විරසක ඇතිවීම

පාස්කු ප්‍රහාරය ගැන කලින් අනතුරු අඟවන්න අපේ බලධාරීන්ට බැරිවුණා. ඒ වගේම අපේ මීඩියා වලටත් කලින් ඒ ගැන වදනක්වත් කියන්නට බැරි වුණා. ඒත් පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ ඒ ගැන ඇනලයිස් කරලා රට වටේ තැන් තැන්වල විවිධ ආගම් සහ ජාතීන් ඉලක්ක කරගෙන විවිධ සුළු සිදුවීම් වාර්තා කරන්නට නම් අපේ මීඩියා සමත් වුණා. ඒ වගේ යම් සිදුවීමකට පස්සේ ඒ ඔස්සේ ජාතීන් අතර අසමගිය වැඩි කරන ව්‍යාජ පුවත් මැවෙනවා. ඒ පුවත් වලට වැඩි වටිනාකමක් දෙන්නට ආමි එකේ අහවල් ලොක්කගේ ගෙදර වැඩ කරන බල්ලා බලාගන්න කෙනා තමයි කිව්වේ, ඇමතිතුමාගේ කාර්යාලේ වැඩ කරන කෙනාගේ වයිෆ් මාර්ගෙන් තමයි ආරංචි වුණේ වගේ ව්‍යාජ පුවත් සොයාගත් මාර්ගත් ඇහෙනවා. කොහොම වුණත් සිදුවීමකින් පසුව ෆේක් නිවුස් හරහා ජාතීන් අතර අසමගිකම් වර්ධනය කරන ෆේක් නිවුස් නම් අලුත් දෙයක් නෙමෙයි.

 

7. ව්‍යාජ ඉතිහාස කතා මවා පෑම

 

පසුගිය කාලේ වර්ගපූර්ණිකාව යන විනෝදය පිණිස අටවාගත් බ්ලොග් එක මගින් රාවණා ගැන විවිධ පුවත් අතිශයෝක්තියෙන් අන්තර්ජාලයට සැපයුවා. ඒ බ්ලොග් අඩවිය ගැන දන්නා උදවිය එකල ඒවා බොරු බව හොඳින්ම දැන සිටියා. එහෙත් පසුකාලීනව රාවණා ගේ කතාන්දර හිට් වීමත් එක්ක වර්ගපූර්ණිකාවේ තොරතුරු සැබෑ යැයි විශ්වාස කරන නව පරපුරේ ඉතිහාස ප්‍රේමීන් බිහිවුණා. වර්ගපූර්ණිකාව අනුව රාවණාගේ රිය බැස්වූ පොළ පසුකලෙක වාරියපොල වී තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ නාසා සහ එවැනි ආයතන මගින් රාවණා ඉතිහාසය සැඟවීමට කටයුතු කර තිබෙනවා. කලෙක විනෝදයට පළ කළ ව්‍යාජ පුවත් පසුකලෙකදී ඉතිහාසය බවට පත් කරගෙන ඇදහීම මෙතැනදී සිදු වුණා. ඒ ආකාරයෙන් ව්‍යාජ පුවත් මගින් ව්‍යාජ ඉතිහාස කතාද සමාජයට බෙදා හැරෙනවා.

 

ව්‍යාජ පුවත් වලින් සැබෑ පුවත් උකහාගන්න එක ලේසි නැහැ. ඒත්  පුවතක් දැක්ක ගමන් එය විශ්වාස කර තල් අත්තට බෙලිගෙඩිය වැටුණ ගමන් දිව්ව හාවා වගේ වෙන්න හොඳ නැහැ. යම් බලපෑමක් තියෙන පුවතක් නම් තවත් ඒ ගැන අන්තර්ජාලයේ තොරතුරු සොයාබලන්නට ඔයාලට පුළුවන්. ඒ හරහා සැබෑ දේ ගැන යම් අදහසක් ගන්නටත් පුළුවන් වෙනවා.