පොඩි දරුවෙකුට උණ හැදුන වෙලාවක දෙමව්පියන් කරන්න ඕන මොනවද?

ලෙඩක් දුකක්, අමාරුවක් හරියට කියාගන්න නොත්රෙන පුංචි දරුවො අසනීප වෙනව කියන්නෙ දෙමව්පියන්ට හරිම අප්‍රසන්න අත්දැකීමක්. විශේෂයෙන්ම කොරෝනා පැතිරෙන මේ වගේ කාලෙක. මොන අසනීපයක් හැදුනත් රෝහලකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට යන්න උනත් බයයිනෙ. අපිටත් වඩා අවධානම් පොඩි ළමයි එක්කන් යන එක. ඉතින් එහෙම කාලෙක දරුවෙක් ලෙඩ වෙනව කියන්නෙ ලෙඩේ තත්ත්වය ගැන වගේම පාලනය ගැනත් දෙමව්පියෝ දැනගෙන ඉන්න එක හුඟක් වටිනව. ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රථමාධාර උපරිමයෙන්ම ලබාදෙන්න පුළුවන් එතකොටනෙ. ඉතින් ඒ නිසා අපි හිතුව පුංචි දරුවෙකුට උණ රෝගය වැළඳුනොත් දෙමව්පියෝ හෝ දරුවාගේ රැකබලාගන්නෝ විදිහට කරන්න ඕන දේවල් මොනවද කියල ටිකක් කතා කරන්න. 

 

1. නිතර අවධානයෙන් ඉන්න

උණ කියන්නෙ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යෑම. ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය කියන්නෙ ෆැරන්හයිට් අංශක 98.6 ක උෂ්ණත්වය. ඊට ඉහළ කියන්නෙ උෂ්ණත්වය වැඩි උනත් රෝගී තත්ත්වයක් විදිහට සැලකෙන්නෙ සාමාන්‍යයෙන් ෆැරන්හයිට් 100.4 හෝ ඊට වැඩි ගණනක උෂ්ණත්වයක් තිබුනොතින් තමයි. කොහොම උනත් මේ උෂ්ණත්වය වැඩිවෙන්නෙ ශරීරය, එහෙමත් නැත්තම් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මොකක්හරි වයිරසයකට එරෙහිව සටන් කරනව කියන එක පිටතට පෙන්වන විදිහ. ඉතින් දරුවෙකුට උණ හැදිලා කියල දැනගන්නෙ මෙන්න මෙහෙමයි.

 

  • පිටතට දැනෙන ශරීර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩිවීම.
  • දහදිය දැමීම.
  • ඇඟ වෙව්ලීම.
  • අහාර අරුචිය.
  • ඇඟේ පතේ වේදනාව.

ඔය කියන රෝග ලක්ෂණ දරුවා පෙන්නනවනම් උණ කටුවකින් හරියටම උන මැනලා බලන්න ඕන. අර කලින් කියපු මට්ටමට වඩා උණ වැඩියිනම් පහත උපදෙස් පිළිපදින අතරේ නිතර නිතර උණ මට්ටම පරික්ෂා කරල වෙලාවත් එක්කම සටහන් කරල තියාගන්න එකත් වැදගත්. 

 

2. හැකිතරම් විවේකය

වයිරස් නිසා ඇතිවෙන උණ තත්ත්වයට කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාර වලින් එකක් තමයි හැකිතරම් විවේකය. කොහොමත් ඇඟේ අපහසුතා එක්ක විවේකයෙන් ඉන්න එක දරුවටත් පහසුවක්. අවුරුදු දෙකකට වඩා අඩු හුඟක්ම පුංචි බබෙක්නම් ලෙඩ වෙලා බවවත් නොතේරෙන නිසා ඇඟේ අපහසුවට හැම තිස්සෙම අඬන්න බලනව. ඒ වයසේ බබාලව පහසුවෙන් තියන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගන්න. කොට්ටයක් උඩ, එහමත් නැත්තම් උකුල උඩ වගේ දරුවට පහසුව දැනෙන විදිහට විවේක ගන්න සලස්වන්න.

 

3. උෂ්ණත්වය අඩුකරන යල්පැනගිය ක්‍රම

අපි ඉස්සර පුරුදු වෙලා තිබුණ ක්‍රම තමයි ඇඟේ උණ බස්සන්න කියලා සීතල වතුරෙන් තෙමන එක සහ baby cologne වර්ග ආලේප කරන එක. හැබැයි ඒවා දැන් වෛද්‍යවරු තරයේම ප්‍රතික්ෂේප කරන යල්පැනගියපු ක්‍රම. ඒ දේවල් කරන එකෙන් උණ බහින එක කෙසේ වෙතත් සෙම, නියුමෝනියාව වගේ තත්ත්වයන් වගේම කොලෝන් වල අඩංගු ඇල්කොහොල් නිසා හම අධික වියළීමට ලක්වෙන්නත් පුළුවන්. හැබැයි ශරීර උෂ්ණත්වය ඉහළ යන්න හොඳ නැති නිසා තද උණ ඉක්මනින් බස්සන්න අවශ්‍යනම් මද උණුසුම් වතුරේ පොඟවල මිරිකාගත්ත රෙදි කැබැල්ලකින් දරුවාව පිහදාන්න පුළුවන්.  

 

4. නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර

වැදගත්ම දේ තමයි උණ ඇතිවුන හේතුව පරික්ෂා කරලා නිවැරදි ප්‍රතිකාර ලබාගන්න එක. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය පැතිරෙන කාලය නිසා. මේ පහත ලක්ෂණ තියෙනවනම් ඉක්මනින්ම දරුවාව පුරුදු වෛද්‍යවරයෙකුට පෙන්නලා හරි ප්‍රතිකාරයක් ගන්න අවශ්‍යයි.

  • 100.4ºF හෝ ඊට වැඩි උණ.
  • අවුරුදු දෙකට අඩු දරුවෙක්නම් පැය 24කට වඩා පවතින උණ.
  • ක්‍රියාකාරකම් වල අඩුවීම.
  • උගුරේ අපහසුතා, සමේ ආසාදන තත්ත්වයන්, හිසරදය හෝ කන් කැක්කුම සමඟ ඇතිවෙන උණ.

 

5. දියර වර්ග

උණ අඩුකරන්න සහ ශරීරය විජලනය නොවී පවත්වාගන්න ඊළඟට කරන්න පුළුවන් හොඳම දේ තමයි හැකිතරම් දියර වර්ග පානය කරවීම. උණ තත්වයකදී සාමාන්‍යයෙන් දහදිය, කඳුළු සහ මළ, මුත්‍රා එක්ක පිටවෙන ප්‍රමාණය ඉක්මවලා ශරීරයෙන් ජලය ඉවත් වීමක් වෙනවා. ඒක තමයි විජලනය වීම කියන්නෙ. උනත් එක්ක වමනය, පාචනය වගේ තත්ත්වයන් තියෙනවනම් තත්ත්වය තවත් දරුණුයි. ඒක වළක්වා ගන්න තමයි දියර වර්ග ශරීරයට ලබාදෙන්න අවශ්‍ය. පුළුවන් තරම් වතුර, කැඳ වර්ග සහ නිසි උපදෙස් මත ජීවනී වැනි පානයන් දරුවාට ලබාදෙන්න. 

 

6. සැහැල්ලු ඇඳුම්

හැකිතරම් සැහැල්ලු ඇඳුම් දරුවට අන්දවන්න. උණ රෝගය වැළඳුණු වෙලාවට කලින් කිව්ව වගේ කොහොමත් ඇඟ පතේ වේදනාවන් දැනෙනවා. ඒවත් එක්ක හිර ඇඳුම් සහ ඝනකම රෙදි වලින් මහපු ඇඳුම් ඇඳන් ඉන්න එක දරුවට අපහසුවක්. ඒ වගේම එහෙම ඇඳුම් නිසා දහදිය දැමීම වැඩිවෙලා තවත් විජලනය වෙන්න තියෙන හැකියාවත් වැඩියි. ඒ නිසා හැකිතරම් සැහැල්ලු ඇඳුම් දරුවට අන්දවන්න. දරුවා සීතල හෝ ඇඟ වෙව්ලන තත්ත්වයක් පෙන්නුම් කරනවනම් සැහැල්ලු රෙද්දක් පොරවන්න. හැකිතරම් දරුවාව විවේකීව වගේම පහසුවෙන් තියන එක තමයි වැදගත්. 

 

7. පහසු කෑම

පහසු කෑම කියන්නෙ එයා කන්න කැමති කෑම. උණ හැදුන වෙලාවට කෑම අරුචිය ඇතිවෙනව කියන එක බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඒක අපි උණත් අත්දැකීමෙන්ම දන්නවනේ. ඉතින් එහෙම වෙලාවක ලොකු කෑම ජාති දරුවට කන්න බලකිරීම එයාට කරන හිරිහැරයක්. කලිනුත් කිව්ව වගේ හැකිතරම් දරුවගේ පහසුව තමයි බලන්න ඕන. ඒ නිසා එයා කැමැත්තෙන් කන දෙයක් පිළියෙළ කරල දෙන්න. ඒ මුකුත්ම කන්නෙ නැත්තම් වෙනදා වගේ කෑම කන්න කරදර කරන්න එපා. දියර වර්ග හැකිතරම් පොවන්න.