මහත මිනිස්සු හැමදාම පෙරුම් පුරන්නෙ කෙට්ටු වෙන්න. ජිම් යනව, නොකා ඉන්නව, බෙහෙත් බොනව වගේ මහා වැඩ කන්දක් කරලා එයාලා බලාපොරොත්තු වෙන්නෙ ඇඟට බුරුල් ඇඳුමක් ඇඳලා, කැමති දෙයක් කාලා පහසුවෙන් ජීවත්වෙන්න විදියක්. හැබැයි බොහෝමයක් කෙට්ටු මිනිස්සුත් ලෝකෙට හොරෙන් හොරෙන් විටමින් බිබී, මෝල්ටඩ් මිල්ක් බිබී, වේල් පහක් කකා හුළඟෙ යන්නෙ නැතුව බේරෙන්න උත්සාහයක් දරනවා. ඒක වෙන්නෙ අපේ වටපිටාවෙ තියෙන අවුල් නිසාම වෙන්න පුළුවන්. කොහොමින් කොහොමහරි අපි අද ලියන්නෙත් කෙට්ටු මනුස්සයෙකුට තමන්ගෙ කෙට්ටු බව නිසා කන්න වෙන කටු ගැන.
1. ඉරිසියාකාර කතා
මහත එවුං හැමදාමත් සිහින දකින රුවක් හිමි නිසා මහත බුවාලා කෙට්ටු අයට ඉරිසියාවට කතා කියන්න ලොකුවටම ඉඩක් තියෙනවා. ඔය කියන ඉරිසියාකාර කතා අතරේ “කාපංකො බං බත් ටිකක් දාගෙන” වගේ පොළඹවන සුළු කමෙන්ට් වගේම ඒ අයගෙ සැබෑ නිරුවත හෙලිවෙන “උඹ ඔච්චර ලොකු බත් එකක් ගිල්ලටවත් මහත් වෙන්නෑනෙ බං” වගේ ඉරිසියාකාර කතා ඇතුළත්. ඕවා අහගෙන ඉතිං ජීවත්වෙන්න වෙනව කෙට්ටු මනුස්සයෙකුට. තමුන්ගේ ශරීරයෙ තමුන්ට තියෙන පහසු බව අනිත් උන්ට ප්‍රශ්නයක් වෙද්දි කට්ටක් තමයි. ඒකට ඉතිං මේ සමාජෙ ඉන්නවනං හුරුවෙන්න වෙනවා.
2. ඇඳුම් ප්‍රශ්න
කෙට්ටු වුනාම තියෙන ලොකුම අවුල වෙන්නෙ හැම ඇඳුමෙම ස්මෝල් සයිස් හොයන්න වෙන එක. පුතෙක් ඉන්න කෙට්ටු තාත්තලා පුතා ලොකු වුනාම පුතාට ගන්නව තාත්තලට වඩා ලොකු සයිස් ඇඳුම්. ඒ මදිවට සර් සර්ගෙ සයිස් කිඩ්ස් සෙක්ෂන් එකේ හොයන්න කියල කිවුවම එතන ලොකු අවුලකුත් තියෙනවනෙ. සමහර බුවාලා කොච්චර කෙට්ටු වුනත් උස යන එක නවතින්නෙ නෑ. ඉතිං උසට හරියන ඩෙනිමක් ගත්තොත් ඉන තියෙනවා තුන්දෙනෙකුව බස්සන්න පුළුවන් වෙන්න. ඩෙනිම ඕල්ටර් කරන්න දුන්නම ටේලර් බලනව කන්න වගේ මූණ දිහා. ඇයි ඉතිං රුපියල් පනහට දෙසීයක නැහෙන්න එපැයි.
3. කඩ කෑම
කඩවලින් කද්දිත් කෙට්ටු අයට නොයෙකුත් අකරතැබ්බ වෙනවා. කෙට්ටු නිසා බත් අඩුවෙන් කනවා ඇති කියල හිතලම කඩේ මිනිස්සු ඒ පිඟානට විතරක් අඩුවෙන් බෙදනවා. ඒ වගේම ඉඳියාප්ප තිහක් ඕඩර් කළොත් පාර්සල් දෙකකටද මහත්තය කියල අහන අවස්ථා තියෙනවා. මේ කියන කඩ කෑම කද්දිනං ලොකු ලොකු අකරතැබ්බ වෙන්න පුළුවන්. ඇයි ඉතිං පරාටා හරි තෝසෙ හරි කාලා ඉවරවෙලා බිල ගේද්දි තෝස 4ක් ගිලලා කියල දැක්කම වේටර් මහත්තයා බලනවනෙ ගිලින්න වගේ.
4. බස් තර්ජන
බස්වල යද්දි කෙට්ටු අයට මහ තර්ජන. පිටිපස්සෙ සීට් එකේ වාඩි වුනොත් කකුල් අස්සෙ ඉඩ හොයාගෙන මහ ගෑණු පස්සවල් ඔබනව. දෙන්න ඉන්න සීට්වල මහත එවුන් වාඩි වෙලා අයිනටම හිරවෙන්න තලලා දානව. බස් එකේ හිටගෙන හිටියොත් තලලා තලලා බස් පොල්ලක් වගේ හිටින්න අල්ලගෙන තමයි කට්ටිය යන්නෙ. ඇයි ඉතිං අතට අහුවෙන ගානනෙ. පුජ්‍ය පක්ෂෙන්, ගැබිනි මාතාවක්, ආබාධිතයෙක් වගේම ආබාධිත නැති එකෙක් ආවත් සීට් එක දෙන්න වෙන්නෙ පොරට තමයි.
5. අස්සෙ
ගෙදර, ඉස්කෝලෙ, කැම්පස් එකේ, ඔෆිස් එකේ කියල වෙනසක් නැතුව අස්සක වැටිලා තියෙන දෙයක් ගන්න යවන්නෙ කෙට්ටු පොරව. ගහකට නග්ගන්නෙත් කෙට්ටු බුවාව. ඉස්කෝලෙන් පනිද්දි මුලින්ම පන්නන්නෙත් කෙට්ටු බුවාව. පොර තමයි එළියට ගිහින් අනිත් උන්ට පනින්න ගඩොල් ගලෝලා පොල්පිති තියලා වැඩේ සෙට් කරන්න ඕන. අනික වලියකදි උනත් වැඩිපුර ගහන්නෙ ගහගන්න බෑ කියල හිතන කෙට්ටු බුවාටනෙ. කරුමෙට මාෂල් ආට්ස් කරපු කෙට්ටු බුවෙක් සෙට් වුනොත් බඩු පැකට්.
6. කුඩ්ඩෙක්?
කෙට්ටු වීමේ තවත් ලොකු හානියක් තියෙනවා. දෙමවුපියෝ සහ සමාජය පොඩ්ඩක් විතර මේ කෙට්ටු බව සැක කරන්නත් ඉඩ තියෙනව යෞවන කාලෙ ආවම. ඕක පමණට වඩා වැඩි වෙන්නෙ පුංචි කාලෙ මහතට ඉඳලා තරුණ කාලෙ කෙට්ටු වෙච්ච අයට තමයි. ඇයි ඉතිං සමාජෙ හිතන්න ගන්නව මූ කුඩු ගහන්න පුරුදු වෙලාද කියලවත්. හප්පටසිරි ගෙදර මිනිස්සු ඕක හිතුව කියන්නෙ නං තනිකර වහක්. ඇයි ඉතිං එතන ඉඳන් හදිස්සියකට වැඩිපුර සල්ලි ටිකක් ඉල්ලුවත් සැක හිතනවනෙ.
7. වලිනොවලි
අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ කියල හඳුන්වන ඩයල් ඉන්නවනෙ. එයින් එක්කෙනෙක් කෙට්ටු ඩයල් එකක් වුනොත් වෙන්නෙ නං පොඩි ප්‍රශ්නයක්. ඇයි ඉතිං වලියෙ කතා කරන ටික විතරයි කරන්න පුළුවන්. දැන් සමාජෙ තත්ත්වෙ හැටියට අසාධාරණේ සිද්ධ කරන මනුස්සය ටික වෙලාවයිනෙ බහින්බස් වෙන්නෙ. ඊටපස්සෙ එන්නෙ පොලු මුගුරු අමෝරාගෙන. අන්න එතනදි කෙට්ටු බුවාට අසාධාරණයට එරෙහිව නැගී සිටීමෙන් ඉවත්වෙන්න සිද්ධ වෙනවා.
Cover Image Source – bonytobeastly.com
Leave a Reply