ලෝකේ මේ වෙනකොට තියෙන ජනප්‍රියම සමාජ ජාලය ෆේස්බුක් වුනත්, කෝකටත් තෛලේ ෆේස්බුක් නෙවෙයිනේ. ලෝකේ තව සමාජ ජාල සේවා තියෙනවා. මේවායින් ජනප්‍රිය ගොඩක් සමාජ ජාල එක එක දේවලට විශේෂීකරණය වුණු ඒවා. උදාහරණයක් විදියට ගත්තොත්, ට්විටර් කියන්නේ මයික්‍රෝ බ්ලොගින් වලට විශේෂ සමාජ ජාලයක්. එතකොට ඉන්ස්ටග්‍රෑම් කියන්නේ ෆොටෝ වලටම විශේෂ වුණු සමාජ ජාලයක්. හැබැයි මේ වෙනකොට ඉන්ස්ටග්‍රෑම් එකේ අයිතිය තියෙන්නෙත් ෆේස්බුක් සමාගමටමයි කියන එක අමතක කරන්න එපා!
කොහොම හරි, ඉන්ස්ටග්‍රෑම් එක කියන්නෙත් මාරම ආතල් වගේම හරි විදියට පාවිච්චි කළොත් සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන් සමාජ ජාලයක්. අපි මීට කලිනුත් කියලා තියෙනවා කොහොමද ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්නේ කියන එක ගැන. හැබැයි ඉතින් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්නත් ඉන්ස්ටා එකවුන්ට් එකක් පටන් ගන්න ඕනනේ. මේ කියන්න යන්නේ, සාර්ථක ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් ආරම්භ කරන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් ගැන තමයි.
1. මොනවා ගැනද?
අවිවාදයෙන්ම ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් දුරක් ගෙනියන්න හදනවා නම් හිතන්න ඕන කාරණේ වෙන්නේ තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකේ මොන වගේ පින්තූරද දාන්නේ කියන එක. එහෙම වෘත්තිය මට්ටමක ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් රන් කරන්න ඕන නැති කෙනෙක්ට නම් තමන්ට හිතෙන හිතෙන දේවල් දාන්න පුළුවන්. හැබැයි අපි කියමු ට්‍රැවල් රයිටර් කෙනෙක් කියලා. එහෙම කෙනෙක් ඉන්ස්ටා එකවුන්ට් එකේ තමන්ගේ සෙල්ෆි, බබාලගේ රූප, සුරතල් හාවාගේ රූප, ගෙවල් වල රූප සහ ඒ අතරට ට්‍රැවල් කරපු තැන් වල ෆොටෝ එකක් දෙකක් දැම්මා කියලා ලොකු ආකර්ෂණීය බවක් ලැබෙන්නේ නෑ. සෙල්ෆි දානවා නම් සෙල්ෆි. ට්‍රැවල් ෆොටෝස් නම් ට්‍රැවල් ෆොටෝස්. අන්න ඒ නිසා තමන්ගේ ඉන්ස්ටා එකවුන්ට් එකේ පරමාර්ථය හිතන්න ඕන මුලින්ම.
2. ඒකටම ගැලපෙන ප්‍රොෆයිල් නේම් එකක්
ඒක හිතුවට පස්සේ අනිවාර්ය දේ තමයි හිත් ඇදගන්නා සුළු නමක් දාන එක. හරි, ඉන්ස්ටා එකවුන්ට් එක තමන්ගේ ඇත්ත නමෙන් දුවන්නත් පුළුවන්. හරියට ක්‍රිස් අනුත්තර වගේ. හැබැයි ඕන නම් වෙනස්ම විදියේ නමක්, තමන්ගේ තේමාවත් එක්ක යන නමක් දාන්නත් පුළුවන්. Chris the Writer, The Storyteller වගේ නමක්. හැබැයි ඉතින් දැන් වෙනකොට ඔය පොදුවේ තියෙන විශේෂ විදියේ නම් හැම එකක්ම වගේ මිනිස්සු අරගෙන නිසා, දැන් ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් අරිනකොට සඳහන් කරන නම සම්බන්ධයෙන් වැඩිදුර හිතන්න වෙනවා. තමන්ගේම නමත් සමහර වෙලාවට දාන්න අමාරුයි. උදාහරණයක් විදීයට ගත්තොත්, Nisha Perera වගේ නමක් පොදු නිසා, ඒක ගන්න බෑ කියලා කියයි. එතකොට අපි Nisha_Perera_124 වගේ එකක් ලේසියට දාලා හරියන්නෙ නෑ. ඊට වඩා නිර්මාණශීලී විදියට, මිනිස්සුන්ට මතක හිටින, ප්‍රොෆෙෂනල් නමක් හොයාගන්න වෙනවා.
3. ප්‍රොෆයිල් ෆොටෝ එක
ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් ෆොටෝ එක සාමාන්‍යයෙන් කෙනෙක්ට සූම් කරලා බලන්න බෑ. හැබැයි ඒ නිසාම දාන්නේ මොන වගේ ෆොටෝ එකක්ද කියන එක ගැන විශේෂයෙන්ම කල්පනා කරන්න වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, ඔය එක එක ආදර්ශ පාඨ, කියමන් තියෙන ෆොටෝස් තියෙන්නේ. එව්වා දාන එකේ ලොකු තේරුමක් වෙන එකක් නෑ. ඒ වගේම තමන් කන්දක් තියෙන භූමි දර්ශනයක මැද්දේ පුංචියට ඉන්න ෆොටෝ එකක් දාලත් වැඩක් වෙන්නෙ නෑ. තමන්ගේ බිස්නස් එකේ නමයි, එඩ්රස් එකයි තියෙන ෆොටෝ එකක් දැම්මට වැඩක් වෙන්නෙත් නෑ. හැබැයි තමන් ට්‍රැවල් කරපු තැනක භූමි දර්ශනය තියෙන පැහැදිලි ෆොටෝ එකක් දැම්මට කමක් නෑ. තමන්ගේ මූණ තියෙන ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මත් කමක් නෑ. තමන්ගේ ලෝගෝ එකක් දැම්මට කමකුත් නෑ. මතක තියාගන්න ඕන, ගොඩාක් විස්තර තියෙන ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දානවට වඩා, ආකර්ෂණීය සහ පුංචි තම්බ්නේල් එකක් විදියට තියෙනකොටත් කෙනෙක්ට පහසුවෙන් මොකක්ද කියලා පේන ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාන්න ඕන කියන එකයි.
4. බයෝ එක
අපි සරලවම බයෝ එකේ ලියන්නේ අපි කවුද, අපි මොනවද කරන්නේ, ඇයි අපි විශේෂ වෙන්නේ කියන එකනේ. අන්න එතකොට ඔය ගොඩක් අය ලියන්නේ තමන්ගේ නම, තමන් කරන වෘත්තිය හරි තමන් කරන දේවල් ටික, තමන්ට විශේෂ මොනවා හරි තියෙනවා නම් අන්න ඒ දේවල්, තමන්ගේ විනෝදාංශ වගේ දේවල්නේ. ඒකට කමක් නෑ. අර විශේෂ මොනවා හරි කියන්නේ, බියුටි ක්වීන් කෙනෙක් නම් එයා ජයග්‍රහණය කරපු ටයිට්ල්ස් වගේ දේවල්. ට්‍රැවල් රයිටර් කෙනෙක් නම් එයා දිනපු සම්මානයක් ගැන දාන්න පුළුවන්. එහෙම නැතිනම් එයාගේ ට්‍රැවලින් ගැන විශේෂ දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බ්ලොග් එකක, වෙබ් එකක ලින්ක් එකක් දාන එකත් වැදගත්.
මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් පටන් ගන්නකොට වුනත්, පටන් ගත්තට පස්සේ වුනත් ඒක බිස්නස් පේජ් එකක් විදියට කරන්න ඕනද කියලත් ඉන්ස්ටා එකෙන් අපෙන් අහනවා. එතනදීත් තෝරාගැනීම් දෙකක් තියෙනවා. එකක් බිස්නස් එකක්, බ්‍රෑන්ඩ් එකක් විදියට. අනික ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් නැතිනම් කොන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට. ඉතින් ඔහොම බිස්නස් පේජ් එකක් විදියට කරනවා නම් ඒත් ඔය නිකම්ම ආදර්ශ පාඨ එහෙම බයෝ එකේ ලියනවා වෙනුවට වෘත්තිය තොරතුරු සහ තමන්ව සම්බන්ධ කරගන්න ලේසි තොරතුරු දාන්න ඕන.
5. කථාවක් කියන්න ඕන
සමහරු ඉන්නවා ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් පටන් ගත්තු ගමන් ෆොටොස් දාගෙන දාගෙන යනවා. හැබැයි ඒ වල එතනින් එහාට කිසිම අදහසක් එන්නෙ නෑ. ආන්න එහෙම කරන එක හරියන්නෙ නෑ. ෆොටෝ එකක් එක්ක අපිට මොකක් හරි කැප්ෂන් එකක් දාන්න ඉඩ දීලා තියෙනවා. එතකොට ඔය වැකියක් හරි, හෙඩින් එකක් හරි එක්ක හෑෂ් ටැග්ස් සෙට් එකක් අපිට දාන්න පුළුවන්. හෑෂ් ටැග්ස් ගැන අපි ඊලඟට කතා කරනවා.
දැන් ගොඩක් අය සෙල්ෆියක් අරගෙන ඉන්ස්ටා දානකොට, ඒකත් එක්ක දානවා මොකක් හරි කියමනක්. හැබැයි ඉතින් සමහර දෙනෙක් දාන කියමන් ෆොටෝ එකට ගැලපෙන්නේ නෑ. අන්න ඒ නිසා එහෙම ෆොටෝ කැප්ෂන් එකක් ලියන්න බැරි නිසා කියමනක් හොයලා දානවා නම්, ගූග්ල් කළහම අතට අහුවෙන පළමුවෙනි කියමන දාන්න එපා. පොඩ්ඩක් ෆොටෝ එකත් එක්ක අර්ථයක් තියෙන එකක් දාන්න.
මතක තියාගන්න, ෆොටෝ එකක් එක්ක දාන ෆොටෝ කැප්ෂන් එක වචන දෙකක් වෙන්නත් පුළුවන්, වාක්‍යයක් වෙන්නත් පුළුවන්. හැබැයි මොකක් දැම්මත් ඒකෙන් ෆොටෝ එකත් එක්ක කතාවක් කියවෙන්නයි ඕන කරන්නේ. දැන් කාලේ විදියට සිංහලෙනුත් ඕන නම් දාන්න පුළුවන්, ඉංග්‍රීසි කැප්ෂන් එකක් එක්කම.
6. හෑෂ් ටැග්ස්, ජියෝ ටැග්ස්
හෑෂ් ටැග්ස් කියන්නේ මොනවද කියලා දන්නවනේ. #Travel, #Travelwithwife, #SriLankanBeauty වගේ ඕන තරම් හෑෂ් ටැග්ස් ඉන්ස්ටග්‍රෑම් එකේ තියෙනව. අපිට නිර්මාණය කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් දෙයියන්ගේ නාමෙට ඔය ෆේස්බුක් එකේ ආතල් එකට දානවා වගේ #aඅපිටකොයින්දබ්රෝබූල්බල්ලෝ වගේ හෑෂ්ටැග්ස් දාන්න එපා. කිසිම තේරුමක් නෑ. ඒකෙන් අපේ ෆොටෝ එකේ රීච් එක වැඩිවෙන්නෙත් නෑ.
ඊලඟට ජියෝටැග්ස් දාන එකෙන් කියන්නේ, අපි ගන්න ෆොටෝ එක කොහේද කියන එක අඳුන්නලා දීම. ඒකෙනුත් අපේ ඉන්ස්ටග්‍රෑම් ෆොටෝ එකට ලැබෙන රීච් එක වැඩිවෙනවා වගේම, ඉන්ස්ටග්‍රෑම් ෆොටෝ එකට වටිනාකමකුත් ලැබෙනවා.
7. ෆිල්ටර්ස්!
ඇත්තම කතාව කිවුවොත්, ඉන්ස්ටග්‍රෑම් සීන් එකේ ආතල්ම කෑල්ල තමයි, ඒකට ෆොටෝ එකක් දානකොට ෆොටෝ එක එඩිට් කරන්න දීලා තියෙන ටූල්ස් ටික. හැබැයි ඉතින් ෆොටෝ එකක් එඩිට් කරනවා කියන්නේ, ආතල් එක වැඩිකමට ඒකේ තියෙන හැම ටූල් එකම 100% ඇප්ලයි කරල, දීලා තියෙන ෆිල්ටර්ස් වලින් ඇස් කඩාගෙනම යන ෆිල්ටර් එක දානවා කියන එක නෙවෙයි. සමහර ෆොටෝ එකකට ක්‍රොප් කිරීමක් හැරෙන්න කිසිම එඩිට් එකක්, ෆිල්ටර් එකක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ වගේම ෆිල්ටර්ස් දානකොට, තියෙන ෆිල්ටර්ස් ඔක්කොම මුලින් ඇප්ලයි කරලා බලන එක හොඳයි. එහෙම යනකොට හම්බුවෙන හිතට අල්ලන ෆිල්ටරයක නම මතක තියාගෙන හෝ ලියාගෙන, ඔක්කොම ට්‍රයි කළාට පස්සේ හොඳම එක තෝරගන්න එක තමයි හරි විදිය.
මේ තමයි ඉතින් මූලික දේවල්. මෙතනින් එහාට දේවල් ගැන නම් අපි ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කතා කරපු ආටිකල් එකේ කරුණු සඳහන් කරලා තියෙනවා. එහෙමනම්, සුබ ඉන්ස්ටග්‍රෑම් ස්ටාට් එකක් වේවා!
Leave a Reply