කිමිදී බලන්නට වටින ලංකා මූදේ අසිරිමත් තැන්

කකුල් තියෙන ඕනි කෙනෙක්ට ඇවිදින්න පුළුවන් නිසා මෑතකදි හයික් යන එක එහෙම නැතිනම් කඳු නගින්න යන එක මාර විදිහට හිට් වුණා. එත් ලංකාව වටේම මුහුද තිබුණත් ලංකාවේ කිමිදීම එච්චර ලල් එකක් වුණේ නැහැ. කිමිදීම ටිකක් වියදම් වැඩක් වීම කිමිදෙන එක ජනප්‍රිය නොවන්න හේතු වෙන්න ඇති. ඒත් දැන් දැන් ලාංකික සංචාරක පිරිස කිමීදීම ගැනත් අවධානය යොමු කරනවා. මොකද ලංකාව වගේ දූපත් රටක් වෙලත් අපිට අපේ මූද ටිකක් බලාගන්න කිමිදෙන්න බැරිනම් වැඩක් නැහැ කියලා පිරිසක් හිතනවා. ඉතින් අපි අපේ මුදේ කිමිදෙන්න තියෙන තැන් සහ විස්තර ටිකක් සොයා බලමු.

 

 

1. කිමිදෙන්න සුදුසු කාලය

පැඩි වෙබ් අඩවිය කියන විදිහට ලංකාවේ ඔක්තෝම්බර් සිට මැයි දක්වා කාල සීමාවෙදි දකුණු සහ බස්නාහිර වෙරළ තීරය රළු වෙනවා. ඒ නිසා ඒ කාලය තුළ ත්‍රිකුණාමලය ආශ්‍රිත නැගෙනහිර වෙරළ කිමිදීමට වඩාත් යෝග්‍ය වෙනවා. ඒ අනුව ලංකාවේ වටේම මූද තිබුණත් අපිට ඒ ඒ කාලගුණ, දේශගුණ තත්ත්වයන්ට අනුව අපේ කිමිදෙන එක තීරණය කරන්න වෙනවා. ලංකාව නිතරම කුණාටු සහ වැසි තත්ත්වයන්ට මුහුණ දෙන රටක්. ඒ නිසා කිමිදීමේදී කාලගුණය ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. අයහපත් කාලගුණය නිසා අනතුරු වෙන්න පුළුවන් වගේම වතුර යට අපැහැදිළි නිසා නිසි ආකාරයෙන් නැරඹීම් කරන්නත් අමාරු වෙනවා.

 

 

2. තිස්ස කිරින්ද කුඩා රාවණා, මහා රාවණා

ආතර් සී ක්ලාක් කියන්නේ හොඳ ප්‍රබන්ධකරුවෙක් වගේම දක්ෂ කිමිදුම්කරුවෙක්. ඔහු සහ මිතුරන් ගිහින් කුඩා රාවණා කොරල් පරය අස්සේ සැඟවී ගිය පැරණි නැව් සොයාගත්තා. ඒවායේ නිධාන ගොඩගත්තා. ඒ ඇසුරෙන් රන්මුතු දූව කියන පළමු සිංහල චිත්‍රපටයත් ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ දායකත්වයෙන් බිහිවුණා. මේ රාවණා කොරල් පරය තිබෙන කලාපය බොහොම සැඩ මුහුදක් තිබෙන කලාපයක්. වසරේ අප්‍රේල් මාසයේ පමණයි මේ පෙදෙසට කිමිදෙන්නට හැකි වෙන්නේ. ඒකත් කාලගුණය යහපත් වුණොත් පමණයි. ඒත් වතුර යට අතීතයේ ගිලී ගිය යාත්‍රා දැක ගැනීමේ මහඟු අවස්ථාව ලබාගන්න කිමිදුම්කරුවන් ඒ අවදානම අරගෙන කිමිදෙනවා .

 

 

3. උණවටුන

උණවටුන කියන්නේ ගාල්ලට ආපු නැව් ගිලුන කලාපයක්. ගාල්ල කියන්නේ ස්වාභාවික වරායක් වුණත් කුණාටු තත්ත්ව හමුවේ ගාලු වරායට ඇතුළු වීම ඒ කාලෙත් දැඩි ප්‍රශ්නයක් වුණා. මොකද ගල් පරයක් තියෙනවා ඒ අහල පහළම. ඉතින් මේ නිසා කැඩී බිඳී ගිය දැනට හඳුනාගත් නැව් 16ක් ගාල්ල වෙරළ කළාපය තුළ තියෙනවා. මේ උණවටුන කළාපයේ ගල් මල්, කොරල් සහ මාළුත් ඉන්නවා. ඉතින් නොගැඹුරු මුහුදේ සිරි නරඹන්න කිමිදීම නොදන්නා අයටත් අවස්ථාවක් ලබාගන්න පුළුවන් තැනක් තමයි උණවටුන කියන්නේ. උණවටුනේ ආධුනික කිමිදුම්කරුවන්ටත් සහාය සහිතව කිමිදී අවට සිරි නරඹන්නට පුළුවන්.

 

 

4. කල්පිටිය

කල්පිටිය ආශ්‍රිත කලාපයේ තවමත් සක්‍රීය කොරල් පර තියෙනවා. මේවා නැරඹීම කල්පිටිය ආශ්‍රිතව ජනප්‍රිය වෙලා තියෙනවා. කල්පිටිය සරුංගල් සර්ෆින්, සර්ෆින් වගේම ඩොල්පින් සහ තල්මසුන් බැලීමටත් ජනප්‍රිය කළාපයක්. කල්පිටියේ එක් කලකට මුහුද රළුයි. ඒත් හොඳින් දන්නා අය සමග ගියොත්, කල්පිටියේදී කිමිදුනේ නැතත් ස්නෝක්ලින් වලදිත් හොඳ ලස්සන ලස්සන මුහුදු ජීවීන් දැකගන්නට පුළුවන්.

 

 

5. පරයි දූපත, ත්‍රිකුණාමලය

මේක ලංකාවේ වගේම විදෙස් සංචාරකයින් අතරත් ජනප්‍රිය තැනක්. ආධුනික උදවිය වැඩිපුර කිමිදීම නිසා මේ ආශ්‍රිත කොරල්පර විනාශ මුඛයට යනවා කියලත් කලක් චෝදනා එල්ල වුණා. මේ කොරල් දිවයින ආශ්‍රිතව ඇති සක්‍රීය කොරල් පර ජීවිතයේ එක් වතාවක් හෝ දැකගන්නට ලැබුනා නම් හොඳයි. කිමිදුනේ නැතත් ස්නෝක්ලින් වලිනුත් ඇතැම් කොරල් කොටස් දැකගන්නට අපිට පුළුවන්. ත්‍රිකුණාමලය කිමිදෙන අයට බඩු සපයන සංචාරක පාරාදීසයක්. ඉතින් නිලාවැලි දිහා ගියාම ලස්සන වෙරළ නැරඹීමට අමතරව ඒ යාබද නොගැඹුරු මුහුදට ටිකක් ඔලුව දාල එන්නත් අමතක කරන්න එපා.

 

 

6. පාසිකුඩා

නැගෙනහිර වෙරළ තීරයට අයිති පාසිකුඩා කලකදි බොහොම සෞම්‍ය මූදක් තියෙන කලාපයක් . ඒත් ඊසාන දිග මෝසම් කාලයට නම් මුහුද රළු වෙනවා. මේ පාසිකුඩා වලදිත් පැරණි නැව් බලාගන්නට පුළුවන්. පැරණි නැව් මුහුදුබත් වුණාම ඒවා ආශ්‍රිතව ඇතිවන කොරල් සහ ජනාවාස අලුත්ම ගතියක් මුහුදු පතුලට එකතු කරනවා. පාසිකුඩා වල තිබෙන සංචාරක පහසුකම් නිසා වැඩි කලබලයක් නැතුව කිමිදුම් කටයුතු කරගෙන එන්නට අපිට පුළුවන්.

 

 

7. මිරිස්ස සහ හික්කා

හික්කඩුවේ නම් මීට වසර 30-40කට පෙර දැක්ක සක්‍රීය කොරල් පර දැන් විනාශ වෙලා. මිනිස් ක්‍රියාකාරකම් වගේම ස්වාභාවික හේතු නිසාත් කොරල් විනාශ වෙනවා. මිරිස්ස ලංකාවට පැමිණෙන මිල අඩු බැක්පැක් සංචාරක පාරාදීසයක්. ඒ නිසා සංචාරකයින් පැමිණි ඒ (කොවිඩ් වලට පෙර) කාලයේ මිරිස්සේදී අඩු මිලට කිමිදෙන්න බඩු හොයාගන්න පුළුවන් වුනා. හික්කඩුවත් කිමිදෙන වැඩේට අවශ්‍ය පහසුකම් හොයාගන්න ලේසි තැනක්. කොළඹ නුවර පළාත්වල ඉන්න කෙනෙක්ට නම් නැගෙනහිර වෙරළට වඩා දකුණු වෙරළ ඉක්මනින්ම ටච් කරන්න පුළුවන් දුම්රිය සහ අධිවේගී මාර්ග පහසුව තියෙන නිසා.

 

කිමිදීම කියන්නේ පුහුණු වෙන්න ඕනි දෙයක්. ඒකත් එක රැයෙන් ඕනි තැනක කිමිදෙන්නට හුරු වෙන්නට බැහැ. කාලාන්තරයක් තිස්සේ නිවැරදි මගපෙන්වීම යටතේ තමයි හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නට පුළුවන් වෙන්නේ. පැඩි සමාගමේ සහතික ලත් පුරුදු කරන අය සහ ස්ථාන රැසක් ලංකාවෙත් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට ගිහින් කිමිදීම හුරු වුණොත් වීකෙන්ඩ් එකට කිමිදීම කියන අලුත් විනෝදාංශය හරහා සතුටු වෙන්නට ඔයාලටත් අවස්ථාවක් ලැබෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *