ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙලා ඉන්ස්ටග්‍රෑම් එකෙන් ගොඩයන්න ටිප්ස් කීපයක්!

දැන් කාලේ ප්‍රමුඛ සමාජ ජාලා අතරින් ඉන්ස්ටග්‍රෑම් සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ගොඩක් දෙනෙක් මේ කාලේ ෆේස්බුක් එකෙන් ඈත් වෙමින් ගියත්, ඉන්ස්ටග්‍රෑම් එකට දිනෙන් දින කට්ටිය එකතුවෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි, ඉන්ස්ටග්‍රෑම් අයිතිය තියෙන්නෙත් ෆේස්බුක් එකට කියන එක. කොහොම හරි කතාව මේකයි. ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්, ඒ කියන්නේ අති විශාල පිරිසක් විසින් ෆලෝ කරන, අප්ඩේට් වෙන එකවුන්ට් එකක අයිතිකාරයෙක් කියන්නේ අද කාලේ ලොකු දෙයක්. මොකද මේ ඉන්ෆ්ලුවන්සර්ස්ලාට මාකටින් වැඩ එහෙම හම්බුවෙනවා හිටු කියලා. ඉතින් කාට හරි වුවමනාවක් තියෙනවා නම් ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් පටන් අරගෙන, ඒකේ ෆලෝවර්ස්ලා ගාණ ක්‍රමයෙන් ඉහළ නංවාගෙන ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්න, ඒකට ක්‍රම සහ විධි තියෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ක්‍රම සහ විධි වලින් කීපයක් ගැන!

 

1. මොකද්ද තීම් එක?

ඔව්, ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් කරනවා නම්, ඒකේ එක ගාණට යන තීම් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ට්‍රැවල් නං ට්‍රැවල්. ප්‍රොඩක්ට් රිවීව් නං ප්‍රොඩක්ට් රිවීව්, ටික් ටොක් නං ටික් ටොක්, මොඩ්ලින් නං මොඩ්ලින්. හැබැයි ඉතින් ඉඳලා හිටලා ආතල් එකට තමන්ගෙ සෙල්ෆියකුත් එබුවට කමක් නෑ. හැබැයි පොදුවේ ගත්තහම යම් කිසි තේමාවකට අදාළව දේවල් පළ වෙන එක හොඳයි. කිසිම තේමාවකට නැතුව එහෙන් මෙහෙන් ෆොටෝස් පළ වෙන ඉන්ස්ටා එකවුන්ට් එකකට වඩා, යම් කිසි තේමාවක් තියෙන ඉන්ස්ටා එකවුන්ට් එකකට කට්ටිය සෙට් වෙනවා වැඩී. තමන්ගේ සරාගී පින්තූර විතරක් පළ කරන එකවුන්ට් එකක් කියමු. ඒකත් එක තීම් එකක්නේ! එතකොට සෙක්සි ෆොටෝස් බලන්න ආස කට්ටිය එකවුන්ට් එකට එකතුවෙයි. හැබැයි සෙක්සි ෆොටෝස් එක්ක අනුපාතෙට භූමි දර්ශනත් තියෙනවා නම්, ඒ ඉන්ස්ටා එකවුන්ට් එක ඒ තරම් ආකර්ෂණීයයි කියලා දැනෙන එකක් නෑ!

 

2. ඇඳුම් ඇඳගෙනද, ගලවගෙනද?

මේකත් අපි එක කරුණක් විදියට ගන්න හේතුවක් තියෙනවා. දැන් කාලේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක ෆලෝවර්ස්ලා වැඩි කරගන්න කියලා ගොඩක් ගෑණු ළමයි කරන දෙයක් තමයි පොඩ්ඩක් ඇඟ පෙන්නන එක. මේක නරක දෙයක් කියලා නෙවෙයි අපි කියන්නේ. සමහර වෙලාවට ඒකත් එන්ටර්ටේන්මන්ට් එකක්නේ. හැබැයි අර උඩින් කියපු කාරණාව තමයි ආයෙමත් කියන්න සිද්ධ වෙන්නේ. තමන්ගේ ඉන්ස්ටා එකවුන්ට් එකේ තියෙන්නේ තමන්ගේ බිකිණි ෆොටෝස්ද නැද්ද කියන එක අපිට ගැටලුවක් නෑ. හැබැයි ඉතින් නිරුවත පෙන්නුවත්, ඒකේ කලාවක් තියෙන්න ඕන කියන එකයි අපේ හැඟීම. වෙනත් විදියකින් කියනවා නම්, නිකම්ම ඇඟ පෙන්නලා ඉන්ස්ටග්‍රෑම් එකෙන් ගොඩයන්න බැහැයි කියලයි කියන්න වෙන්නේ.

 

3. දවසකට එකක් හෝ!

සාමාන්‍යයෙන් ෆලෝවර්ස්ලා බර ගාණක් හදාගන්න හිතන ඉන්ස්ටග්‍රෑමර් කෙනෙක්ට හිතෙන හිතෙන වෙලාවට පෝස්ට් එකක් දාලා ඒක කරන්න බෑ. එකක්, ඉන්න ෆලෝවර්ස්ලා බලාපොරොත්තු වෙනවා නිතරම ඔයාගෙන් යම් කිසි දෙයක් ඉන්ස්ටග්‍රෑම් එකේ දකින්න. ඒකටනේ ඔයාව ෆලෝ කරන්නේ. අනික, දාන හැම පෝස්ට් එකක්ම කියන්නේ අලුතින් ෆලෝවර්ස්ලා කීප දෙනෙක් හෝ එකතුකරගන්න අවස්ථාවක්. එතකොට දවසකට සැරයක්, දවසේ නියම වෙලාවකට එක පෝස්ට් එකක් හෝ වැටෙනවා කියන්නේ ඒකට එන ෆලෝවර්ස්ලාත් වැඩිවෙනවා කියන එක. එහෙම නිරන්තරයෙන් පෝස්ට් වැටෙනකොට ඉන්න ෆලෝවර්ස්ලා විසින් පෝස්ට් එකට ඉන්ටරස්ට් වෙයි කියලා හිතෙන තව අයව කමෙන්ට්ස් වල ටැග් කරලා ගෙන්න ගන්න ප්‍රවණතාවයකුත් තියෙනවනේ. ආන්න ඒ නිසා නිතරම පෝස්ට් දැමීම වැදගත්.

 

4. හිතලා මතලා දාන පෝස්ට්!

මෙන්න මේකත් අති වැදගත්. ඒ තමයි තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකේ දැන් ඉන්න හෝ අනාගතයේදී එන්න ඉන්න ෆලෝවර්ස්ලා අපේක්ෂා භංගත්වයට පත් වෙන තාලේ පෝස්ට් නොදැමීම. අපි උඩින් කිවුවනේ දවසකට එක පෝස්ට් එකක් හෝ දාන්න කියලා. අන්න ඒ දාන එක පෝස්ට් එක වුනත් හොඳ කොලිටි අන්තර්ගතයක් තියෙන දෙයක් වෙන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන මීම් කෑලි හරි කියමන් තියෙන ෆොටෝස් හරි අප්ලෝඩ් කරලා වැඩක් නෑ (ඒක ඉන්ස්ටා එකවුන්ට් එකේ තීම් එක නෙවෙයිනම්). ඊට වඩා හොඳට සැලසුම් කරලා කරපු හොඳ, ආකර්ෂණීය පෝස්ට් එකක් තමයි හැම මොහොතකම අවශ්‍ය වෙන්නේ.

 

5. හෑෂ්ටැග්ස් හරි විදියට

ඉන්ස්ටා එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන තරමටම වැදගත් වැඩක් තමයි හරියට හෑෂ්ටැග්ස් දාන එක. ඇයි අපි හෑෂ්ටැග්ස් දාන්නේ? ප්‍රධානතම හේතුව තමයි හෑෂ්ටැග්ස් නිසා තමන්ගේ පෝස්ට් එක සර්ච් වලට පහසුවෙන් හසුවීම. උදාහරණයක් විදියට Sri Lankan travel destination කියලා සර්ච් කරන කෙනෙක්ට, ඔය හැෂ්ටැග් එකෙන් තියන ඔයාගේ නුවර එළියේ ෆොටෝ එක අහුවෙනවා. මේකත් එක්ක එන තවත් හේතුවක් තමයි වඩාත් පහසුවෙන් කාණ්ඩගත කිරීමට තියෙන හැකියාව. සාමාන්‍යයෙන් ඉන්ස්ටග්‍රෑම් වල හෑෂ්ටැග්ස් බරගාණක් දාන්න පුළුවන්. අපි කියන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා. හැබැයි එකක්. දාන හෑෂ්ටැග්ස් නිකම් අමුතු, නියම තේරුමක් නොදෙන එව්වා වෙලා හරියන්නෙ නෑ. හොඳම දේ තමයි තමන් එකතුකරන අන්තර්ගතයන්ට අදාළව ට්‍රෙන්ඩ් වෙලා තියෙන හෑෂ්ටැග්ස් මොනවද කියලා කලින් පොඩි ගූග්ල් සර්ච් එකක් කරලා ඉන්න එක.

 

6. ෆලෝවර්ස්ලා එක්ක ටච් එකේ

සාමාන්‍යයෙන් ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට, ඉන්ස්ටග්‍රෑමර් කෙනෙක්ට බැහැ වැටෙන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්න. හැබැයි කිසිම රිප්ලයි කමෙන්ට් එකක් හෝ රිඇක්ෂන් එකක් නැතුව ගෝඩ් ලෙවල් එකෙන් ඉන්න හදන ඉන්ස්ටග්‍රෑමර් කෙනෙක්ට වඩා, මොකක් හරි වැදගත් දෙයක් කමෙන්ට් කරන, අර්ථාන්විත ප්‍රශංසාවක් එකතු කරන ෆලෝවර් කෙනෙක්ට රිප්ලයි කරලා, හොඳ හැම කමෙන්ට් එකකටම රිඇක්ට් කරලා ඉන්න ඉන්ස්ටග්‍රෑමර් කෙනෙක්ට වඩාත් ලේසියෙන් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්න පුළුවන්. 

 

7. තමන්ට ආවේණික රසයකින්

හැම වෙලාවකම හිතලා බලන්න, තමන් කරන දේම කරන, තමන්ගේ තේමාවම අනුගමනය කරන තව අසූදහසක් ඉන්ස්ටග්‍රෑමර්ස්ලාගෙන් තමන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, නිකම්ම ට්‍රැවල් ෆොටෝස් වලට වඩා හාලි ඩේවිඩ්සන් එකක ට්‍රැවල් කරන ෆොටෝස් වල වෙනම ගතියක් තියෙනවා. නිකම්ම භූමි දර්ශන වලට වඩා තමන්ගේ සංචාරක සහායකයා වන ස්කූටියත් එක්ක තියෙන ෆොටෝස් වල වෙනම ගතියක් තියෙනවා. නිකම්ම කෑම ෆොටෝස් වලට වඩා, රසවිඳින තමන්ගේ මූණේ ඉරියව් එක්ක තියෙන ෆොටෝස් වල වෙනස් ගතියක් තියෙන්න පුළුවන්. මෙන්න මේ විදියට තමන් කරන දේ ඇතුළේ තමන්ටම ආවේණික සුවිශේෂත්වයක් එකතු කරන්න පුළුවන් කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

 

8. වෘත්තිමය භාවයකින්, ෆන් එක කඩා ගන්නේත් නැතුව

අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණා දෙක තමයි. එකක්, තමන් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්න යන්නේ ඉන්න ෆලෝවර්ස්ලා ගාණ දිහා බලලා මනෝ වින්දනයක් ලබන්න නෙවෙයිනේ. ඊට වඩා එතන අලෙවි ප්‍රචාරණ හෝ මහජන සම්බන්ධතා හෝ විකුණුම් අරමුණු තියෙන්න පුළුවන්. එහෙම නම් ඒ වෘත්තිය භාවය තමන් කරන ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකේ තියාගන්න. ඒ කියන්නේ තමන්ගේ බයෝ එකේ දාන දේවල් ගැන සැලකිලිමත් වීමේ ඉඳලා, තමන් ඉන්ස්ටා එකවුන්ට් එක පවත්වාගන්න දවසේ යම් කාලයක් වැය කිරීම දක්වා දේවල් සම්බන්ධයෙන් වෘත්තිමය විදියට වැඩ කරන්න.

හැබැයි අනික් පැත්තෙන්, ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් හරහා තමන් කරන දේ එන්ජෝයි කරන්න, තමන්ගේ ආතල් එක ගන්නත් අමතක කරන්න එපා!

 

හැබැයි මේ එක්කම තව දෙයකුත් කියන්නම ඕන. තමන් ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් ඕපන් කරලා, ඒකේ තමන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප දැම්මත් මිනිස්සු හෝ ගාලා ඇදිලා එයි. හැබැයි හිතලා බලන්න ඕන ඇත්තටම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකේ මොකක් හරි වැදගත් කමක් තියෙනවද කියලා. තමන් කරන්නේ වැදගත් වැඩක් කියලා තමන්ට දැනෙන්නේ නැතිනම් ඒකේ පලක් නැහැනේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *