අලුතින් රිලේශන්ෂිප් එකක් පටන් අරගෙනද ඉන්නේ? සෙක්ස් ගැන කතා කරන්න ඕනෙද? ඒක කරන්නේ කොහොමද?

මේක ගොඩක් අයට කතාකරන්න ටිකක් අපහසු කාරණයක් කියන එක නිවැරදියි. මොකද, සෙක්ස් කියන්නේ රහසේ කරනවා වගේම, රහසේ කතා කරන්න ඕන දෙයක් කියලා තමයි සමාජේ මතය තියෙන්නේ. සාමාන්‍යයෙන් තම තමන්ගේ ලිංගික ජිවිත ගැන විවෘතව කතා කරන එක අත්‍යාවශ්‍ය තැනකදී මිසක් නොකර ඉන්න එක වඩා හොඳයි. එතකොට තමන් එක්ක ලිංගික ජීවිතයක් ගෙවන කෙනෙක් සහ තමන් අතර සෙක්ස් ලයිෆ් එක ගැන කොහොමත් විවෘතව කතා කරන එක ගැටළුවක්. ජෙන්ට්ල්මන් නෙවර් කිස් ඇන්ඩ් ටෙල් කියන එක අදාළ වෙන්නත් ඕකට තමයි.

හැබැයි ඉතින් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තු වෙලාවක, කොයි යම් මොහොතකදී හරි සෙක්ස් ගැන කතා කරන්න වෙනවනේ. ඒ කියන්නේ කොහොමත් ප්‍රේමය එක්ක සෙක්ස් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ගොඩක් ෆෝවර්ඩ් කපල් එකකට නම් ඒක ලොකු අවුලක් නැති වෙයි. ඒත් ඒ තරම් ෆෝවර්ඩ් නොවෙන දෙන්නෙක්ට, ආදර සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ සෙක්ස් ගැන කතා කරන එක, සෙක්ස් ගැන කතා කරන්නේ කොයි කාලෙද කියන එක චැලේන්ජ් එකක්. ආන්න ඒ චැලේන්ජ් එක දිනාගන්න තමයි අපි පොඩි ටිප්ස් කීපයක් දෙන්න හදන්නේ.

 

1. මොකද්ද ඇත්තටම සම්බන්ධේ?

ඇත්තටම අලුතින් පටන් ගත්තු ආදර සම්බන්ධයක් ඇතුළේ සෙක්ස් සම්බන්ධයෙන් කතා කරන්න කලින් හිතන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි ඇත්තටම තමන්ගේ සම්බන්ධය මොකක්ද කියන එක. ඇයි අපි එහෙම කියන්නේ? හේතුව සරලයි. සෙක්ස් වලට යන්න කලින්, තමන් ඉන්න තැන පැහැදිලි කරගන්න ඕන දෙන්නම. තමන්ට තියෙන්නේ ආදර සම්බන්ධයක්ද නැතිනම් ලිංගික සම්බන්ධයක්ද? ඒක හුදු ලිංගිකත්වය මත පදනම් වුණු සම්බන්ධයක් වුණත් ගැටළුවක් නෑ. හැබැයි ඒක දෙන්නම දැනගෙන, දෙන්නම ඒකට ඕකේ වෙන්න ඕන.

 

2. ටයිමින් ඊස් එව්‍රිතින්ග්

හරි, දැන් සම්බන්ධය මොකක්ද කියන එක පැහැදිලියි නම්, සෙක්ස් වලට බහින්න පුළුවන්. හැබැයි ඉතින් ඊට කලින් සෙක්ස් ගැන කතා කරන්න එපැයි. ඒක ඉතින් හදිසියේ ලෙක්චර් එකකට දුවන ගමන්, ඔෆිස් එකේ හදිසි වැඩක ඉන්නකොට විනාඩි පහක් කතා කරන ගමන් එහෙම කරන්න බෑ. ආන්න ඒ නිසා සෙක්ස් ගැන කතා කරන්න හරි ටයිමින් මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. දෙන්නම රිලැක්ස් එකේ ඉන්න වෙලාවක් තමයි හොඳ. ඒ වගේම දෙන්නම ඒකට මාරම මූඩ් එකේ ඉන්න වෙලාවක් මරු. එහෙම කියනකොට මතක් වුණා නේද වෙලාව? ඔව්, රෑ වෙලා ඇඳට ඇවිල්ලා දෙන්නත් එක්ක චැට් එක දාගෙන ඉන්න කොට තමයි ඒ ගැන කතා කරන්න සුදුසුම.

තව එකක්: චැට් එකකින් වගේ තමන්ගේ රිලේශන්ෂිප් එකේ සෙක්ස් ගැන කතා කරන එක එච්චර හොඳ වෙන එකක් නෑ. මොකද, චැට් එකකින් හරි හැටි තමන්ගේ ෆීලින්ග්ස් ප්‍රකාශ කරන්න බැරි වෙන්න ඉඩ වැඩියි. ඒ වගේම, චැට් එකකින් දේවල් පැහැදිලිව කියන පුළුවන් හැකියාවත් අඩුයි. ඒ නිසා කෝල් එකක් තමයි හොඳම. හැබැයි වීඩියෝ කෝල් එකක් අප්සට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ලැජ්ජාවෙන් ඇඹරෙන එක මිසක් කතා කරන එක සිදු නොවෙන්න පොඩි ඉඩක් තියෙන නිසා, පටන් ගැන්මට.

 

3. ලව් එකක් කියන්නේ සෙක්ස් වලට ලයිසන් එකක්ද?

මෙන්න මේ කාරණාව අවබෝධ කරගැනීම අති වැදගත්. ලව් එකක් කියන්නේ තමන්ට සෙක්ස් කරන්න ලයිසන් එකක් ලැබීමක් නෙවෙයි. වෙනත් විදියකට කිවුවොත්, තමන් ලව් කරනවා නම්, සෙක්ස් කියන්නේ තමන්ට ලැබිය යුතුම දෙයක්ය, තමන්ට සෙක්ස් ලබාදෙන එක අනික් කෙනාගේ වගකීමක්ය කියන මතේ ඉඳගෙන නම් සෙක්ස් ගැන කතා කරන්න යන්න එපා. සම්බන්ධතාවයක් ගාණට දුවන්න, ස්ථාවරව තියෙන්න සෙක්ස් තියෙන්න ඕන තමයි. අනික, සම්බන්ධතාවයක් එක පැත්තකට විතරක් සඳ එළිය සේ පාරිශුද්ධයි, සුරම්‍යයි ලෙවල් එකකින් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම දීර්ඝ කාලීනව සෙක්ස් නැති සම්බන්ධයක් කරගෙන යන්න එක පාර්ශවයක් උත්සාහ දරනවා නම්, අනික් පාර්ශවයට සෙක්ස් ඕන නම්, සම්බන්ධතාවය කැඩෙන්න හෝ සයිඩ් සම්බන්ධතා පටන් ගන්න හෝ තියෙන ඉඩ වැඩියි. හැබැයි මතක තියාගන්න: ඒක ඉමෝෂනල් බ්ලැක්මේල් එකකට හේතුවක් කරගන්න එපා. ඒක ගැන කියලා සෙක්ස් තමන්ගේ අයිතියක් කරගන්න හදන්න එපා.

 

4. බෑඩ් මෙමරීස්: කෙනා ගැන මුලින් දැනගන්න

මේක ඇත්තටම සිද්ධ වෙන්නේ හරි හැටි දෙන්නා ගැන කරුණු කාරණා දැනගන්න කලින් සෙක්ස් ටොපික් එකට බහින්න ගියහම තමයි. දැන් අපේ ජීවිත වල අතීතේ සෙක්ස් සම්බන්ධයෙන් තියෙන හැඟීම්, අදහස්, මතකයන් හොඳ එව්වා නොවෙන්න පුළුවන්. හිතන්න අපේ පාට්නර්ට සෙක්ස් සම්බන්ධයෙන් තියෙන්නේ බොහොම අමිහිරි මතකයක් කියලා. එතකොට කොයි තරම් ආදරේ එක්ක වුනත් සෙක්ස් ටෝක් එකට ඩිරෙක්ට් එන එකෙන් සම්බන්ධතාවය ඉවරම වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, තමන්ට කොයි තරම් ඕන වුනත්, සෙක්ස් ටෝක් එකට එන්න ඕන ක්‍රමයෙන්. ඒ වගේම සෙක්ස් ටෝක් එකට එන්න කලින් අනික් කෙනා ගැන සහසුද්දෙන් දැනකියාගන්න එක වටිනවා. 

 

5. පොසිටිව්, නොට් ක්‍රිටිකල්

මෙන්න මේක ඉතාම වැදගත්. අපි සෙක්ස් ටෝක් එකට නෙවෙයි, ලව් ටෝක් එකට වුනත් කලින් තේරුම් ගන්න ඕන, සම්බන්ධතාවයක් ඇතුළේ දෙන්නට දෙන්නා අවශ්‍ය ගෞරවය තියෙන්න ඕන කියන එක. දෙන්නට දෙන්නා විනිශ්චය කරන්න යෑම සුදුසු නැති බව. මොකද දෙන්නා කියන්නේ එකිනෙකාට වෙනස් දෙන්නෙක්!

දැන් අපි කියමු, සෙක්ස් ටෝක් එකේදී එක්කෙනෙක් සෙක්ස් ගැන කිසිම දෙයක් දන්නෙ නැති, කිසිම අදහසක් නැති බබා ටයිප් කෙනෙක් කියලා. ඒක එයාව විවේචනය කරන්න හේතුවක් නෙවෙයි. ඒ වගේම, අපි කියමු එක්කෙනෙක්ට හොඳටම අත්දැකීම් තියෙනවා සෙක්ස් සම්බන්ධයෙන් කියලා. ඒකත් එයාව විවේචනය කරන්න හේතුවක් නෙවෙයි. තමන්ට ඒ දේවල් එක්ක සම්බන්ධතාවය ගෙනියන්න අපහසුතාවයක් තියෙනවා නම්, ඒක පැහැදිලිව කියලා වෙන් වුනත් කමක් නෑ, සම්බන්ධතාවයේ ඉන්න ගමන් අනික් කෙනා විවේචනය කරනවට වඩා.

ඒ වගේම, සෙක්ස් සම්බන්ධයේදී ඔය ෆැන්ටසීස් එහෙම වුනත් දිහා සුබවාදීව තමයි බලන්න ඕන, විවේචනාත්මකව නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න ඕන.

 

6. ෆැන්ටසීස් සම්බන්ධයෙන් පැහැදිළිද?

ෆැන්ටසීස් කිව්වහම ඉතින් එව්වා ගැනත් කතා කරන්න ඕනැනේ. ඇත්තටම ඔය සෙක්ස් ටෝක් එකේදී වැඩි ඉඩක් වෙන් වෙන්නේ එකිනෙකාගේ ෆැන්‍ටසීස් ගැන අදහස් උදහස් ෂෙයාර් කරන්නනේ. එතනදී ඇඳට එනකොට අනික් කෙනා අඳිනවට ආස මොකක්ද, සෙක්ස් කරන්න ආස කොහේද වගේ ෆැන්ටසීස් ඉතින් ලොකුවට හිතන්නේ නැතුව කතා කරන්න පුළුවන් ඒවා. හැබැයි තවත් ෆැන්ටසීස් තියෙනවා පොඩ්ඩක් සංවේදී කාරණා වෙන්න පුළුවන්. අන්න ඒවා කතා කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, එක්කෙනෙක්ට තියෙන්න පුළුවන් ත්‍රීසම් ෆැන්ටසි එකක්. හැබැයි අනික් කෙනා ඒ වගේ ෆැන්‍ටසි එකක් තරයේ පිළිකුල් කරනවා වෙන්න පුළුවන්. අපි උඩින් කිවුවා තමයි එකිනෙකාගේ ෆැන්ටසි ගැන විවේචනාත්මක වෙන්න එපා කියලා. ඒත් ඔය වගේ අවස්ථාවකදී, ෆැන්ටසි එක ගැන කියනකොට, ඒක අනිවාර්යයෙන් කරන්න ඕන කියලා එකක් නැති ෆැන්ටසි එකක් විදියට පැහැදිලිව විස්තර කරන එක හොඳයි.

ඇත්තටම අපේ ඔළුවේ තියෙන හැම සෙක්ස් ෆැන්ටසියක්ම සාක්ෂාත් කරගන්න බැරි වෙන්න පුළුවන්. සමහර ෆැන්ටසීස් කොහොමත් අතිශයින්ම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. තවත් සමහර ඒවා පාට්නර්ගේ අකමැත්ත මත ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රායෝගික නැහැයි කියන කාරණාවත් දරා ගනිමින් තමයි අපි සෙක්ස් ටෝක් එක කරගෙන යන්න ඕන.  

 

7. පාස්ට් එක ඕනෙද?

මෙන්න මේකත් සෑහෙන්න හිතලා මතලා කතා කරන්න ඕන මාතෘකාවක්. සමහරු කැමතියි තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් සම්බන්ධ අතීතය ගැන දැනගන්න. තවත් සමහරු කිසිසේත්ම කැමති නැහැ තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් සම්බන්ධ අතීතය ගැන දැනගන්න. ආන්න ඒ නිසා මුලින් ඒක පැහැදිලි කරගෙන ඉන්න ඕන. ඒ වගේම තමන්ගේ පාට්නර් එයාගේ ලිංගික අත්දැකීම් සහ අතීතය ගැන කතා කරන්න අකමැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවේදීත් අපි ඒක ගැන කියන්න කියලා බල කරන්න යන එක වැරදියි.

ඒ වගේම, එයාට අපේ සෙක්ස් කරපු අතීතය අහන්න ඕන වුනත්, අපිට ඒක කියන එක ඕකේ වුනත්, එතනදී අපි වෙනත් පාර්ශවයන්ගේ තොරතුරු තමයි හෙළිදරවු කරන්නේ කියන එක මතක තියාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපිත් එක්ක සෙක්ස් කරපු අපේ අතීත පාට්නර් කෙනෙක් අපිත් එක්ක ගෙනිහින් තියෙන්නේ රහසිගත සම්බන්ධතාවයක් නම්, අපි බැඳිලා ඉන්නවා ඒ රහස්‍ය භාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්න. ඕනම නම් අපිට නම් ගම් නැතුව, කෙනා හොයාගන්න පුළුවන් විස්තර නැතුව අත්දැකීම ගැන කියන්න පුළුවන්. හැබැයි එතනින් එහාට අපි ගැන තියලා තියෙන උඩ කියපු විශ්වාසය කඩ කරන්න නම් අපිට අයිතියක් නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *