පාවහන් කියන්නෙ අපේ කාන්තා පක්ෂයේ විලාසිතා ලෝකෙ අද්විතීය ස්ථානයක් ගන්න විලාසිතාවක්. ඒ ඒ ඇඳුමෙ පාටට ගැලපෙන්න පාවහන් පළඳින්න අපේ කාන්තා පක්ෂය හරි කැමතියිනෙ. හැම කාන්තාවකටම තියෙනව එයාලගෙම තෝරාගැනීමක් එක්ක පාවහන් ඉතිහාසයක්. ඇත්තටම කාන්තාවකගෙ ලස්සන ඉස්මතු කරලා පෙන්වන ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් තමා පාවහන් කියන්නෙ. ඉතින් අද අපි කතා කරන්නෙ කාන්තා පාවහන් ගැන…
1. කාන්තාවන් වැඩියෙන්ම පළඳින පාවහන් විලාසිතා
- Sandals
අපේ රට කොහොමත් උණුසුම් කාලගුණයක් තියෙන රටක් නිසාම අපේ අක්කලා නංගිලා අතර ජනප්‍රියම පාවහන් විලාසිතාවක් තමා සැන්ඩ්ල්ස් කියන්නෙ. පාදයෙන් වැඩි කොටසක් නිරාවරණය වෙන නිසා හරිම සුවපහසු විලාසිතාවක්
- Wedge Heels
මේ දිනවල ජනප්‍රියම පාවහන් විලාසිතාවක් තමා වෙජ් හීල් (Wedge Heel) කියන්නෙ. මේ විලාසිතාව මෙතරම් ජනප්රිය වෙන්න හේතුව මොකද්ද දන්නවද? මේ සපත්තුවෙන් අඩි උස සපත්තුවකින් ඔබ අපේක්ෂා කරන කාරණයම ඊට වඩා පහසුවෙන් කරගන්න ලැබෙනවා. මෙහි වේදිකාවක් වැනි හැඩය අඩි උස සපත්තුවකින් ලැබෙනවට වඩා පහසු ඉරියව්වකින් ඔබව තියන්න සමත් වෙනවා. ඉතින් ඔබට පළඳින පාවහන් යුගල ටිකක් උසටත් ඕන, ඒ වගේම පහසුවටත් ඕන නම් මෙන්න හොඳම විසඳුම…
- Flat Shoes
ලස්සන වගේම පහසුම පාවහන් විලාසිතාවක් තමා මේ. සාමාන්‍ය ගමනට වගේම කාර්යබහුල ජීවිතයේ සුවපහසුවටත් ගැලපෙන නිසා අපේ ගෑණු ළමයින්ගේ පාවහන් එකතුවෙ අනිවාර්ය විලාසිතාවක් තමා මේ.
- Canvas Shoes
මේ දිනවල තවත් ජනප්රියම විලාසිතාවක් මේ… ෆ්ලැට් පාවහන් වලට වඩා ක්‍රීඩාශීලී පෙනුමක් (Sporty Look) ලැබෙන විලාසිතාවක්. හරිම සුවපහසුයි. ඩෙනිම්, ටී ශර්ට් ඇඳලා සැහැල්ලුවෙන් යන ගමනට කියාපු විලාසිතාවක් තමයි මේ.
- Boots
බූට්ස් කියන්නෙත් අපේ රටේ ගෑණු ළමයි වැඩිපුරම කැමති පාවහන් විලාසිතාවක්. නමුත් හරිම අඩුවෙන් තමා අපේ අයට මේ විලාසිතාව පළඳින්න ලැබෙන්නේ. සීත දේශගුණයක් තියෙන රටවල තමා මේ විලාසිතාව වැඩියෙන්ම ජනප්‍රිය. අපිටත් මේ පාවහන් පළඳින්න හැකියාව ලැබෙන අවස්ථා අපේ අක්කලා නංගිලා මග හරින්නෙ නෑනෙ…
- Flip Flops
මේ නම් අපි කවුරුත් ආසාවෙන් පළඳින විලාසිතාවක් .එක එක පාටින් ,විවිධ මෝස්තර එක්ක එන රබර් නිෂ්පාදනයක් තමා මේ. වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වගේම හරිම සරළ සාමාන්‍ය විලාසිතාවක් මේ.
- Loafers
සාමාන්‍ය ගමනට කදිම විලාසිතාවක් වගේම රැකියාවට කඩිමුඩියෙ දුවන අපේ කාන්තා පක්ෂය අතර ජනප්‍රියම පාවහන් විලාසිතාවක් මේ. දවසම එහෙ මෙහෙ දුවන්න වෙන නිසා කකුලට අවශ්‍ය සුවපහසු බව එක්කම රාජකාරි පෙනුමට කදිමට ගැලපෙන සුන්දර විලාසිතාවක්.
- Mules Shoes
Mules කියන්නෙ පිටුපස කොටස විවෘත සහ ඉදිරිපසින් ආවරණය වී සැකසුණ සපත්තු විලාසිතාවක්.
- Trainers
අන් සියලු පාවහන් විලාසිතාවන්ට වඩා ආරක්ෂාකාරී වගේම හිතකර විලාසිතාවක් තමා මේ. ක්‍රීඩාශීලී අපේ කාන්තා පක්ෂය වඩාත් ඇලුම් කරන සුවපහසු පාවහන් වර්ගයක්. ඔබේ පාදයට ගැලපෙනම ලෙස තෝරා ගැනීමෙන් උකුළට, දණහිසට වගේම දෙපාවලටත් ආරක්ෂාවක් සලසන පාවහන් විලාසිතාවක් තමා මේ.
- Court Shoes
මේ පාවහන් විලාසිතාවත් අපේ තරුණියන් අතර හරිම ප්‍රසිද්ධ විලාසිතාවක්. මංගල උත්සව, ව්‍යාපාරික අවස්ථා වගේ අවස්ථාවල ඔබේ පෙනුමට වැඩි ආඩම්බරයක් එක්කරන විලාසිතාවක් තමා මේ.
- Brogues
මේ විලාසිතාව පිරිමි අයට විතරයි කියලා හිතන් හිටියාට ඔන්න දැන් අපේ කාන්තා පක්ෂය අතරත් ජනප්‍රිය විලාසිතාවක් තමා Brogues කියන්නෙ…
- Gladiator Sandals
ඉදිරිපස පහළට වෙලුමක් සහිත පාවහන් විලාසිතාවක්. විනෝද චාරිකාවක් වගේ බොහෝම සහැල්ලු ගමනකට කියාපු විලාසිතාවක්.
2. එක එක අවස්ථා වලට ගැලපෙන පාවහන් තෝරාගන්නෙ කොහොමද?
ඔන්න ගමනක් යන්න ගියාම අපේ කාන්තාවන්ට කොච්චර පාවහන් තිබුනත් මේ අවස්ථාවට ගැලපෙන්නෙ මොන පාවහන් යුගලද කියලා හිතාගන්න බැරිව යන අවස්ථා ඕන තරම් තියෙනවනෙ.
- තද සීත දේශගුණයක් තියෙන වෙලාවක් නම් ඔබ පැළඳිය යුත්තේ සීතලෙන් ආරක්ෂා විය හැකි පාවහන් යුගලක්. මේස් පළඳින පාවහන් වුනත් වරදක් නෑ. ඇතුළත ලොම් ආවරණයක් සහිත පාවහන් වඩාත් කදිමයි.
- දැඩි හිරු රශ්මියක් සහිත වියළි කාලගුණයකදි ඔබ පළඳින්න තෝරාගන්න ඕන වන්නේ සැන්ඩ්ල්ස් වගේ පාවහන් විලාසිතාවක්. මේස් පළඳින විලාසිතා නම් ගැලපෙන්නෙ නැති තරම්.
- වැසිබර කාලගුණයක් තියෙන දවස්වල නම් ඔබ තෝරාගන්න ඕන ලිස්සා යන්නෙ නැති හොඳ අඩියක් සහිත, ඒ වගේම ඔබේ පාද තුළට සපත්තුව හරහා ජලය කාන්දු නොවන විදිහෙ පාවහන්.
- අපේ රට ඉතින් ගොඩක් වෙලාවට උණුසුම් නිසා බූට්ස් වගේ සපත්තු නම් උණුසුම් දේශගුණයෙදි පළඳින්න ගැලපෙන්නෙ නැහැ.
- රාජකාරියට යන විටනම් Strapped හීල්ස් හෝ වඩාත් සැහැල්ලු පාවහන් පැළඳීම ඔබේ රාජකාරි පෙනුමටනම් ගැලපෙන්නෙ නෑ. පාද ඉදිරියෙන් වැසී ගිය සාමාන්‍ය අඩි උසක් සහිත පාවහන් තමා ඔබට වඩාත් ගැලපෙන්නෙ.
- ඒ වගේමයි සාදයකට මංගල්‍යයකට වාගෙ සහභාගි වෙන වෙලාවට පළඳින්න ඕන ටිකක් හැඩදැමූ, නිතර දෙවේලෙ අපි නොදාන පාවහන් විලාසිතාවක්. දිදුලන ගල් අල්ලා හැඩකරපු, එහෙම නැත්තම් විවිධ හැඩ දැමූ විලාසිතා දැන් ඕනතරම්නෙ. සාදය පවත්වන හේතුව සහ සහභාගිවෙන පිරිස අනුව මේ විලාසිතාවෙ උස් පහත් බව නම් අනිවාර්යයෙන් සලකලා බලන්න ඕන යන්න කලින්ම.
3. කොහොමද ඔබේ පාදයේ හැඩය හරියටම අඳුනගන්නෙ?
මේක දැනගන්න හොඳම විදිහ තමා ඔබේ පාද වතුරෙන් තෙමාගෙන ටිෂූ කඩදාසියක් මත කෙළින් සිටගැනීම. කඩදාසිය මත ඇඳෙන ඔබේ පා සටහන හැඩය අනුව කොටස් තුනකට බෙදන්න පුලුවන්.
- මධ්‍යස්ථ පාදය
ඔබේ සටහනෙහි ඇඳී ඇත්තේ පළමු රූපය නම්, ඔබට ඇත්තේ මධ්‍යස්ථ පාදයක්. ශරීරයෙහි බර එක සමානව බෙදී යන නිසා මෙවන් පාද සහිත අයටනම් විශාල ගැටලුවක් නැහැ. මෙවන් අයට නම් පාවහන් තෝරාගන්න එක හරි පහසුයි. ඉතා දැඩි නොවන මෙන්ම මෘදු නොවන පාවහන් තමා මේ අයට ගැලපෙන්නෙ.
- පැතලි පාදය
ඔබේ තෙත කඩදාසිය මත ඇඳී ඇත්තේ දෙවැනියට ඇති රූප සටහන නම්, ඔබට ඇත්තේ පැතලි පාදයක්. මෙය ඉහළ ආරුක්කු හැඩයේ ප්‍රතිවිරුද්ධ බවයි. මෙවන් පාද සහිත ඔබ පාවහන් තෝරාගැනීමේදී පාදයෙහි චලනයන් පාලනයට සමත්, ඉතා තද, දැඩි පාවහන් තෝරාගැනීම තමා වඩාත් සුදුසු වන්නෙ.
- ඉහළ ආරුක්කු හැඩය
ඔබගේ ටිෂූ කඩදාසියේ ඇඳුනේ තුන්වන රූපයේ ආකාරයේ සටහනක් නම් ඔබට ඇත්තේ ඉහළ ආරුක්කු හැඩයේ පාදයක්. මෙවන් පාද සහිත පුද්ගලයන් තම පාදවලින් පිටත ඔවුන්ගේ බර වැඩිපුර තබන ආකාරයෙන් නැගී සිටියි. ඔබට තියෙන්නෙ මේ හැඩයෙ පාදයක් නම්, අනෙක් පාද වගේ නෙමෙයි, මේ පාද අනතුරුවලට ලක්වෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩියි. ඒ වගේම වැඩි බරක් පිටතට යෙදෙන නිසා නිවැරදි පාවහන් නොපැළඳුවොත් ඔබට ඇතිවෙන අතුරු ආබාධත් වැඩියි. මේ හැඩයේ පාද ඇත්තෙක්නම් ඔබ තෝරාගත යුත්තේ ඉතාම සුවපහසු පාවහන්. විශේෂයෙන්ම ඔබේ කකුලේ හැඩය නිවැරදි කරගැනීමට හැකි පාවහන් තෝරාගන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. මැදට කුෂන් යොදා නිපදවූ පාවහන් මීට හොඳ විසඳුමක්.
4. ඔබේ පාදයේ හැඩය අනුව කොහොමද පාවහන් තෝරාගන්නෙ?
- ඔබ කෙටි පාද සහිත තරුණියක් නම්, අඩි උස පාවහන් තෝරාගැනීමේදි වළලුකර වැසෙන පටි ආවරණ (Strapped) සහිත අඩි උස පාවහන් තෝරාගැනීමෙන් වළකින එක තමා හොඳ. Strapped Shoes මගින් කකුල බෙදී පෙනෙන විට ඔබේ උස තවත් අඩුකර තමා පෙනෙන්නෙ.
- තවත් කරුණක් තමයි ඔබ කෙටි කකුල් වල හිමිකාරියක් නම් අඟල් හතරට වඩා වැඩි උසකින් යුතු අඩි උස පාවහන් තෝරාගැනීමෙන් වළකින එක තමා හොඳ. කෙටි පාද සහිත ඔබ අධික උසක් සහිත පාවහන් පැළඳීම මාංශ පේශි මෙන්ම වකුගඩු වලටත් හිතකර නම් නෑ.
- ඔබ විශාල පාද සහිත නම්, රවුම් හැඩැති හෝ හතරැස් කොටුවලින් යුතු පාවහන් තෝරාගන්න. ඔබේ පාදවල පෙනුම වඩාත් විශාල කර පෙන්වන Tapered හෝ Pointy Heels තෝරාගැනීමෙන් වළකින්න.
5. අපි අඳින ඇඳුමට ගැලපෙන්න කොහොමද පාවහන් තෝරාගන්නෙ?
- පාට ගැන අවධානය යොමුකරන්න.
- ඔබේ ඇඳුම් සමඟ තරඟ කරන වර්ණ වෙනුවට ඔබේ ඇඳුම් වලට ගැලපෙන සපත්තු වර්ණ තෝරන්න.
- දීප්තිමත්, තද පැහැති රටාවක් සහිත ඇඳුමක් අඳින විට Flat Shoes හෝ කළු පාට හීල්ස් පළඳින්න.
- හවස් වරුවක ගමනකට උචිත ඇඳුමක් නම් වඩාත් සුදුසු Flat Shoes හෝ මද උසක් සහිත පාවහන් පැළඳීම තමයි.
- ඔබේ ඇඳුම තනි පාට සරළ ඇඳුමක් නම් තද පාටින් යුතු පාවහන් යුගලක් පැළඳීමෙන් වඩාත් කැපී පෙනෙන සුන්දරත්වයක් ලබාගන්න පුලුවන්.
- කලු හෝ දුඹුරු ඇඳුමක් අඳිනවානම් එයට කදිමට ගැලපෙන්නෙ දීප්තිමත් රතු පැහැ පාවහන් යුගලක්.
- ඔබ සරල බ්ලවුස් සහ සරළ කලිසම් හෝ ජීන්ස් අඳිනවානම්, කිඹුල් සම මෙන් මෝස්තරයක් සහිත සැහැල්ලු සපත්තු කදිමයි. ඒ විලාසිතාවත් හරි අපූරුයි.
- ඔබ අඳින්නෙ වර්ණ කිහිපයකින් යුතු ඇඳුමක් නම් එහි ප්‍රධාන වර්ණයෙන් පාවහන් තෝරාගෙන බලන්න. අපි හිතමු රෝස පාට හා දම් පාට ඇඳුමක් කියලා, එයට තද දම් පාටින් පාවහන් පැළඳුවොත් අපූරුවට තියේවි.
- තවත් කරුණක් තමා ඔබ අඳින්න යන්නෙ එකම වර්ණයෙන් යුතු ඇඳුමක් නම්, එම වර්ණයෙන්ම පාවහන් තෝරාගැනීමෙන් වළකින්න. අපි හිතමු නිල් බ්ලවුසයක් හා නිල් සායක් කියා, එවිට නිල් පාවහන් පැළඳීමෙන් වළකින්න.
- වෘත්තීය ජීවිතයෙදි පාවහන් පළඳිනකොට සම්මත වර්ණ ගැන අවධානය දෙන්න. සාමාන්‍යයෙන් කලු හා දුඹුරු තමා පළඳින වර්ණ. කලු සම් සපත්තු හා දුඹුරු සම් සපත්තු කියාපු විලාසිතා. අලු පාට හා අඳුරු රතු පාටත් කාර්යාලයට පළඳින්න හැකි පාවහන් වර්ණයන්.
6. පාවහන් නිසා ඔබේ පාදයට එන කරදර මොනවද?
- Bunions (කරගැට)– කරගැට කියන්නෙ පාවහන් නිසා කාන්තාවෝ හැමෝම වගේ අත්විඳින වේදනාවක්. සමහර කරගැට පෙනෙන්නෙ හරියට අස්ථියක් වර්ධනය වෙලා වගෙයි.
- Hammer Toe කියන්නෙ දෙවන, තෙවන, සිව්වන හෝ පස්වන (කුඩා) ඇඟිලිවලින් එකක හෝ දෙකක සිදුවෙන විකලාංගතාවයක්. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය මෘදු ලෙස ආරම්භ වන අතර, කාලයත් සමඟ නරක අතට හැරේ. නොගැලපෙන සපත්තු.
- Pump Bump – විලුඹ පිටුපසින් ඇතිවෙන ගැටිත්ත හෝ ඉදිමුමයි. අඩි උස පාවහන් පැළඳීම නිසාවෙන් ඇතිවෙන පීඩනය හා පාදයේ වැරදි ඉරියව් නිසා මෙම තත්ත්වය හටගනී.
7. පාවහන් නිසා ඔබේ පාදයට එන කරදර වලට ගතහැකි පිළියම්
- කරගැට වලට විසඳුමක් විදිහට අපිට ඝර්ෂණය වළක්වා ගැනීම සඳහා කරගැට ප්‍රදේශයට Bunion Pads භාවිතා කරන්න පුලුවන්.
Bunion Pads කියන්නෙ Gel Pad එකක්ද සහිත ඉලාස්ටික් පැළඳුමක්. මෙම නිෂ්පාදනය සෝදා පිරිසිදු කළ හැකි සහ නැවත භාවිතා කළ හැකි එකකි.
- නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කොටන්න තියාගන්න එපා කියනවනෙ. ඉදිරියෙන් ඇඟිළි එකට තදවෙලා එකතුවෙන පාවහන් පැළඳීමෙන් වැළකිලා, ඒ වගේම තමන්ගෙ පමණට වඩා හිර පාවහන් පළඳින්නෙ නැතුව මේ තත්ත්ව මග හැරගන්න එක තමා හොඳම දේ.
- අඩි උස පාවහන් පැළඳීමට අවශ්‍යම නම්, තරමක් අඩු උසකින් යුතු අඩි උස පාවහන් පැළඳීම මගිනුත් මේ ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගන්න පුලුවන්.
ඉතින් ඔන්න කාන්තා ලෝකේ විලාසිතා අතර ඉහළම තැනක රැඳෙන පාවහන් විලාසිතාවන් ගැන විස්තර ගොඩක් අපි කතා කළා. කියවලා බලලා ඔයාලගෙ අදහසුත් අපිට කියන්නකො එහෙනම්…
Cover Image Source – ladiesfashionuk.blogspot.com
Leave a Reply