කොවිඩ්-19 වලින් පස්සේ එන්න පුළුවන් ආර්ථික අර්බුදයට ඔබ සූදානම්ද? නැතිනම්, වහාම මේ උපදෙස් කියවන්න.

කොවිඩ්-19 කියන්නේ ඇත්තටම ලෝකෙට අලුත් දෙයක්. ලෝකේ ජීවත් වෙන බහුතරයක් අපි කවදාවත් හිතුවෙ නෑ, අපේ ජීවිත කාලේ ඇතුළතදී මේ වගේ ලෝක ව්‍යාප්ත වසංගතයකට මුහුණ පාන්න වෙයි කියලා. කොහොම හරි තාමත් සටන ඉවර නෑ. අද හෙට ඉවර වෙයි කියලා ෂුවර් කරන්නත් බෑ. හරි, කොවිඩ්-19 කියන්නේ අපි පරාද වෙන සටනක් නෙවෙයි. ඕකට වැක්සින් එකක් හරි මොකක් හරි සාර්ථකව හොයාගත්තට පස්සේ, කවුරුවත් කොවිඩ්-19 ගණන් ගන්න එකකුත් නෑ. හැබැයි ප්‍රශ්නේ එතනින් අවසානයිද?

 

නෑ. ඇයි කොවිඩ්-19 නිසා ආර්ථිකයට දැනටමත් වෙලා තියෙන සහ ඉස්සරහට වෙන්න තියෙන බලපෑම? ඒක හරි නම් දැනටමත් දැනෙන්න ඕන. මිනිස්සුන්ට රස්සා නැතිවෙලා තියෙනවා. වැටුප් කප්පාදු ඇවිත් තියෙනවා. බිස්නස් වැටිලා තියෙනවා. සමහරුන්‍ට තාම අවුලක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි කොවිඩ්-19 එක්ක එන ආර්ථික අර්බුදය අපි ඕනම කෙනෙක්ට ඕනම මොහොතක දරුණුවට බලපාන්න පුළුවන්. ආන්න ඒ නිසා, සූදානම් ශරීරෙන් ඉන්න එකයි නුවණට හුරු. අපි මේ කියන්න යන්නේ, ආන්න ඒකට වැදගත් වෙන උපදෙස් කීපයක් ගැන.

 

1. අනවශ්‍ය වියදම්

මේක ඇත්තටම අමුතුවෙන් කියන්න ඕන දේකුත් නෙවෙයි. විශේෂයෙන්ම මේ කාලෙදී අනවශ්‍ය වියදම් බොහොම භයානකයි. ඇත්තටම මොනවද අනවශ්‍ය වියදම්? දැන් අපේ අතේ හොඳට වැඩ කරන, තව අවුරුද්දක් දෙකක් දුවන්න පුළුවන් ෆෝන් එකක් අතේ තියෙනවා නං, අලුතෙන්ම ආපු ස්මාට්ෆෝන් එක ගන්න දඟලන්න ඕන නෑ. සමහර වෙලාවට ෆෝන් එකක් ගන්නම කියලා එකතු කරපු සල්ලි තියෙන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නෙවෙයි නං ෆෝන් එකක් ගන්න යන්න එපා කියලයි අපි කියන්නේ.

අපිට අලුතෙන් දෙයක් ගන්න එකේ ආතල් එකක් තියෙනවනේ. විශේෂයෙන්ම ලාන්තරස් වෙලා ඉන්න කාලෙකදී වුණත් අපිට එක එක දේවල් ගන්න හිතෙනවා. හේතුව, එහෙම පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමෙන් ලැබෙන සතුට. හැබැයි මේ වෙලාවේ ඒ වලට වැටෙන්න නරකයි.

තුන්වෙනුව, අපි එදිනෙදා වුනත් නොදැනුවත්වම අනවශ්‍ය වියදම් සිද්ධ කරනවා. එක උදාහරණයක් තමයි පැනික් බයින්. ඒ කිව්වේ, ඇඳිරි නීතිය දානවා කියපු ගමන් දුවලා ගිහින් මාසෙකට විතර බඩු ගොඩගහගන්න එක. මේකේ ගැටළුව මේකයි. එහෙම ගන්න බඩු ඔක්කොම කළමනාකරණයක් ඇතුව භාවිතා නොවෙන්න තියෙන ඉඩ වැඩියි. කල් ඉකුත් වීම නිසා එහෙම සමහර ගත්ත ඒවා අපතේ යන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒවත් මේ අනවශ්‍ය වියදම් වලට යනවා.

 

2. ලාබායි ඒවට අහු නොවෙමු

අවශ්‍ය දෙයක් වුනත්, අත්‍යාවශ්‍ය නෙවෙයි නම්, මේ කාලේ මිලදී ගැනීම ගැන ටිකක් හිතන්න වෙනවා. විශේෂයෙන්ම ඔය ගජ වාසියි කියලා ඇඩ්ස් දාන ඒවලට එහෙම අහු නොවෙන එක හොඳයි. අපි මේක පැහැදිළි කරගමු. තාමත් වෙනදා වගේ නිදහසේ පිටරටින් බඩු ගෙන්නන්නේ නැහැනේ. අන්න එතකොට අපි වාසියි කියලා හිතාගෙන ගන්න යම් කිසි භාණ්ඩයක්, පොඩ්ඩක් සාමාන්‍ය විදියට බඩු එන කාලේ වෙනකල් හිටියොත් ඇත්තටම තව ගණන් අඩු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අන්න ඒ නිසා, අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි නම් ඔය කන්සියුමර් අයිටම්ස් එහෙම ගන්න පොඩ්ඩක් ඉවසලා ඉන්න එක හොඳයි. අත්‍යාවශ්‍ය දෙයක් වුනත්, ගන්න කලින් තැන් කීපෙකින් මිල ගණන් සසඳලා, නියම ඒජන්ට් වොරන්ටි එහෙම තියෙනවද කියලා බලලා ගන්න එක ආර්ථිකේට හොඳයි.

 

3. ඕන ජොබ් එකක්!

සාමාන්‍යයෙන් ඔය ලංකාවේ තියෙනවනේ ලොකු ජොබ් පොඩි ජොබ් භේදයක්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ලොකු ආයතනයක කරන රස්සාවක්, කාර්යාලයක කරන රස්සාවක් වඩු කර්මාන්තයට හෝ වෙළඳාමට වඩා ඉහළයි වගේ අදහසක්. ආන්න ඒක දැන් වෙනස් වෙන්න කාලෙ හරි. අපි දකිනවා කොවිඩ්-19 නිසාම සමහර ඔෆිස් යන අයත් ෆ්‍රී ටයිම් එකේ කාර් එකේ තියාගෙන පොඩි පොඩි බිස්නස් කරනවා. ඇත්තටම මේක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි. සතුටු වෙන්න ඕන දෙයක්. ආන්න ඒ නිසා, කොවිඩ්-19 එක්ක එන ආර්ථික අවපාතයට මුහුණ දෙන්න නම් මේ ලොකු පොඩි රස්සා ගැන හිතේ තියෙන ආකල්පය අත ඇර ගන්න වෙනවා. 

 

4. ඇඩැප්ට් ටු ටෙක් 

ඇත්තටම මේ කොවිඩ්-19 වසංගතයත් එක්ක අපිට මූලිකවම තේරුම් ගන්න සිද්ධ වුනා අද කාලේ තියෙන තාක්ෂණය කොයි තරම් වටිනවද කියන එක. සමාජ දුරස්ථභාවය ප්‍රැක්ටිස් කරන කොට, අපිට තාක්ෂණය හරහා තත්‍යාසන්නව ලං වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ නිසාම වර්කින් ෆ්‍රොම් හෝම්, එඩියුකේෂන් ෆ්‍රොම් හෝම් වගේ දේවල් අවුලක් නැතුව කරගන්න පුළුවන්. මෙන්න මේ ටෙක්නොලොජි එකට අනුගත වෙන එකත් ඇත්තටම ආර්ථිකය බැලන්ස් එකේ තියාගන්න උදවු වෙනවා. එකක් තමන්ගේ ජොබ් එක සහ/හෝ අධ්‍යාපනය බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් වීම. ඒ වගේම කොවිඩ්-19 එක්ක අලුත් ආදායම් මාර්ග වලට ප්‍රවේශ වෙන්න සහ ඒවා පවත්වා ගෙන යන්නත් මේ ටෙක් කියන එක අවශ්‍යයි. 

 

5. ස්කිල් සෙට්ස්!

ඇයි ආර්ථිකේ ගැන කතා කරනකොට ස්කිල් සෙට් ගැන කතා කරන්නේ? හේතුව සරලයි. ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න ලෑස්ති වෙනකොට අපිට පිළිගන්න වෙනවා, අපේ ජොබ් එකක් වුනත් නැතිවෙන්න තියෙන හැකියාව. අන්න ඒකට මුහුණ දෙන්නත් සූදානම් වෙන්න වෙනවා. හැබැයි අපිට යම් කිසි කුසලතා සමුදායක් තියෙනවා නම්, අපිට එක රස්සාවක් නැති වුනත් තව රස්සාවකට යන්න හෝ, ඒ කුසලතා වලට අදාළව තමන්ගේම වැඩක් පටන් ගන්න හෝ ලේසියි. හැබැයි මේ කුසලතා ප්‍රයෝජනවත් වෙන දේවල් වෙන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, වඩු කර්මාන්තය, ඇඳුම් මැසීම, කේක් හැදීම වගේ දේවල් ඉගෙන ගැනීම සහ ප්‍රගුණ කිරීම අපතේ යන එකක් නෑ.

 

6. බැක්-අප් ප්ලෑන්

අපි කලින් කතා කලා අර ලොකු පොඩි ජොබ් භේදයෙන් ඉවත් වෙන්න වෙනවා කියලා, මේ අලුත් අනාගතයට මුහුණ දෙන්න වුවමනා නම්. මේ කියන්නේ තියෙන ජොබ් එක නැතිවුණොත් තමන් පොඩියි කියලා සලකන ජොබ් එකකට යන්න හරි හිත හදාගන්න කියන එකම නෙවෙයි. ඒක වෙන්න පුළුවන් අප්සට්ම දේනේ. හැබැයි ඊට කලින් හිතුවද බැක්-අප් ආදායම් මාර්ගයක් හොයාගැනීම ගැන? ඒ කියන්නේ, තමන් කරන ජොබ් එකට අමතරව තව ආදායමක් එන සීන් එකක් තියාගන්න එක ගැන. ඒකට ඔය නිවාඩු දවසට හයර් දුවන එකේ ඉඳලා, තමන්ගේ පොඩි බිස්නස් එකක් පටන් ගැනීම දක්වා දේවල් හොඳයි. විශේෂයෙන්ම උඩින් කියලා තියෙන විදියේ කුසලතාවයන් එකතු කරගත්තොත්, ඒ කුසලතාවයන් ඒකට පාවිච්චි කරන්නත් පුළුවන්. 

 

7. ණය කළමනාකරණය

ණය කියන එක සාමාන්‍යයෙන් පහළ පංතියේ ඉඳලා මධ්‍යම පංතිය සහ ඉහළ පංතිය කියන හැම තැනකම අද වෙනකොට සාමාන්‍යකරණය වෙලා තියෙන දෙයක්. හැබැයි එකක්, ඔය පහළින් තියෙන පංති දෙක තමයි හැමදාම ණය බැලන්ස් කරගන්න අරගල කරන්නේ. අන්න ඒ නිසා මේ කොවිඩ්-19 අර්බුද කාලේ ඒ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න වෙනවා. ඒ කියන්නේ ණය සහන ලැබෙනවා නම්, ඒවා ගැන හරි හැටි දැනුවත් වීම සහ ඒ ණය සහන දීර්ඝකාලීනව සහනයක් නෙවෙයි නම්, කොහොම හරි ගෙවා ගෙන යන්න ට්‍රයි කිරීම. උදාහරණ විදියට ගත්තොත්, මාස දෙකක ණය සහනෙට වැඩිපුර පොලියක් තුන්වෙනි මාසෙදී ගෙවන්න වෙනවා නම් සහ මාස දෙකේ ණය වාරික ගෙවන එක ලොකු අවුලක් නෙවෙයි නම්, කරන්න ඕන නිකං දෙන හින්දා කියලා ණය සහනේ ගන්න එක නෙවෙයි, ඒක යන විදියටම ගෙවලා දාන එක. ඒ ඇරෙන්න සමහර වෙලාවට කොවිඩ්-19 එක්ක අඩු පොලී ණය දෙන කතන්දරත් එනවා. අන්න එතකොට ඕන නම් ඒ වගේ ණයක් අරගෙන තමන්ගේ හිරවෙලා තියෙන ණය ඉවරයක් කරන්න පුළුවන්.

 

8. විස්කි බිස්නස්!

නෑ මේ කියන්නේ රිස්කි බිස්නස් ගැන. ඒ කියන්නේ අවදානම් සහගත ආයෝජන සහ ව්‍යාපාර ගැන. සරලවම කිවුවොත්, උඩින් ප්ලෑන් බී එකක් තියාගන්න, අමතර ආදායම් මාර්ග හොයන්න කිව්වට, පැනපු ගමන් ලේසි බිස්නස් කරන්න ගිහින් හරියන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අලුතින් කඩයක් දාන්න වගේ අයිඩියාස් මේ කර්ෆිස් කාලේ කොට උඩ යන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා, බොහොම කල්පනාවෙන් හිතලා, මේ සමාජ දුරස්ථභාවය, ඇඳිරි නීතිය අනං මනං වලට ඔරොත්තු දෙන, ඒවැයින් හානියක් නොවෙන බිස්නස් අයිඩියා එකකට යන එකයි හොඳ.

ඒ වගේම තමයි අවදානම් ආයෝජන. මේ වෙලාවේ ඇත්තටම වංචාකාරයොත් වැහිවැහැලා. ඉතින් උන්ට අහු නොවී ඉන්න එක තමන්ගේ වැඩක්. 

 

9. වියදම් ප්ලෑන්

අන්තිමට කිවුවොත්, උඩින් කියපු හැම දෙයක්ම එක්ක, මෙච්චර කාලයක් ලොකු ප්ලෑන් එකක් නැතුව එන එන විදියට වියදම් කළා නම්, වහාම ඒක නවත්තන්න. ආදායම් සහ වියදම් මනා සැලසුමක් හදාගන්න. ඒ ඔස්සේ අනවශ්‍යව වැය වෙන රුපියල හරි ඉතුරු කරගන්න. මොකද, ඉස්සරහට එන්නේ සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව වියදම් කරන්න බැරි කාලයක්. අන්න එතකොට තමයි ඉතුරුවේ වටිනාකම තේරෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *