දෙමළ ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම වර්ග ටිකකට රෙසිපි මෙන්​න

අපි ඉතින් හැම විදියකම කෑම කන්න කැමති අයනෙ. අද මේ අරන් ආවෙ අපේ සහෝදර දෙමළ ජනතාව අතර ප්‍රසිද්ධ එයාලගෙ කෑම වර්ග ටිකක්. ඉඳල හිටල වෙනසකට මේ දේවලුත් හදල බලන්න හොඳේ. 

 

1. ගුලාබ් ජමුන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

සිරප් එකට

 

  1. සීනි ග්‍රෑම් 100
  2. රෝසවතුර තේ හැඳි 1
  3. දෙහි යුෂ තේ හැඳි 1

 

ගුලාබ් ජමුන් බෝල සඳහා

 

  1. කිරිපිටි ග්‍රෑම් 40
  2. පාන්පිටි මේස හැඳි 1 1/2
  3. රුලං ග්‍රෑම්20
  4. බේකින් සෝඩා මේස හැඳි 1
  5. කිරි කෝප්ප 1/2
  6. මෙල්ටඩ් බටර් මේස හැඳි 1
  7. දෙහි යුෂ ටිකක්
  8. සීනි මේස හැඳි 1

 

 

  • මුලින්ම සිරප් එක හදාගන්න සීනි වලට වතුර කෝප්ප 1/2ක් එකතු කරලා ලිපේ තියන්න. සීනි දියවෙලා බුබුළු දානකොට ගින්දර අඩු කරලා රෝස වතුර දාගන්න. ලිප නිවලා දෙහි යුෂ ටික එකතු කරන්න.
  • භාජනයක් අරගෙන කිරිපිටි, පාන්පිටි, රුලං, බේකින් සෝඩා, බටර් හා සීනි දාලා හොඳට කලවම් කරගන්න. 
  • මේ ඔක්කොම හොඳට අනාගන්න ගමන් දෙහි යුෂ හා කිරි ටික ටික දාන්න. මේ විදියට ඝනකම් මිශ්‍රණයක් හදාගෙන ඒකෙන් පොඩි බෝල හදාගන්න.
  • මේ බෝල ගැඹුරු තෙලේ බැද සීනි සිරප් එකේ දාලා පැය දෙකකින් විතර පිළිගන්වන්න.

 

2. පුලියානම් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොත්තමල්ලි මේස හැඳි 2
  2. ගම්මිරිස් ඇට මේස හැඳි 1
  3. සූදුරු
  4. කළුදුරු
  5. කරපිංචා
  6. රතුළූණු ගෙඩි 3ක්
  7. සුදුළූණු බික් 3ක්
  8. ඉඟුරු තේ හැඳි 1
  9. සියඹලා ඉස්ම ටිකක්
  10. උළුහාල් තේ හැඳි 1/2
  11. අබ තේ හැඳි 1
  12. දියකිරි කෝප්ප 1

 

  • කොත්තමල්ලි ටික කබලෙ බැදගන්න. ගම්මිරිස්, කරපිංචා, සූදුරු හා කළුදුරු ද කබලෙ බැද කුඩු කරගන්න.
  • රතුළූණු හා සුදුළූණු වංගෙඩියට දාලා කොටාගන්න. මේ ඔක්කොම මැටි හට්ටියකට එකතු කරලා සියඹලා ඉස්ම මේස හැඳි 2ක් පමණ එකතු කරන්න.
  • පෑන් එකකට තෙල් දාලා රත්වෙනකොට උළුහාල් හා අබ තෙම්පරාදු කරගන්න. මේක ඉහත මිශ්‍රණයට එකතු කරන්න. දැන් ඒක ලිපේ තියලා දියකිරි ටික එකතු කරලා හොඳට හැඳි ගාගන්න.

 

3. වෙන්ඩක්කයි කරා කුලම්බු (බණ්ඩක්කා)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බණ්ඩක්කා කරල් 10ක් විතර 
  2. චොප් කරගත්ත තක්කලි පොඩි ගෙඩියක්
  3. කපාගත්ත ළූණු, අමුමිරිස්, සුදුළූණු
  4. කරපිංචා
  5. සූදුරු තේ හැඳි 1/4
  6. උළුහාල් තේ හැඳි 1/4
  7. අබ ඇට තේ හැඳි 1/4
  8. තල තෙල් තේ හැඳි 1/2
  9. සියඹලා ඇට තුනක විතර ඉස්ම උකුවට
  10. සීනි තේ හැඳි 1/2 (පුරවල)
  11. අමුපහේ තේ හැඳි 1/2ක් (පුරවල)
  12. මිරිස්කුඩු තේ හැඳි 1/2ක් (පුරවල)
  13. ලුණු
  14. මිටිකිරි කප් 1/4ක් විතර

 

  • බණ්ඩක්කා ටික පොඩියට කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. කළු වෙනකම්ම බදින්නත් එපා යන්තම් කොළපාට හිටින්න ගන්න.
  • පොල් තෙල් ටිකකට තල තෙල් කලවම් කරල රත්වෙන්න තියන්න. ඒකට අබ, සූදුරු, උළුහාල් දාගෙන බැදීගෙන එනකොටම බණ්ඩක්කා, මිටිකිරි හැර අනිත් ද්‍රව්‍ය ටික දාගන්න.
  • හොඳට කලවම් කර කර තෙම්පරාදු වෙනකොට පෙනෙයි ළූණු පහේ වලින් තෙල් වෙන් වෙලා එනව. එතකොටම පොල්කිරි එකතු කරගන්න. 
  • කිරි උතුරනකොට බණ්ඩක්ක ටික දාල කලවම් කරල අඩු ගින්දරේ හින්දගන්න.

 

4. අල බෝන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි ග්‍රෑම්  100
  2. උඳුපිටි ග්‍රෑම් 100
  3. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  4. අල ග්‍රෑම් 500
  5. ළූණු ගෙඩියක්
  6. අමුමිරිස් කරල් දෙකක්
  7. කරපිංචා 
  8. මිරිස්කුඩු තේ හැඳි 2
  9. කහකුඩු තේ හැඳි 1/2
  10. ගරම් මසාලා තේ හැඳි 1/2
  11. අබ තේ හැඳි 2ක්
  12. සුදුළූණු බික් 3-4

 

 

  • අල ටික තම්බා ගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු, සුදුළූණු, අබ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. මිරිස්කුඩු, කහකුඩු, ගරම් මසාලා, ලුණු අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා ෆිලින් එක හදාගන්න.
  • දැන් අල පොඩි කරලා මේකට එකතු කරන්න.
  • බැටර් එක හදාගන්න හාල්පිටි හා උඳු පිටි වලට මිරිස්කුඩු, කහකුඩු, බේකින් පව්ඩර් හා ලුණු දාලා වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න.
  • අල කරි එකෙන් බෝල හදලා මේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

 

5. තක්කඩි/තග්ගිලි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 200
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. එළවළු කිහිපයක් (කැරට්, බෝංචි, වට්ටක්කා, අල, ගෝවා, දඹල)
  4. පරිප්පු මිටක් 
  5. ලියාගත් බී ළූණු ගෙඩියක්
  6. ලියාගත් සුදුළූණු බික් 4-5
  7. අමුමිරිස් කරල් කිහිපයක් 
  8. පොල්කිරි (දියකිරි හා මිටිකිරි වෙනම කෝප්ප 1 බැගින්) 
  9. ලුණු
  10. කරපිංචා /රම්පෙ
  11. මිරිස්කුඩු තේ හැඳි 1/2
  12. තුනපහකුඩු තේ හැඳි 1/2

 

  • පාන්පිටි වලට ගාගත් පොල් හා ලුණු කලවම් කරලා වතුර ටික ටික දාලා රොටී පදමට ගෙන පොඩි බෝල හදාගන්න.
  • එළවළු ටික පොඩියට කපාගන්න. භාජනයකට පරිප්පු, එළවළු, ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, මිරිස්කුඩු, තුනපහ කුඩු දාලා දියකිරෙන් ලිපේ තියන්න.
  • ලුණු රස අනුව දාගන්න. මේක උතුරගෙන එනකොට හදාගත්ත බෝල ටික දාලා තැම්බෙන්න දෙන්න. බෝල ටික හොඳටම තැම්බුනාම මිටිකිරි දාලා උතුරගන්න.

 

6. කරපිංචා පූරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි හෝ ආටාපිටි ග්‍රෑම් 200
  2. ලියාගත් කරපිංචා ටිකක්
  3. තෙල් හෝ බටර් මේස හැන්දක්
  4. ලුණු ටිකක්
  5. බැදගැනීමට තෙල්

 

  • පූරි හරියටම හදන්නෙ ආටා පිටි වලින්. ආටා වල රසට අකමැති අයට පාන්පිටි වලිනුත් හදන්න පුළුවන්. මුලින්ම පිටි වලට කරපිංචා, ලුණු හා බටර් දාලා හොඳට අනාගන්න.
  • දැන් ඒකට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන මෝලියක් හදාගන්න.
  • හොඳට අත් ගහලා මෝලිය හදන් පිටි ඉහගත්ත ලෑල්ලක රෝලින් පින් එකෙන් තුනී කරගන්න. 
  • දැන් රවුම් කටර් එකක් අරන් රවුම් කපාගෙන කරලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

7. ආලු පරාටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

පරාටා එකට 

 

  1. පිටි කප් 2
  2. ඇස්ට්‍රා හෝ තෙල් මේස හැන්දක්
  3. ලුණු
  4. බේකින් පව්ඩර් තේ හැඳි බාගයක්

 

ෆිලින්ග් එකට

 

  1. තම්බා පොඩි කරගත් අල
  2. කපාගත් ළූණු
  3. ඉඟුරු
  4. සුදු ළූණු
  5. අබ
  6. සූදුරු
  7. කහ
  8. ගරම් මසාල
  9. මිරිස් කුඩු
  10. ලුණු රස අනුව
  11. කොත්තමල්ලි කොළ

 

  • පරාටා එකට අවශ්‍ය ද්‍රව්‍ය වලට වතුර දාලා අතේ නොඇලෙන පදමට අනාගෙන බෝල 4ක් හදල තෙල් චුට්ටක් ගාලා පැය දෙක තුනක් තියන්න.
  • ගී ටිකක් ලිපේ තියලා ඒකට තලාගත් ඉඟුරු, සුදු ළූණු, අබ, සූදුරු, කහ, ගරම් මසාල, මිරිස් කුඩු, ලුණු රස අනුව දාගෙන කපාගත් ළූණු ටිකක් දාලා හොඳට තෙම්පරාදු කරගන්න.
  • මේ මිශ්‍රණයට තම්බා පොඩි කරගත් අල සහ හීනියට ලියාගත්ත කොත්තමල්ලි කො​ළ ටිකක් දලා හොඳින් කලවම් කරගන්න.
  • දැන් අර හදාගත්ත පිටි බෝල ටික අරගෙන අතින් චුට්ටක් තලලා හදාගත්ත අර අල මසාල එකෙන් පොඩි බෝලයක්  හදල මැදට තියල හොඳට වහගන්න.
  • හොඳින් මැදපු ලෑල්ලක් උඩ ගී ටිකක් ගාගෙන පරාටා එක රෝලින් පින් එකකින් තුනී කරගන්න.
  • නැත්නම් ප්ලාස්ටික් පිඟානකට ගී ටිකක් ගාලා හිමීට අතින් රොටිය හදාගෙන තැටියක දාල පුච්චගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *