ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා කියනවනේ. ආදරේට මිල මුදල්, ධනය, බලය වුණත් ප්‍රශ්නයක් නෑ කියනවනේ. එතකොට දැන් කාලේ ආදරේට තමන්ගේ ලිංගික නැමියාව මොකද්ද කියන එක වුණත් ප්‍රශ්නයක් නෑ කියලා කියනවනේ. හැබැයි එහෙම කිවුවට, තාමත් ආදරේට උස නං ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඔව්, විශේෂයෙන්ම කෙල්ලෝ හොයන්නෙම තමන්ට වඩා උසින් වැඩි කොල්ලෝ. එතකොට කොල්ලෝ හොයන්නෙම තමන්ට වඩා උසින් අඩු කෙල්ලෝ. හැබැයි ඇත්තටම ආදරේට ඔව්වා ප්‍රශ්නද? ඒක වෙනම වාඩි වෙලා කතා කරන්න ඕන මාතෘකාවක්.
හැබැයි අපි කියමු ඔන්න කොල්ලෙක් ඉන්නවා ඇත්තටම කෙල්ලෙක්ට ආදරෙයි. හැබැයි පොඩි පරහකට තියෙන්නේ කෙල්ල කොල්ලට වඩා උසයි. දැන් ඕක ප්‍රශ්නයක්ද? අපෙන් ඇහුවොත් නං අපි කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් අපි කිවුවට මදිනේ. ඕක තමන්ටත් ප්‍රශ්නයක් නොවෙන තැනට එන්න ඕනනේ. ආන්න ඒකට උපදෙස් කීපයක් තමයි මේ.
1. ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියේද?
දැන් කෙල්ල තමන්ට වඩා උසින් වැඩි වුණා කියලා ජීව විද්‍යාත්මක ප්‍රශ්න ඇතිවෙනවද? ඒ කියන්නේ ළමයි හදනකොට හරි වෙන මොකක් හරි එකකදී? කිසිසේත්ම නෑ. එතකොට කෙල්ල තමන්ට වඩා උසින් වැඩියි කියලා ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ කිස් එකක් දෙනකොට කෙල්ල නැවෙන්න ඕන වගේ එව්වා? ඕවා ප්‍රශ්න කියලා හිතනවා නං ඒක තමන්ගේ ජීවන දර්ශනයේ ප්‍රශ්නයක්. ජිවිතේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රායෝගික ප්‍රශ්න එක්ක බලනකොට ඕවා නිකං සූපින් කතන්දරනේ. ආන්න ඒ නිසා කරුණාකරලා මේවා ප්‍රැක්ටිකල් ප්‍රශ්න විදියට ගන්න එපා. කිස් කරනකොට වත්, සෙක්ස් කරනකොට වත් කෙල්ල උස වුණා කියලා ගැටළුවක් වෙන්නෙ නෑ. එච්චරයි!
2. ඊගෝ ප්‍රශ්නද?
සාමාන්‍යයෙන් කොල්ලෙක්ට තමන් ඩේට් කරන කෙල්ලගේ උස ප්‍රශ්නයක් වෙන්නේ තමන්ගේ ඊගෝ ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ කෙල්ල මට වඩා උසින් වැඩි නං, ඒක මගේ පෞරුෂත්වයට පහරක් කියලා හීනමානයක් ඇති වෙන නිසා. ඇත්තටම උස කියන්නේ පෞරුෂත්වය මනින සාධකයක්ද? නෑනේ. කෙල්ලට වඩා තමන් උසින් අඩු වුණත්, වැඩි වුණත්, කෙල්ල තමන්ට ලව් නං ආයෙ වෙන මොනවද? අන්න ඒ නිසා මුලින්ම මේ තමන්ගේ ඊගෝ ප්රශ්නය විසඳගන්න ඕන. ඕකට අපි අන්තිමට කියලා තියන කාරණා දෙකත් උදවු වෙයි.
3. එයාට අවුල් නං ඒක එයාගෙ ප්‍රශ්නයක්
අපි ලව් කරන කෙල්ලට සමහර වෙලාවට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි එයාට වඩා උසින් අඩු වීම ගැන. ඉතින් ඒකට අපි මොකද කරන්නේ? එයා උසින් වැඩි වීම අපිට ප්‍රශ්නයක් නෙවෙයි නම්, අපි උසින් අඩු වීම එයාට ප්‍රශ්නයක් නම් ඒක එයා විසඳගන්න ඕන. හැබැයි ඉතින් මේ අපි ලව් කරන කෙල්ලනේ. ආන්න ඒ නිසා අපිට පුළුවන් එයාට මේ ප්‍රශ්නේ විසඳගන්න උදවුවක් දෙන්න. ඒ කියන්නේ සාකච්ඡා කරලා ඒක විසඳගන්න. එහෙම දෙන්නත් එක්ක කතා බස් කරලත්, එයාට මේ උස ප්‍රශ්නේ හිතේ වදදෙනවා නං, වෙන කරන්න දෙයක් නෑ, දණගාගෙන පස්සෙන් ගිහින් වැඩක් නෑ. අයින් වෙන්න.
4. ජෝක්ස් කපා හරින්න
සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු තව කෙනෙක්ට විහිළු කරනකොට, කතා කියනකොට කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඒ කියන්නේ තමන්ගේ ජෝක් එකකින්, කතාවකින් අනික් කෙනාට මොන වගේ හිත් රිදීමක් ඇති වෙයිද, මොන වගේ බලපෑමක් වෙයිද වගේ ඒවා ගැන තඹ දොයිතුවකට තකන්නෙ නෑ. එහෙම මිනිස්සු ඉතින් උස කෙල්ලෙක් සහ කෙල්ලට වඩා උසින් අඩු කොල්ලෙක් එකට ඉන්නවා දැක්කම වුණත් ඕන තරම් කතා කියයි, විහිළු කරයි. මෙතනදී ඇත්තටම තමන්ට ඇහෙන්නෙ නැති වෙන්න කියන කතා හෝ කරන විහිළු ගැන තඹේකට ගණන් ගන්න ඕන නෑ. ඒවා අපිට අදාළ ප්‍රශ්න නෙවෙයි. හැබැයි තමන් ඉන්න තැනක හෝ විශේෂයෙන් තමන් සහ තමන්ගේ ලව් කරන කෙල්ල ඉන්න තැනක යම් කෙනෙක් එහෙම උස මිටි විහිළුවක් කරනවා නම්, ඒක මොහොතින් කපා හරින්න. ඒ කියන්නේ අර අනික් පැත්තට කැපෙන කතන්දර කියන කලාව ඉගෙන ගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, “උඹට වඩා උස කෙල්ලෙක් උඹට සෙට් වුණේ සල්ලි වලටද මචන්?” කියලා විහිළුවට වගේ ඇහුවොත්, කෙලින්ම කියන්න “ඒක ඉතින් උසට වඩා කොල්ලගේ වැඩ හින්දා තමයි, උඹලගෙ පර්ෆෝමන්ස් අවුල් හින්දනේ බං උඹලට සල්ලි වලට කෙල්ලො ගන්න වෙලා තියෙන්නෙ” කියලා ආපිට කියන්න. අන්න එතකොට ලැජ්ජාවක් තියෙන එකෙක් නං කට වහගනී. එහෙම කැපෙන්න කතා කරන කලාව දන්නෙ නැති නං, විහිළුව නෑහුණා වගේ ඉන්න එපා. “මචන් උඹලගෙ ගොන් විහිළු මට කියලා තේරුමක් නෑ” කියලා එතනින් අයින් වෙන්න හරි ඒකට තමන්ගේ විරෝධය පෙන්නන වෙනත් දෙයක් හරි කරන්න.
5. උස වෙන්න ට්‍රික්ස් එපා
දැන් ඔය සාමාන්‍ය උසින් යුතු ෆිල්ම් ස්ටාර්ස්ලා එහෙම ලෝ ඈන්ගල් ෂූටින්ග් වල ඉඳන් උස නිවේදිකාවෝ එක්ක වැඩසටහන් එහෙම කරනකොට පෙට්ටි උඩ නැගලා ෂූට් කිරීම දක්වා දහසකුත් එකක් ට්‍රික්ස් පාවිච්චි කරනවනේ උසයි කියලා පෙන්නන්න. ඒ ඇරෙන්න අනික් මිනිස්සු ගත්තත් එක්කෝ උස වැඩි කරලා පෙන්නන සපත්තු දායි. ඒ වගේ නොයෙකුත් ට්‍රික්ස් පාවිච්චි කරයි. එතකොට දැන් අපි කියන්නේ උස කෙල්ලෙක්ව ඩේට් කරනවා නං මේ විදියේ ට්‍රික්ස් පාවිච්චි කරන්න කියලද? නෑ. අපි මේ කියන්න යන්නේ ඒකේ අනික් පැත්ත. උසයි කියලා පෙන්නන්න ට්‍රික්ස් පාවිච්චි කරන්න යන්න එපා. තමන් කවුද කියන එක පිළිගන්න. තමන්ගේ කෙල්ල කවුද කියන එක ගැනත් පිළිගන්න. ඒ ගැන අපි ඊලඟට කියනවා.
6. තමන්ගේ ආකල්ප හදාගමු
ගොඩක් වෙලාවට අපි උඩිනුත් කියලා තියෙන ඊගෝ ප්‍රශ්න එන්නේ, තමන් කවුද කියන එක ගැන හරි අවබෝධයක් නැති වුණහම. ඒ කියන්නේ තමන්ගේ හොඳ සහ නරක දෙකම පිළිගන්න හැකියාවක් නැති වුණහම. එහෙම වෙන්න ඕන නැහැනේ, නේද? හැම කෙනෙක්ම තමන්ව හොයාගන ඕන. තමන්ව හොයාගත්තහම තමන් ගැන හොඳ හැඟීමක් සහ හොඳ ආත්මවිශ්වාසයක් ඇති වෙනවා. අන්න එතකොට අපි ගැන හොඳ, සුරක්ෂිත හැඟීමක් අපි තුළම ඇති වෙනවා. තමන් උස වුණත්, මිටි වුණත්, සුදු වුණත්, කළු වුණත්, කකුල් තිබුණත්, නැතත් අපිට ඔළුව කෙලින් තියාගෙන, අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අන්න එහෙම අභිමානයක් ඇති තැනදී උසින් පෞරුෂත්වය මනින්න අවශ්‍යතාවයක් නැති වෙනවා. අන්න එච්චරයි වෙන්න ඕන!
7. සමාජේ ආකල්ප වලට කුද ගහගන්න කියන ආට් එක ඉගෙන ගමු
හැබැයි දැන් අපි එහෙම කවුද උස හෝ මිටි කියන එකෙන් කෙනෙක්ගේ පෞරුෂත්වය මනින්න නොගියත්, අපිට සමාජේ හදන්න බැහැනේ. විශේෂයෙන්ම දැන් තියෙන සෝෂල් මීඩියා යුගයේදී මිනිස්සුන්ට හැම දෙයක් ගැනම ඔපීනියන් තියෙනවනේ. ආන්න එතකොට ඉතින් උසින් වැඩි කෙල්ලෙක් ඩේට් කරන කොල්ලෙක්ට කතන්දර අහගන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ආන්න ඒ කතන්දර වලින් සැලෙන්න අවශ්‍ය නැති නිසා තමයි, සමාජේ ආකල්ප වලට කුද ගහගන්න කියන කලාව අපි ඉගෙන ගන්න ඕන. විශේෂයෙන්ම අර කලින් කියපු විදියට අපේ ආකල්ප හැදිලා නං තියෙන්නේ, අපිට අපි ගැන හොඳ අභිමානයක් තියෙනවා නං, අපිට සමාජේ හිතන විදිය අදාළම නැතුව යනවා. අන්න එතකොට අපේ ලව් එක අදාළ වෙන්නේ අපිට මිසක් රටේ ලෝකේ ඉන්න එවුවොන්ට නෙවෙයි කියන අවබෝධය පහළ වෙනවා!
දැන් පැහැදිළියිනේ තත්ත්වය. ආදරේට උස ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නේ තමන්ගේ හිතේ. ඒ නිසා උස බාධාවක් කරගන්නෙ නැතුව ලව් කරන්නයි තියෙන්නේ!
Leave a Reply