ලංකාවේ වැඩ විසූ සුප්‍රකට සංඝරාජ හිමිවරු

අද වෙන කොට ලංකාවේ විවිධ නිකායන්වලට සහ පාර්ශවවලට මහනායක හිමිවරු හිටියත් අතීතයේදී සියලු භික්ෂූන්වහන්සේලාට නායකත්වය ලබා දුන්නේ සංඝරාජ හිමියන්. කාලෙන් කාලයට මුළු තුන් සිංහලයේම සංඝයා වහන්සේගේ අනුමැතියෙන් සහ රජතුමා විසින් පිළිගැනීමෙන් අනතුරුව තමයි සංඝරාජවරු පත් වුණේ. සංඝරාජ පදවිය ආරම්භ වුණු පොළොන්නරු යුගයේ ඉඳන් මහනුවර යුගය ආරම්භය දක්වා සංඝරාජ පදවිය නොකඩවා පත් කෙරුණා. Lifie අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ වැඩ වාසය කරපු සුප්‍රකට සංඝරාජ හිමිවරු කීපනමක් ගැන. මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත ලංකාවේ වැඩ වාසය කරපු සියලුම සංඝරාජ හිමිවරු ගැන මීට වඩා සවිස්තරාත්මක ලිපි මාලාවක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

1. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමි 

මුන්වහන්සේ මහනුවර යුගය තුළ පහළ වුණේ නැත්නම් අද වෙනකොට මුළු ලංකාවෙන්ම බුද්ධාගම අතුරුදහන් වෙලා යන්න වුණත් ඉඩ කඩ තිබ්බා. ඒ කාලේදි උපසම්පදාව නැතිවෙලා ගණින්නාන්සේලා නමින් පවුල් රකින භික්ෂු නාමධාරී පිරිසක් බිහිවෙලා තිබ්බේ. සරණංකර හාමුදුරුවෝ මේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධව සිල්වත් උගත් භික්ෂු පරපුරක් ‘සිල්වත් සමාගම’ නමින් බිහි කළා. වතාවන් කීපයකදී උපසම්පදාව විදේශ රටකින් ගෙන ඒමට උත්සාහ කළත් අවසානයේදී කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේදි ඒ උත්සහය සාර්ථක වුණා. පසුව උන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනැමුණා. උන්වහන්සේගේ ඇවෑමෙන් එම පදවිය හිස්‍ වුණු නිසා අවසාන සංඝරාජ හිමියන් ලෙසත් උන්වහන්සේව සැලකෙනවා.

 

2. දෙවනගල රතනාලංකාර සංඝරාජ මාහිමි

පළමුවැනි විමලධර්මසූරිය රජතුමාව මහනුවර යුගයේ ආරම්භකයා විදිහට අභිෂේක ගන්වන ලද්දේ රතනාලංකාර හිමියන් විසින්. ඒ වගේම ඒතාක් කල් කුරුවිට දෙල්ගමු විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම කරවා නව රජතුමා කෙරෙහි මුළු රටම නම්මවා ගත්තා. ඒ වගේම ඒ කාලේදී සංඝ සංශෝධනයක් කරන්නත් උන්වහන්සේ නායකත්වය ගන්නවා. වර්තමානයේ අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙලා තියෙන දෙවනගල විහාරය උන්වහන්සේ වෙත ඒ අවස්ථාවේ පූජා කරනු ලැබුවා.

 

3. කෑරගල වනරතන හිමි 

කෝට්ටේ යුගය තුළ සංඝරාජ හිමිවරු ගණනාවක් වැඩ හිටියා. ඒ අතර හංස සංදේශය තුළ වර්ණනාවට ලක්වෙන කෑරගල පද්මාවතී පරිවේණාධිපති කෑරගල වනරතන හිමියන් ප්‍රමුඛස්ථානයක් ගන්නවා. වනවාසී සම්ප්‍රදායට අයත් භික්ෂුන්වහන්සේ නමක් වුණු උන්වහන්සේ එම යුගය තුළ ජනප්‍රිය වෙමින් පැවති හින්දු ආගමික බලපෑම්වලට එරෙහිව කටයුතු කළ හිමි නමක්.

 

4. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සැලලිහිණි සංදේශය කියෙව්වේ නැති කිසිම කෙනෙක් අද ලංකාවේ නැතුව ඇති. හයවෙනි පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ පුත්‍රයෙක් විදිහට උස්මහත් කරලා ශාසනයට පූජා කරපු රාහුල හාමුදුරුවෝ ජීවමාන කාලය තුළම පුරාවෘත්තයක් බවට පත් වුණා. අසාමාන්‍ය මතක ශක්තියක් තිබීම නිසා උන්වහන්සේ කතරගම දෙවියන්ගෙන් වර ලැබුණු කෙනෙක් විදිහට සමාජය තුළ මතයක් ගොඩ නැගුණා. රජ පවුල සමග සමීප සබඳතාවයකින් යුතුව කටයුතු කළ උන්වහන්සේ හයවෙනි පරාක්‍රමබාහු රජුගේ දියණිය වුණු උලකුඩය දේවියට දරුවෙක් පතා සැලලිහිණි සංදේශය රචනා කළා. පසුව ඇයට ලැබුණු දරුවා ජයබාහු නමින් රජ බවට පත් වුණත්  හයවෙනි පරාක්‍රමබාහු රජු විසින් හදාගත් තවත් කුමාරයෙකු වූ සපුමල් කුමරු ජයබාහුව මරා රජ බවට පත් වුණා. මේ නිසා රාහුල හිමියන් සිය අවසාන සමයේ රාජ සභාවේ කටයුතුවලින් බැහැර වුණා. උන්වහන්සේ පිළිබඳව තවත් කතා රාශියක් පවතිනවා. ඒ ගැන ඉදිරියේදී ලිපි මාලාවක් ලිවීමට අපි බලාපොරොත්තු වෙනවා.

 

5. සීලවංස ධරමකීර්ති හිමි

සුප්‍රකට ගඩලාදෙණි විහාරය ගොඩ නැගෙන්නේ මුන්වහන්සේගේ අනුශාසකත්වය යටතේයි. කාලයක් දකුණු ඉන්දියාවේ වැඩ වාසය කළ උන්වහන්සේ එරට තුළ විහාරයක් පවා ගොඩ නගමින් විදේශ ධර්ම දූත සේවා වල පවා නිරත වූ බව කියවෙනවා. එකල ලංකාවේ සුප්‍රකට  සංඝ පරම්පරාවක් වූ පලාබත්ගල පරම්පරාවෙන් පැවත එන මෙම හිමියන් රාජ කුමාරයෙකු ලෙසද ඇතැම් ජනප්‍රවාද වල සඳහන් වෙනවා. එසේම සද්ධර්මරත්නාකරයට අනුව වයස අවුරුදු එකසිය විස්සක් ආයු වැළඳීමට තරම් උන්වහන්සේ නිරෝගී වූ බව  කියවෙනවා.

 

6. දේවරක්ෂිත ජයබාහු හිමියන් 

ලංකාවේ ශාසන ඉතිහාසය ගැන කියවෙන ප්‍රමුඛතම කෘතියක් වන නිකාය සංග්‍රහයේ කතුවරයා වන මුන්වහන්සේ සීලවංස ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයායි. ගම්පොළ යුගයේ අවසානයේ සිට කෝට්ටේ යුගයේ මුල් අවධිය දක්වා සංඝරාජ ධුරය දරමින් කටයුතු කළ මුන්වහන්සේ ශාසන සංශෝධනයක් සඳහා ද ප්‍රමුඛත්වය ගෙන කටයුතු කොට තිබෙනවා.

 

7. අමරගිරි වාසී වනරතන හිමියෝ

කුරුණෑගල යුගය තුළ  සංඝරාජ ධුරය  දරමින් වැඩ වාසය කළ මුන්වහන්සේ එම කාලය තුළ රටේ පැවැති අවිනිශ්චිත  වාතාවරණය අනුව සියමය බලා ගිය බව සඳහන් වෙනවා. රටේ ජනතාවගේ මෙන්ම රජතුමාගේ ද මහත් හරසරට ලක් වූ උන්වහන්සේ රාජගුරු පදවියෙන් ද පිදුම් ලැබ තිබෙනවා. උන්වහන්සේගේ ගුණ නුවණ කෙරෙහි පැහැදුණු රජතුමා පවා උන්වහන්සේ යටතේ මහණ වී තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා… 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *