ලෝකයේ විවිධ රටවල නිෂ්පාදනය කරන මත්පැන් වර්​ග

මත්පැන් කියන්නෙ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර එක වගේ ජනප්‍රිය දෙයක් වගේම සමහර රටවල් වල සංස්කෘතීන් එක්ක  පවා බද්ධ වෙලා තියෙන දෙයක්. මත්පැන් ගැන ඉතිහාසය හොයල බලද්දී පෙනෙන දෙයක් තමයි එක එක රටවල්වල, ශිෂ්ටාචාරවල නොයෙක් විදිහට මේ මත්පැන් එහෙම නැත්නම් මධ්‍යසාර පාවිච්චි කරලා තියෙනවාය කියන කාරණාව. ඊජිප්තුව, චීනය, ඉන්දියාව, බැබිලෝනියානු ශිෂ්ටාචාරය වගේ තැන් වලින් මද්‍යසාර ගැන නොයෙකුත් සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක ලොකු වෙනස්කම් ගොඩක් එක්ක නව තාක්ෂණය එකතු වෙලා අද කාලෙ අපිට නොයෙකුත් මත්පැන් වර්ග පාවිච්චි කරන්න ලැබිල තියෙනවා. ඒ වගේම ලෝකයේ එක එක රටවල් වල නිෂ්පාදනය කරන ඒ ඒ රටවල් වලටම විශේෂ වෙච්ච මත්පැන් වර්ග තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නෙ විවිධ රටවල් වල නිෂ්පාදනය කරන මත්පැන් වර්ග කිහිපයක් ගැනයි.

 

1. Scotch Whisky – ස්කොට්ලන්තය.

ස්කොට්ලන්තය කොහොමත් විස්කි වලට ගොඩක් ප්‍රසිද්ධයි. ස්කොට්ලන්තයේ නිපදවෙන විස්කි වලට තමයි ස්කොච් විස්කි කියන්නෙ. විශේෂයෙන් මේ වර්ගයේ ඔරිජිනල් විස්කි නිපදවෙන්නේ මෝල්ටඩ් බාර්ලි වලින්. පහු කාලීනව තිරිඟු සහ රයි (Rye) කියන ධාන්‍ය වර්ගයෙන් විස්කි නිපදවෙන්න පටන් ගත්තා වාණිජ නිෂ්පාදනය නිසා. ස්කොච් විස්කි එකක් අනිවාර්යයෙන් අවුරුදු තුනක් වත් පරණ කරන්න ඕනේ ඕක් බැරල් වල. ඒ වගේම පරණ කරපු අවුරුදු ගණන බෝතලයේ සඳහන් කරන එකත් සාමාන්‍ය සිරිතක්. සාමාන්‍යයෙන් මේ වගේ විස්කි එකක 40%ක් විතර ඇල්කොහොල් අඩංගු වෙනවා. මුලින්ම ස්කොට්ලන්ත විස්කි රෙසිපි එකක් ගැන වාර්තා වෙන්නෙ 1494 වගේ ඈත කාලෙක. 

 

2. Baijiu – චීනය

සාමාන්‍යයෙන් බඩඉරිඟු වලින් ආසවනය කරන මධ්‍යසාරයක් විදිහට තමයි බායිජු කියන මත්පැන් වර්ගය හඳුන්වන්නෙ. චීනයේ තමයි මුලින්ම මේ වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා තියෙන්නෙ සහ ඒකෙ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හය වෙනි සියවස වෙනකන් විහිදෙනවා. විශේෂයෙන් කිසිම වර්ණයක් නැති අවර්ණ මත්පැන් වර්ගයක් විදිහට තමයි මේ බායිජු කියන මත්පැන් වර්ගය දකින්න ලැබෙන්නේ. මුලින් බඩඉරිඟු වලින් නිෂ්පාදනය කෙරුණත් පස්සේ සහල්, තිරිඟු, බාර්ලි වගේ දේවල් වලිනුත් මෙය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මේ වර්ගයේ මත්පැන්වල 35% – 60% පමණ ඇල්කොහොල් ප්‍රතිශතයක් අන්තර්ගත වෙනවා. බොහෝ දුරට විස්කි වලට සමානකම් කියන රසයක් තමයි මේ බායිජු කියන මත්පැන් වල තියෙන්නෙ. 

 

 

3. Soju – කොරියාව

මේ මත්පැන් වර්ගය කොරියාව මූලික කරගෙන හටගත්තු මත්පැන් විශේෂයක්. මේකත් බොහෝ දුරට අවර්ණ මධ්‍යසාරයක්. බොහෝවිට මේ වර්ගයේ මත්පැන් වල 16.5% – 53% වෙනකන් පරාසයක ඇල්කොහොල් අඩංගු වෙනවා. තිරිඟු සහල් සහ බාර්ලි මූලික කරගෙන තමයි කොරියාවේ මේ මත්පැන් නිෂ්පාදනය කරන්නෙ. ඒ වුණාට වර්තමානයේ අර්තාපල් සහ බතල භාවිතා කරලත් මේ මත්පැන් නිෂ්පාදනය කරනවා. කොරියාවේ මේ මත්පැන් පානය කිරීමේදීත් ආචාර ක්‍රමයක් විදිහට කණ්ඩායමේ ඉන්න ලාබාලම කෙනා අනෙක් අයට මත්පැන් වත්කිරීම කරනවා. අද වෙද්දී කොරියාවෙන් පිට රටවල් ගණනාවක මේ සෝජු කියන මත්පැන් වර්ගය නිෂ්පාදනය කරනවා.

 

 

4. Amarula – දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාව මූලික කරගෙන තමයි මේ මත්පැන් වර්ගය මුලින්ම නිෂ්පාදනය කෙරුණේ. මේ මත්පැන් නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන්නෙ මරුලා ගසේ පළතුරු, සීනි සහ ක්‍රීම්. අප්‍රිකානු මරුලා කියන තේරුම ඇතුව තමයි අමරුලා කියන නම වැටිලා තියෙන්නෙ. මරුලා පළතුරු ආහාරය සඳහා අලි ඇතුන් බොහෝ ප්‍රිය කරන නිසා මේ මත්පැන් සඳහා අලියෙකුගේ සංකේතයක් යොදාගෙන තියෙනවා. Cream Liqueur කියලත් මේ මත්පැන් වර්ගය හඳුන්වනු ලබනවා.

 

 

5. Kirsch – ස්විට්සර්ලන්තය

මේකත් පැහැදිළි සහ අවර්ණ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් විශේෂයක්. ස්විට්සර්ලන්තය තමයි මුල් වරට මේ රෙසිපිය හඳුන්වාදුන්නේ. මේක මූලිකවම දෙවරක් පෙරන මත්පැන් වර්ගයක්. මොරෙලෝ චෙරි වලින් තමයි මුල් කාලයේ මේ මත්පැන් නිපදෙව්වේ. ඒත් අද වෙද්දී වෙනත් වර්ග වල චෙරි වලිනුත් මේ මත්පැන් නිෂ්පාදනය කරනවා. චෙරි වලින් නිෂ්පාදනය කළා කියල මේකේ පැණිරසයක් කොහෙත්ම ඇත්තේ නෑ. බොහෝ විට කිසිම දෙයක් කලවම් නොකර නීට් තත්ත්වයෙන් තමයි මේ මත්පැන් පානය කරන්නෙ. ගොඩක්ම කුල් එක පිටින් පොඩි වීදුරු වල තමයි සාම්ප්‍රදායිකව මේ මත්පැන් පානය කරන්නෙ. 

 

6. Raksi – නේපාලය

මේ මත්පැන් වර්ගය නේපාලයේ නිවෙස් වල නිෂ්පාදනය කරන මත්පැන් වර්ගයක්. ජපානයේ සකේ කියන මත්පැන් වර්ගයට සමාන රසක් තමයි මේ මත්පැන් වර්ගයේ තියෙන්නෙ. ඒ වගේම ගොඩක් පැහැදිළි මත්පැන් විශේෂයක් විදිහට දකින්න පුළුවන්. බොහෝ විට කොඩෝ කියන ධාන්‍ය වර්ගයෙන් සහ සහල් භාවිතයෙන් මේ මත්පැන් නිෂ්පාදනය කරනවා. ඒ දෙකේ රසත් වෙනසක් තියෙනවා. ඌරුමස් හරි එළු මස් එක්ක තමයි බොහෝ විට මේ මත්පැන් ඒ රටේ පාවිච්චි කරන්නෙ. 

 

 

7. කසිප්පු – ශ්‍රී ලංකාව

ඔන්න අවසානයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් තියෙන දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ තමයි කවුරුත් දන්නා ශ්‍රී ලංකික කසිප්පු. පහුගිය කාලෙ අපේ අය ගෘහ කර්මාන්තයක් විදිහටත් මේ මත්පැන් නිෂ්පාදනය කළානේ. ඉතින් ගෝඩා එක හදාගන්න තැන ඉඳන් පෙරන විදිහ වෙනකන් අපේ අය හොඳින්ම දන්නවා මේ විස්තරේ. මුල් කාලෙ හකුරු වලින් තමයි මේවා නිෂ්පාදනය කළේ. ඒත් දැන් කාලෙ මේවා හදන්න ගන්න දේවල් නම් ගොඩක් තියෙනවා. පළතුරු, යීස්ට්, සීනි වගේම එකී මෙකී නොකී දේවල් ගොඩක් මේ විස්තරේට දැන් එකතු කරනවා. ඇත්තටම බැලුවම කසිප්පු කියන්නෙ අපේ සංස්කෘතියේ කොටසක් කියලත් කියන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *