තරු පන්තියේ හෝටල්වලට නොයා ෆොටෝ ෂූට් එකක් කරගන්න ලස්සන අවන්හල් 7ක්


ෆොටෝ ෂූට් එකක් කිව්වම වෙඩිමක් එක්ක සම්බන්ධ ෂූට් ගැන වි​තරක් කතා කරන්න බැරි තරමට අද ඒ වැඩේ ජනප්‍රිය දෙයක් වෙලා තියෙනවා. කොටින් ම කියනවා නම් හේතුවක් නැතුවම හොම්බ දිග කැමරාවකින් පොඩි පොටෝ සෙෂන් එකක් කිරීමේ ආසාවක් ඇතිවෙලා තියනවා. එහෙම එකකට හරි මගුලකට උපන්දිනේකට හරි ලස්සන පොටෝ ටිකක් ගන්න තරු පහේ හෝටල් පස්සේ ගිහින් පොකට්ටෙකට තරු පෙන්නන්නේ මොකට ද? හැමදාම කෝපි කෝප්පයක් බොන්න යන තැනත් ගානට සෙට් වෙන්න පුළුවන්.



1. Cafe Noir


බත්තරමුල්ලේ Cafe Noir එක ඒකේ තියෙන රසම රස කෝපිවලටත් වඩා ප්‍රසිද්ධ වුණේ කැෆේ එකේ තියන පොටෝජෙනික් ගතියට. මෙතන හරියට පරණ ඉංග්‍රීසි කතාවක පිටුවක් කියෙව්වා වගේ හැඟීමක් දනවන තැනක්. ආලෝකය, ලොකු පුටු, ලස්සන එමරල්ඩ් බිත්ති වගේ ම බිත්තිවල එල්ලපු එක එක නූල්සූත්තර එක්ක මෙතන අමුතු ම ලකයක් ඇති කරවලා තියනවා. මේ වෙනකොටත් මෙතන වෙඩින් ප්‍රී ෂූට් කරන අයගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ. තිඹිරිගස්යායේ තියන අනෙක් ශාඛාවට වඩා මෙතන හොඳයි. පාලම් තුන හන්දියේ ඉඳන් හූවයි බල්ටි තුනයි.

 



2. The Embazzy


කොළඹ මල් පාරේ අවන්හල් සමූහයට එක් වුණ The Embazzy ඇත්තෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රභූවරයෙක් ව වුණත් පිළිගන්න පංකාදු තැනක්. මෙතන තියන වයිබ් එකට ආසාවෙන් ගොඩක් අය මෙතැනට යනවා. සිම්පල් ඩෙකරේෂන් ගොඩක් එකතු වුණාම තියන අමුතු ලස්සන වගේ ම ඉඩකඩත් ආසා හිතෙන්න තියෙනවා. The Embazzy එකේ පඩිපෙළේ ඉඳන් පොටෝ එකක් නොදැම්මොත් කොන් වෙන ලයින් එකක් තියෙන්නෙත්. රෝයල් එක පැත්තේ ඉඳන් මල් පාරට ඇතුල් වෙන තැන ම තමයි තියෙන්නේ.



3. Dindigul Thalapakatti


ඉන්දියානු කෑම කඩවල සයිවර් ලෝකයක් විතරයි ද තියෙන්න පුළුවන්? ඉන්දියාවේ ප්‍රසිද්ධ අවන්හල් ජාලාවක ශ්‍රී ලංකාවේ නියෝජිතයා විදියට ඉන්නකොට සයිවර් බ්‍රෑන්ඩ් එක ඉබේට ම හැලෙනවා. මෙතන සිම්පල් වෝල් ආර්ට් සහ ප්‍රමාණවත් තරමෙ ඉඩ තියනවා. තට්ටු දෙකක් ම තියනවා. The Embazzy එකේ කතා වුණා වගේ ම සුවිශේෂ පඩිපෙළකුත් තියේ ඕන්.



4. & Co. (The Steuart)


කොටුවේ ඩච් හොස්පිටල් කියන්නේ රස ගුලාවක්නේ. ඔතන තියෙන විවිධ අවන්හල් අතරින් ජීවිත කාලෙම පොටෝ ගගහා ඉන්න හිතෙන්නේ මෙතනයි. ඇතුළට යන්න කලින් ඉඳලම රාජකීය පාටයි. වටිනා ලීයෙන් කරපු ගෘහභාණ්ඩ මෙතන පිරිලා. ඇහැට ප්‍රිය පාටවල් සහ එළි! බිත්තිවල නා නා ප්‍රකාර දේවල්. හොඳ ඉඩකුත් තියෙනවා. එළිමහන් කොටසේ රෑට ලයිට් දාලා දිව්‍යලෝක පාටයි. ස්ටුවර්ට් එකේ පල්ලැහැම තට්ටුවෙයි තියෙන්නේ. 

 

5. Cafe Blanca


BMICH එකේ ඉඳන් මීටර 500ක් ඇතුළත මලලසේකර මාවතේ පිහිටලා තියන Cafe Blanca ප්‍රසිද්ධ නිදහසේ කාලය ගත කරන්න ඉතාම හොඳ තැනක් විදියටයි. තට්ටු තුනයි. බිම් මහලේ නම් සාමාන්‍ය අවන්හලක පෙනුම තියනවා ඒත් අනෙක් තට්ටුවල අපිට අවශ්‍ය කරන පෙනුම තියනවා. කැෂුවල් ෂූට් එකක් කරන්න හිතන් ඉන්නවා නම් මෙතන ඒකට සෑහෙන කැපෙනවා. සේවක මණ්ඩලයත් හරිම සුහදශීලියි. 



6. Arcadia Cafe and Restaurant 


මැරින් ඩ්‍රයිව් එකේ අවන්හල් ජාලයට අලුතින් එක් වුණ Arcadia අමුතු ම තැනක්. කොන්ක්‍රීට් වනන්තරේක ඉඳන් එක පාරට කැලේට පැන්නා වගේ. හැබැයි යන්න කලින් කෝල් කරලා වෙන් කරගන්න වෙයි. මොකද මෙතෙන්ට හොඳ සෙනඟක් එනවා. එහෙම වුණොත් අර සාමාන්‍ය අවන්හලක පෙනුම තියන කොටසක වාඩි වෙලා රහ හොට් චොකලට් එකක් බීලා යන්නයි තියෙන්නේ.



7. August by Mama Aida’s


බොරැල්ල ටිකල් පාරට හැරෙන තැන ම වගේ තියන August by Mama Aida’s රොමැන්ටික් ලුක් එක හොඳට තියෙන තැනක්. මෙතන ඇතුළ සහ එළිමහන් කොටස කියන දෙක ම හොඳට ම තියනවා. රාත්‍රී කාලයේ කරන ෂූට් එකකට තමයි ගාණට සෙට් වෙන්නේ. මෙතන කෑමවල වුණත් විශේෂත්වය තමයි ඔක්කොම මධ්‍යම ආසියානු කෑම වීම. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *