ගමේ රසට කන්න ආස අයට ගමේ තාලෙට අපේ කෑම රෙසිපි

ගමේ රසට ගමේ විදියට කන්න ආස කොයි කාටත් රසම රස රෙසිපි ටිකක් අද ගෙනාවා. අපේ අය ගොඩක් ගමේ රස හොයන් ගම් වදිනවනේ. මේක කියවනකොටත් රස දැනෙනවා වගේ නම් අනිවා හදලා බලන්න. 

 

1. අලකොළ ඇඹුල

මේකට කපාගන්න අලකොළ කපපු ගමන් නම් හදන්න ගන්නෙ නෑ. අඩුම ගාණෙ දවස් තුනක්වත් කපලා මද පවනෙ තියන්න ඕන. ඒ වගේම අලකොළ කාලා බොන්න ඕන උණු වතුර කියල ගම් වල පැරැන්නො නම් කියන්නෙ. නැත්නම් කට කසනවලු. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සතියක් විතර පරණ අලකොළ 
  2. ගොරකා පේස්ට් තේ හැඳි 1
  3. තලාගත් සුදුළූණු බික් 3
  4. කපාගත් අමුමිරිස් කරල් 2
  5. කපාගත් ළූණු ගෙඩියක්
  6. කරපිංචා ස්වල්පයක් 
  7. කපාගත් තක්කාලි ගෙඩි 1
  8. පොල්තෙල් 
  9. මිටිකිරි කෝප්පයක්
  10. දෙහි යුෂ ස්වල්පයක් 
  11. බැදපු තුනපහ තේ හැඳි 1
  12. මිරිස් කුඩු තේ හැඳි 2
  13. ලුණු ස්වල්පයක් 
  14. උම්බලකඩ ස්වල්පයක් 

 

  • අලකොළ හොඳින් සෝදා පිරිසුදු කරගෙන වතුර වේලෙනකම් තියන්න. පසුව තරමක් ලොකු කෑලි කපා ගන්න. ඒකට ලුණු, බැදපු තුනපහ හා මිරිස් කුඩු එක්කර හොඳින් කලවම් කරන්න. 
  • දැන් භාජනයක් ලිපේ තියලා පොල් තෙල් දාලා රත් වෙන්න තියන්න. ඒකට සුදුළූණු, කරපිංචා, කපාගත් ළූණු, අමුමිරිස් හා තක්කාලි එකතු කරගෙන තෙම්පරාදු වෙන්න තියන්න. 
  • ඒකට අලකොළ එකතු කරලා ඒ උඩට ගොරකා පේස්ට් එකතු කරන් කලවම් කරගන්න. භාජනය වහලා විනාඩි පහක් මදගින්නේ පිසගන්න. 
  • ඊළඟට මිටිකිරි හා උම්බලකඩ එක් කරන්න. හිඳෙනකල් පිසගන්න. ලිපෙන් බාන්න කලින් දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්න. 

 

2. කොස් ඇට කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලොකු කොස් ඇට 25ක් විතර
  2. කැකුළු හාල් මේස හැඳි 1
  3. ගාගත් පොල් මේස හැඳි 1 
  4. කොත්තමල්ලි ඇට මේස හැඳි 1 
  5. සූදුරු මේස හැඳි 1/2
  6. මිරිස් කුඩු තේ හැඳි 1
  7. වියළි මිරිස් කරල් 2 
  8. ගම්මිරිස් ඇට ස්වල්පයක් 
  9. කුරුඳු පොතු කෑල්ලක්
  10. කරාබු නැටි 2
  11. උම්බලකඩ මේස හැඳි 1
  12. ළූණු ගෙඩි 1
  13. සුදුළූණු බික් 2
  14. රම්පා හා කරපිංචා 
  15. උළුහාල් තේ හැඳි 1/2
  16. දෙහි යුෂ ස්වල්පයක් 
  17. දිය කිරි කෝප්ප 2
  18. මිටි කිරි කෝප්ප 1/4
  19. ලුණු කුඩු 
  20. තෙල් ටිකක් 

 

  • කොස් ඇට ටික පොතු සමගම වංගෙඩියට දාලා පොතු ඉවත් නොවනසේ ටිකක් තලන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා ඒකට හාල් ටික දාලා බැදී ගෙන එද්දී පොල්, කොත්තමල්ලි ඇට, සූදුරු, වියළි මිරිස්, කරපිංචා, කුරුඳු පොතු, කරාබු නැටි, ගම්මිරිස් ඇට, මිරිස් කුඩු ටිකක් එකතු කරලා කබලේ බැදගන්න. දැන් මේක ග්‍රයින්ඩර් එකට දාලා හොඳින් අඹරලා පේස්ට් එකක් හදාගන්න. 
  • පෑන් එකක තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වී ගෙන එද්දි ඒකට උළුහාල්, ළූණු, සුදුළූණු හා රම්පා එකතු කර බදින්න. පසුව ඒකට අඹරාගත් පේස්ට් එක හා කොස් ඇට ටික එකතු කරලා විනාඩි පහක් විතර කලවම් කරන්න. 
  • ඉන්පසු දියකිරි, ලුණු හා උම්බලකඩ එකතු කර ගින්දර වැඩි කරන්න. හොද්ද උතුරන්න පටන් ගත්තහම ගින්දර අඩුම කරලා පියන වහලා කොස් ඇට ටික හොඳින් තැම්බෙන්න තියන්න.
  • කොස් ඇට හොඳටම තැම්බුනාම මිටිකිරි එකතු කරලා ඉස්ම කොස් ඇට වල දැවටෙන ගාණට එනකල් හින්දගන්න. අන්තිමට දෙහි යුෂ ටිකක් එකතු කරන්න. 

 

3. බිලිං අච්චාරු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිලිං ගෙඩි 30ක් පමණ 
  2. අමුමිරිස් කරල් 6-7
  3. රතුළූණු ගෙඩි 2
  4. රම්පා හා කරපිංචා 
  5. හාල් මැස්සන් 50g පමණ
  6. මිරිස් කුඩු මේස හැඳි 1
  7. කෑලි මිරිස් මේස හැඳි 1 
  8. ලුණු කුඩු තේ හැඳි 1 
  9. බැදගත් කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
  10. සීනි තේ හැඳි 1
  11. කුරුඳු පොතු කැබැල්ලක් 
  12. විනාකිරි කෝප්ප 1 /2
  13. පොල්තෙල් 1/4 පමණ 
  14. දෙහි යුෂ ටිකක්

 

  • මුලින්ම බිලිං සෝදලා දික් අතට කපන්න. ඒ ටික ගැඹුරු තෙලේ බැදගන්න. සෝදලා ගත්ත් හාල් මැස්සන්ද ගැඹුරු තෙලේ බැද ගන්න. 
  • මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි දමා රත් කරන්න. (අනිවාර්යයෙන් මැටි වළඳක්ම ගන්න) විනාකිරි එකට රතු ළූණු දාලා විනාඩියක් තියලා ඉවත් කරන්න. ඒකටම අමුමිරිස් දාල විනාඩි භාගයක් තියලා ඉවත් කරන්න. 
  • දැන් ලිප නිවලා විනාකිරි වලට ගම්මිරිස්, මිරිස්කුඩු, සීනි, රම්පේ, කරපිංචා, කුරුඳු, කොත්තමල්ලි කුඩු දමා කලවම් කරන්න. බැදගත් බිලිං හා හාල්මැස්සන් කලවම් කරන්න.  

 

4. වැව් මාළු තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වැව් මාළු 500g 
  2. ලියාගත් බී ළූණු ගෙඩි 1ක්
  3. සුදුළූණු බික් 4-5
  4. කුරුඳු පොත්තක්
  5. ගම්මිරිස්කුඩු ස්වල්පයක් 
  6. මිරිස් කුඩු තේ හැඳි 5
  7. කහකුඩු තේ හැඳි 1/2
  8.  බැදපු තුනපහ තේ හැදි 1
  9. එනසාල් තුන හතරක්
  10. රම්පේ හා කරපිංචා
  11. ගොරකා පේස්ට් තේ හැඳි 2
  12. තක්කාලි ගෙඩි 2ක්
  13. ලුණු 
  14. ඉඟුරු කෑල්ලක්

 

  • මාළු සෝදලා අවශ්‍ය පමණට කපා ගන්න. බී ළූණු, සුදුළූණු, කුරුඳු පොත්තක්, එනසාල්, ඉඟුරු කැබැල්ලක් වංගෙඩියෙ දමා කොටාගන්න. 
  • භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැන්දක් වගේ දාලා රත් වුනාම ඒකට කොටා ගත් ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා ටික දාගන්න. 
  • රන්වන් පාටට බැදුණාට පස්සෙ මිරිස් කුඩු, කහ දාන්න. ඒක ටික වෙලාවක් බැදෙන්න ඇරලා වතුර අඩු කෝප්ප 2ක් එකතුකර උතුරන්න අරින්න. ඒකට ගම්මිරිස්, ගොරකා පේස්ට් ටික දමන්න. හොඳින් උතුරන කොට මාළු ටික එකතු කරලා, තක්කාලි කුඩා පෙති වලට කපලා උඩින් දාලා පියනකින් වහල හින්දගන්න. 

 

5. නෙළුම් අල මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නෙළුම් අල කිහිපයක් 
  2. අබ ඇට ටිකක් 
  3. උළුහාල් ටිකක්
  4. චොප්කරගත් සුදුළූණු බික් 3-4
  5. රම්පේ හා කරපිංචා කිහිපයක්
  6. කුරුඳුපොතු කෑල්ලක්
  7. චොප්කරගත් ළූණු ගෙඩි 1
  8. කහකුඩු ස්වල්පයක් 
  9. මිරිස්කුඩු තේ හැඳි 1
  10. අමු තුනපහ කුඩු තේ හැඳි 1
  11. කපාගත් අමුමිරිස් කරල් 2
  12. කපාගත් තක්කලි ගෙඩියක්
  13. මිටිකිරි කෝප්ප 1
  14. ලුණු
  15. තෙල් ස්වල්පයක් 

 

  • නෙළුම් අල සෝදලා පෙති කපාගන්න. මේකට ලුණු හා කහ ටිකක් දාලා වතුරෙන් තම්බගන්න. 
  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ හා උළුහාල් ටික දාගන්න. ටිකකින් ලියාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ හා කරපිංචා දාගන්න. 
  • මේ ටික බැදෙන්න ඇරලා තම්බාගත් නෙළුම් අල ටික දාලා තක්කාලි, මිරිස්කුඩු, තුනපහකුඩු හා කහකුඩු ටිකත් දාගන්න. කලවම් කරගෙන මිටිකිරි එකතු කරලා රස අනුව ලුණු දාලා හින්දගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *