මහා කඳුවැටි සහිත සුන්දර භූමි දර්ශන නරඹන්න හෙලිකොප්ටර ගුවන් මාධ්‍යය යොදාගන්නවා. සාමාන්‍ය ක්‍රමයට අපි සංචාර යන්න මාර්ගවල යන වාහන සහ ඕෆ් රෝඩ් වාහන පාවිච්චි කරනවා. ඒ එක්කම තවත් සංචාරක කොටසක් පයින්ම ගිහින් හයිකින් ට්‍රෙකින් හරහා සංචාරක අත්දැකීම් ලබාගන්නවා. ලංකාව කියන්නේ දූපතක්. මේ ලංකා දූපත වටේ තියෙන තැන් කිහිපයක සහ අභ්‍යන්තර ජලාශ වල බෝට්ටු වලින් ගිහින් සංචාරක අත්දැකීම් ගන්නත් පුලුවන්. මේ වගේ බෝට්ටුවලින් ගිහින් ගන්න සංචාරක අත්දැකීම් මොන වගේද? ඒ තැන් මොනවද? අපි ටිකක් ඒ ගැන කියවලා බලමු.
1. මාදු ගඟ

Image Source – holidaycheck.de
දකුණු පළාතේ බලපිටිය ආසන්නයේ පිහිටා ඇති මාදු ගඟ බෝට්ටු සවාරිය, ගාලු පාර අයිනෙන්ම සලසාගත හැකි පහසු බෝට්ටු ගමනකි. මේ ගමනේදී මාදු ගඟේ ඇති කඩොලාන පරිසරය මැදින් සිසිලසින් ගමන් කිරීමට මෙන්ම, විවිධ ආකාරයේ කඩොලාන වර්ග දැකබලාගන්නටත් හැකියි. මේ බෝට්ටු සවාරියේදී අතරමග හමුවෙන විශේෂිත වූ වෙළඳසැල්ද තිබෙනවා. කුඩාවට අටවාගත් අට්ටාලවල සිට විකුණන තැඹිලි සහ පළතුරු ආදිය සංචාරකයින්ට බෝට්ටුවල සිටම මිලදී ගන්නට පුලුවන්කම තියෙනවා. කලපු ධීවර කර්මාන්තයේ අවස්ථා කිහිපයක්ම බලාගත හැකි මාදු ගඟේදී, ඉස්සන් කොටු සහ කුඩා ඔරුවලින් මාලු අල්ලන ධීවරයින් විසි දැල් විසි කරන ආකාරය ආදියත් සංචාරයේ යෙදෙන කාලය අනුව නරඹන්නට ලැබෙනවා.
2. ඩෙල්ෆ්ට් දූපත

Image Source – lucycalder.com
ඩෙල්ෆ්ට් දූපත තියෙන්නේ යාපනේ ඉහළ කෙළවරේ. ඩෙල්ෆ්ට් යන බෝට්ටු නවත්තලා තියෙන්නේ කුරිකඩ්ඩුවාන් ජැටියේ. ඒ කුරිකඩ්ඩුවාන් ජැටියෙන් තමයි නාගදීපෙට යන බෝට්ටු යන්නෙත්. කුරිකඩ්ඩුවාන් වලට යාපනේ ඉඳලා කිලෝමීටර 33ක් තියෙනවා. ඒ දුර එන්න බස් තියෙනවා යාපනේ ඉඳලා. කුරිකඩ්ඩුවාන් වල ඉඳන් උදේ 7 සිට සවස 4.30 දක්වා බෝට්ටු ගමන් වාර 5ක් ඩෙල්ෆ්ට් දූපත වෙත යනවා. ඩෙල්ෆ්ට් දූපත වර්ග කිලෝමීටර 50ක විතර ලොකු දූපතක්. මේ දූපතේ නරඹන්න තැන් විදියට යටත් විජිත සමයේ සහ ඉන් පෙර වූ පෞරාණික ස්ථාන කිහිපයක්ම තියෙනවා. තරමක වියලි පසුබිමක තියෙන ඩෙල්ෆ්ට්, හුණුගල් තට්ටුවක් මත පිහිටි තැනක්. එයටම ආවේණික වූ ගතිසොබා වලින් යුතු ඩෙල්ෆ්ට් වල තල් රා එහෙමත් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම.
3. බත්තලංගුණ්ඩුව

Image Source – twitter.com
කල්පිටියේ අත වගේ ලංකාවෙන් වෙන් වෙලා පිහිටලා තියෙන අර්ධද්වීපයේ කෙළවරක තමයි බත්තලංගුණ්ඩුව තියෙන්නේ. බත්තලංගුණ්ඩුවට යන්න කල්පිටියේ ඉඳලා වේගවත්ම බෝට්ටුවක ගියත් පැයක් හමාරක් යනවා. කල්පිටියේ ඉඳලා කිලෝමීටර 40ක විතර දුරින් තියෙන බත්තලංගුණ්ඩුව වටේ තියෙන නිල්වන් මුහුද සහ සුදුපාට වෙරළ තීරය බොහොම ලස්සන එකක්. බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්නේ සම්පූර්ණයෙන්ම වගේ ක්‍රිස්තියානි ජනතාව. ඔවුන් මාලු අල්ලන රස්සාව තමයි ජීවිකාව විදියට කරන්නේ. එහා කෙළවරේ ඉඳන් කිලෝමීටර තුනහතරක් විතර දිගට දූපත තිබුනත්, දූපත පළලින් අඩුයි. මේ පැත්තේ වෙරළේ ඉඳන් පෝඩ්ඩක් මාලු වාඩියකට ගොඩ උනොත් එහා පැත්තේ වෙරළ පේනවා. ධීවර ජනතාවගේ කටුක ජීවිතය, සුන්දර පරිසරය සහ ලස්සන බෝට්ටු සවාරියක් බත්තලංගුණ්ඩුව ගමනේදී ඔබට මුණ ගැහෙනවා.
4. අම්පාර සේනානායක සමුද්‍රය බෝට්ටු සවාරිය

Image Source – bluelakeridge.com
වනෝද්‍යානයක් කිව්වම අපිට මතක් වෙන්නේ ලොකු කැබ් එකකින් ගිහින් අලි, කොටි, වලස්සු බලන්න යන තැනක්. ඒත් ඉඟිනියාගල තියෙන ගල් ඔය ජාතික වනෝද්‍යානයේ බෝට්ටු සවාරියේදී නම් වනසතුන් බලන්නට තියෙන්නේ බෝට්ටුවේ ගිහින්. නොගැඹුරු ජලයේ බැහැලා ඉන්න අලි, මීහරක් වගේම වනාන්තරයේ සීමාවේ සිටින සතුනුත් ඉඟිනියාගල, ගල් ඔය බෝට්ටු සවාරියේදී මුණ ගැහෙනවා. මේ බෝට්ටු සවාරිය යන්නේ සේනානායක සමුද්රයේ. ඉඟිනියාගල ගල් ඔය වන ජීවී කාර්යාලයෙන් මෙම බෝට්ටු වෙන්කරගැනීම කරගන්නට හැකියි.
5. මඩොල් දූව බෝට්ටු ගමන

Image Source – deskgram.net
ගාල්ලට පහළින් දකුණේ කොග්ගල කියන්නේ දුම්රිය මග, බස් යන ප්‍රධාන මග, සහ ගුවන් පථයක් එකට හමුවෙන ස්ථානයක්. මේ කොග්ගල මලලගම හිටපු අපේ මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයාගේ මඩොල් දූව කතාවට ඔහු කුඩාකලදී කොග්ගල ඔයේදී ගත් අත්දැකීම්ද අනිවාර්යෙන්ම ඇතුළත් වන්නට ඇති. මඩොල් දූව කියලා අද හඳුන්වන්නේ කොග්ගල් ඔයේ දූපතක්. මාලුන් විසින් කකුල් වල දැවටෙමින් සිදුකරන ෆිෂ් තෙරපිද දැන් කොග්ගල ඔයේ මඩොල් දූව බෝට්ටු ගමන් වලදී ලබාගන්නට හැකියි. මඩොල් දූව බෝට්ටු සවාරිය ගන්නවා නම්, ඒ අහළ පහළම තියෙන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ කෞතුකාගාරය බලලා එන්නත් අමතක කරන්නට එපා.
6. කල්පිටිය ඩොල්ෆින් බැලීම

Image Source – megaonetravels.lk
කයිට් සර්ෆින්, කඩොලාන බැලීම්, තලවිල පල්ලිය බැලීම, බත්තලංගුණ්ඩුව, දූපත් සවාරි ආදී විශාල පරාසයක විනෝද වැඩ ගොඩක් කල්පිටියේදි සංචාරකයින්ට හමුවෙනවා. එයින් ඩොල්ෆින් බැලීම ගොඩක් අය අතර ජනප්‍රියයි. කල්පිටියේ බලන්න හැකි ඩොල්ෆින් ජාති දෙකයි. එකක් තමයි ඇත්තටම මුහුදේ ඉන්න ඩොල්ෆින්, අනෙක් ඩොල්ෆින් තමයි කලපුවේ ඉන්න ඩොල්ෆින්. කලපුවේ ඉන්න ඩොල්ෆින් කණ්ඩායම් බෝට්ටු එක්කම පීනන්නේ ඔවුන් අපේ ගමනට පෙරහැරකින් එක්වෙනවා වාගේ. මුහුදේ ඩොල්ෆින් නම් මුහුද සැර කාලයට බලන්නට අමාරුයි. ඒත් අමාරුවෙන් හරි බලාගත්තොත් ඩොල්ෆින් ඉක්මනින්ම අපි එක්ක මිතුරු වෙනවා. අපිට පේන්න ළඟපාත ඉඳගෙන වරල් ගහනවා, වැඩ දානවා. ඒ වගේම මේ මුහුදු ඩොල්ෆින් බලන්න යන ගමනේදී සජීවී කොරල් පර දැකගන්නත් අවස්ථාවක් ලැබෙනවා. කල්පිටියේ ඩොල්ෆින් සංචාර කරන තැන් කිහිපයක්ම තිබෙන අතර, කල්පිටියට නිවාඩුවකට ගියොත් එයින් තැනක් හරහා ඩොල්ෆින් බලන්නට යන්න හැකියි.
7. ත්‍රීකුණාමල පරෙවි දූපත

Image Source – arts.cmb.ac.lk
ලංකාවේ තියෙන දූපතක තියෙන වනෝද්‍යානයක් තමයි ත්‍රීකුණාමලේ පරෙයි දූපත. මේ පරෙවි දූපත අවට තියෙන කොරල් පර අර හික්කඩුවේදි හමුවෙන කොරල් පර වගේ මියගිහින් නැහැ. බොහොමයක් ඒවා සක්‍රිය මට්ටමින් තියෙනවා. අතීතයේ යටත්විජිත කාලයේ පරෙවියන් මාර්ගයෙන් පණිවුඩ ගෙන ගිය සමයේ, පරෙවියන් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මෙම පරෙවි දූපත තිබිලා තියෙනවා. ජෛව විවිධත්වයෙන් පොහොසත් මෙම කළාපයේ කොරල් පර නැරඹීම බොහොම පරෙස්සමින් කළ යුතු දෙයක්. පරෙවි දූපතට බෝට්ටු සවාරි නම් නිලාවැලි වෙරළට ගිය විට සොයාගන්නට හැකියි.
වෙරළබඩ පරිසරයත් අනෙක් පරිසර පද්ධති වගේම බොහොම සංවේදී තැනක්. “මහපොලව වගේයැ, මේ වතුර නේ” කියලා පොඩි ටොපි කොළයක් හරි වතුරට දැම්මොත් ඒක කොහේ හරි වෙරළකට හෝ තොටුපලකට ගහගෙන ඇවිත් එතන අපවිත්‍ර කරනවා. ඒ නිසා වතුරේ කරන සංචාර වලදිත් කසල බැහැර කිරීම ගැන ටිකක් අවධානෙන් ඉන්නට ඕනා. ඒ වගේම කොරල්, කඩොලාන වගේ සංවේදී පරිසර පද්ධතිවල හැකිතාක් හානිය අවම වෙන විදියට ඒවා බලන්නත් ඕනා. නැතිනම් අපිට “මේ තැන් වල කොරල් පර තිබුනා, මේ තැන්වල ලස්සන කඩොලාන තිබුනා, මේ තැන්වල ලස්සන මුහුදු වෙරළ තිබුනා…” ආදී අතීත කාලෙන් තමයි අනාගතයේදි මේ ලස්සන තැන් විස්තර කරන්න වෙන්නේ. හැමදාම යන වාහන ට්‍රිප් වගේම වතුරේ යන බෝට්ටු ට්‍රිපක් කියන්නෙත් යන්නම ඕනි, ගිහින් ගන්නම ඕනි අත්දැකීමක්.
Leave a Reply