හවස් අතේ යාලු මිත්තරයෙක් දෙන්නෙක් එක්ක යන්න අපූරු රූෆ් ටොප් බාර් කීපයක්!

සාමාන්‍යයෙන් ඔය බොන දේවල් සම්බන්ධයෙන් ගත්තහම, අපි කවුරුත් යන විවිධාකාරයේ බාර් තියෙනවා. ගොඩක් බාර් වල එලියේ ඉඳන් කටට හලාගත්තොත් ඇරෙන්න ඉඳගෙන හෙමිහිට බොන්න බෑ. එතකොට අපි යන එන තව ගොඩක් බාර් වල පොඩ්ඩක් සෙනඟ හිටියත්, සද්ද බද්ද තිබුණත් සෙට් වෙලා වාඩි වෙලා නිවීහැනහිල්ලේ ෂොට් එකක් දාන්න පුළුවන්. එතකොට තවත් සමහර බාර් තියෙනවා, ඒවල බොහොම නිස්කලංකේ වාඩි වෙලා, ඔය රිලැක්සින් මියුසික් එකක් එහෙම අහගෙන, සැපේ ඉඳගෙන ෂොට් එකක් දාන්න පුළුවන්. මෙව්වා ක්ලාස් එකෙන් පොඩ්ඩක් උඩින් තියෙන බාර් තමයි. හැබැයි ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ට වුනත් කලාතුරකින් හරි යන්න බැරි තරම් මාරම උඩකින් තියෙන බාර් කියලා මෙව්වට කියන්න බැහැ. මොකද බිල ටිකක් වැඩි වුනත්, සාමාන්‍ය බාර් එකකට ගිහින් හොඳට බොන මනුස්සයෙක්ට දරන්න බැරි තරම් බිලක් මේවයේ එන්නෙ නෑ. අන්න ඒ නිසා අපි හිතුවා අපි ගිහින් අත්දැකීම් තියෙන, හොඳයි කියන්න පුළුවන් රූෆ් ටොප් බාර් කීපෙක විස්තර ඇතුළත් කරලා ආටිකල් එකක් ලියන්න!

 

1.The Kingsbury Hotel Sky bar

රූෆ් ටොප් බාර් ගැන ලියනකොට කින්ග්ස්බරි එකේ ස්කයි ලෝන්ජ් එක ගැන මුලින්ම නොලියා බැහැ. මොකද කොළඹ තියෙන පරණ රූෆ් ටොප් බාර් එකක් වුණු නිසයි, අපිට සෑහෙන්න අත්දැකීම් ඔතන තියෙන නිසයි තමයි. ඒත් දැන් ඒක තවදුරටත් ස්කයි ලෝන්ජ් නෙවෙයි. රූෆ් ටොප් එකේ තියෙන්නේ CÉ LA VI කියන මොඩර්න් ඒෂියන් රෙස්ටුරන්ට් ඇන්ඩ් ලෝන්ජ් එක. හැබැයි එතනින් එහාට ස්කයි බාර් කියලා පරණ බාර් එක අලුත් විදියට තියෙනවා. තාමත් ඉස්සර වගේම හොඳ කොක්ටේල් එකක්, ෂොට් එකක් දාගන්න, නිදහසේ වාඩි වෙලා අහස දිහා බල බලා කථා කර කර ඉන්න මෙතන ඉස්තරම්! හැබැයි දැන් මෙතන ගණන් නම් ස්කයි ලෝන්ජ් එක තියෙන කාලෙට වඩා සෑහෙන්න වැඩියි කියන එකත් කියන්නම වෙනවා.

තැන: 

 

2. Mövenpick Hotel Vistas Bar

අනික් රූෆ් ටොප් බාර් වල දකින්න ලැබෙන තදබද ගතිය නැති, කොල්ලුපිටිය නගරයත් එක්ක ඈතින් ඈතට පේන සුන්දර දර්ශනයත් එක්ක පුදුම නිදහස් ගතියක් දැනෙන රූෆ් ටොප් බාර් එකක් තමයි මූවන්පික් හොටෙල් එකේ උඩ තියෙන විස්ටාස් බාර් එක. බොහොම සුන්දර දර්ශනයක් දිහා බලාගෙන, නිස්කලංකේ බර්බන් වීදුරුවක් තොලගාන්න විතරක් නෙවෙයි, ඕන නම් ෂීශා පාරක් දාන්නත් විස්ටාස් එක මරු. ගොඩක් වෙලාවට මෙතන පැක් වෙන්න සෙනඟ පිරෙන්නෙත් නැති නිසා, නිදහසත් උපරිමේටම තියෙනවා. තව දෙයක්. මෙතන ශීෂා පාරක් දානවනම් මතක තියාගන්න, වතුර වෙනුවට මේ අය කොක්ටේල් දාලා වෙනමම ශීෂා එක්ස්පීරියන්ස් එකක් ලබාදෙනවා. තමන්ට ඕන ෆ්ලේවර් එකකින් පිස්සුම හැදෙන ශීෂා ආතල් එකක් ගන්න පුළුවන්!

තැන: 

3. Best Western Hotel VU Restobar

කිරුළපන තියෙන බෙස්ට් වෙස්ටර්න් හොටෙල් එක ගොඩක් නිදහසේ ගිහින් නිදහසේ ඉඳලා ෂොට් එකක් දාගෙන, කථාවක් දාගෙන ඉඳලා එන්න කැමති අය අතරේ ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් කොළඹ රූෆ් ටොප් බාර් එකක නැති විදියට බොහොම ඉඩ කඩ තියෙන අවකාශයක් මේ රෙස්ටොබාර් එකට වෙන් වෙලා තියෙන එකත් ඒකට එක හේතුවක්. ඒ වගේම අර එපා වෙන තරමට සෙනඟ මෙතනට පැක් වෙන්නේ නැති එකත් තව හේතුවක්. හවස් වරුවක මෙතනට වෙලා, නිස්කලංකේ මියුසික් එකක් අහගෙන, කොක්ටේල් එකක් රස විඳලා, මිතුරු සාමීචියක යෙදිලා, සැහැල්ලු ෆීලින් එකක් එක්ක පිටවෙලා යන්න මෙතන මරු.

තැන:

 

4. Cinnamon Red Cloud Red

කොළඹ නගරේ හදවත මැදම වගේ කියන්න පුළුවන් තැනක පිහිටලා තියෙන සිනමන් රෙඩ් හොටෙල් එක ආනන්ද කුමාරස්වාමි මාවත හරහා කොල්ලුපිටියට යන ඕනම කෙනෙක්ට පේන්න තියෙනවා. මේ සිනමන් රෙඩ් හොටෙල් එක අපේ ආකර්ෂණය දිනාගන්න හේතු වුණු කාරණා දෙකයි. එකක් මෙතන තියෙන ඉන්ෆිනිටි පූල් එක. අනික මෙතන රූෆ් ටොප් එකේ තියෙන ක්ලවුඩ් රෙඩ් බාර් එක. හවස් අතේ කොළඹ අහස අපිට පේන්නේ රතු පාට සහ කහ පාට විවිධ වර්ණ මට්ටම් වල සංකලනයක් වුණු අපූරු චිත්‍රයක් විදියට. ඒ අපූරු බව රසවිඳීම තවත් තීව්‍ර කරන්න පුළුවන් අතේ කොක්ටේල් වීදුරුවකුත් තියෙනවා නම්. දැන් තේරෙනවනේ ඇයි මේකට ක්ලවුඩ් රෙඩ් කියලා නම දාලා තියෙන්නේ කියලා. අනිත් එක, ඇල්කොහොල් පාවිච්චියක් නැති, මොක්ටේල් වලට කැමති ඔබේ යාලුවට කියන්න මෙතන තියෙන චොකලට් මොක්ටේල් එකක් රහ බලන්න කියලා. ආයි මෙතන දාලා යන එකක් නෑ!

තැන: 

 

5. OZO Colombo ON14

තවත් මුහුද අද්දර තියෙන සිටි හොටෙල් එකක් තමයි ඕසෝ කලම්බු කියන්නේ. හැබැයි අපි කථාකරන්න යන්නේ මේ අයගේ රූෆ්ටොප් බාර් එක වුණු ON14 ගැන. මෙතනටත් අපි වැඩිපුරම යන්න හේතුව වුණේ මෙරීන් ඩ්‍රයිව් එකෙන් එහාට පැතිරිලා තියෙන පරක් තෙරක් නැති ඉන්දියානු සමුද්‍රයත්, වෙරළ තීරයත් එක්ක දකින්න පුළුවන් සිත් කුල්මත් කරන විදියේ දර්ශනය. ඒකට  මුහුදු හුළඟත්, ශ්‍රී ලංකා අරක්කු දාලා හදපු නියම කොක්ටේල් එකකුත් එකතු වෙනවා කියන්නේ හවස් වරුව සම්පූර්ණයි කියන එක. පැත්තක පූල් එකකුත් තියෙන එකෙන් ඒ ෆීලින් එක තව තීව්‍ර වුනත්, අවාසනාවකට වගේ බාර් එකට විතරක් යන කෙනෙක්ට පූල් එක පාවිච්චි කරන්න බෑ!

තැන:

6. Fairway Colombo Botanik Rooftop Bistro & Bar

කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශය අහසේ ඉඳලා බලනකොට අමුතුම ආකර්ෂණයක් තියෙනවා කියලා කවද හරි හිතලා තියෙනවද? අපි බය නැතුව නිර්දේශ කරනවා, කොළඹ නගරය ඇත්තටම විඳින්න ඕන නම් රූෆ් ටොප් එකක ඉඳලා කොටුව, පිටකොටුව ප්‍රදේශය නරඹන්න කියලා. ඒකට අතේ විස්කි වීදුරුවකුත් තියෙනවා නම් අත්දැකීම සම්පූර්ණයි! ආන්න ඒ වැඩේට ගැලපෙනම තැනක් තමයි කොළඹ කොටුවේ තියෙන ෆෙයාර්වේ හොටෙල් එක. හරියටම් කියනවා නම් ෆෙයාර්වේ හොටෙල් එකේ අට වෙනි තට්ටුවේ රූෆ් ටොප් එකේ තියෙන බොටැනික් බාර් එක. මේ අයගේ බාර් මෙනු එකත් ඉතාම දීර්ඝයි. විශේෂයෙන්ම බොන එකේ වෙනස් වෙනස් අත්දැකීම් හොයන අයට සතියකට සැරයක් බොටැනික් එකට ගියත් අවුරුදු ගණනාවක් යනකල් ඒක හැමදාමත් අලුත් අත්දැකීමක් වෙයි!

තැන: 

7. Jetwing Colombo Seven Ward 7

කොළඹ හතේ වෝඩ් ප්ලේස් එකේ තියෙන ජෙට්වින්ග් කලම්බෝ සෙවන් හොටෙල් එක තාමත් කොළඹට අලුත් කියලා තමයි දැනෙන්නේ. මේකේ 13 වෙනි තට්ටුවේ තියෙන රූෆ්ටොප් රෙස්ටොබාර් එක වුණු වෝඩ් 7 කියන්නෙත් අපිට තාමත් නැවුම් අත්දැකීමක්. ඈතට ඈතට පැතිරිලා තියෙන කොළඹ නගරය මනාව දර්ශනය කරන්න පුළුවන් මේ රෙස්ටොබාර් එකේ තියෙන්නේ බොහොම සුඛෝපභෝගී, නවීන පෙනුමක්. ඒ වගේම හැමතැනම පැතිරිලා තියෙන්නේ පුදුමාකාර පිළිවෙල, නීට් ගතියක්. ඒ ෆීලින් එකත් එක්ක සමහර වෙලාවට නීට් විස්කි වීදුරුවක් ගාණට මැච් වෙලා එන්නත් බැරි නෑ. විශේෂයෙන්ම මෙතන අනික් රූෆ්ටොප් බාර් වලට වඩා වෙනස් විදියට බොහොම සරල, නීට්, සුඛෝපභෝගී පෙනුමක් පවත්වා ගෙන යන අතරම, මියුසික් වත් නැතුව, මෙතනට එන අයට වෙනස්ම අත්දැකීමක් අත්විඳින්න සලස්වනවා.

තැන: 

එහෙමනම් හරිනේ. දවසක ගිහිල්ලා, කොක්ටේල් පාරක් දාලා, අහසේ ඉඳන් පේන සොබා අසිරිය විඳලා එන්නයි තියෙන්නේ. මේ වෙනකොටත් ගියපු යාලුවන්ට පුළුවන් කමෙන්ට් එකක් එහෙම දාලා විස්තර කියන්න. මේ වගේ තමන් ගිහින් තියෙන තවත් තැන් ගැනත් කියන්න පුළුවන්. යන්න හිතාගෙන ඉන්න යාලුවන්ට පුළුවන් ඒකට ඇදගෙන යන්න ඕන යාලුවන්ව මෙන්ෂන් කරලා පුණ්‍යකර්මයක් කරගන්න.

හැබැයි එකක්, පමණට වඩා පානය කිරීම පොකට් එකටත්, ජීවිතේටත් කේස් වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන. පමණට වඩා පානය කරලා වාහන එලෙව්වොත් බඩුම තමයි කියලත් මතක තියාගන්න ඕන. මද පමණට පානය කරලා සැපේ ඉන්න එක තමයි මධුපානය කිරීමේ ආට් එක කියලත් මතක තියාගන්න ඕන!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *