කඩෙන් නිතර මිලදී ගන්න කිරි ආශ්‍රිත නිෂ්පාදන 7ක් ගෙදරදීම හදාගන්න රෙසිපි

කිරි වලින් හදන්න පුළුවන් කෑම වර්ග බොහොමයක් තියනවනේ. ඒ අතරින් කිහිපයක් තමයි අපි අද ඔයාලට ගෙනාවේ. හැමදාම කඩෙන් ගන්න මේ කිරි නිෂ්පාදන ගෙදරදීම ලේසියෙන් හදාගන්න හැටියි මේ. මේ වගේ තවත් රසවත් රෙසිපි එක්ක රැඳිලා ඉන්න හැමදාම අපිත් එක්කම ඉන්න ඕනේ හොඳේ.

 

1. යෝගට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1
  2. මුහුන් සඳහා යෝගට් එකක්
  3. ජෙලටින් මේස හැන්දක්
  4. සීනි ග්‍රෑම් 120
  5. වැනිලා තේ හැඳි 1
  6. ලුණු පින්ච් එකක්

 

  • ජෙලටින් ටික පෙඟෙන්න තියලා ඩබල් බොයිල් කරගන්න. භාජනයකට කිරි ටික දාලා ලිපේ තියන්න. සීනි හා ලුණු ටික දාගන්න. ජෙලටින් ටිකත් දාගෙන හැඳිගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. 
  • විනාඩි 20ක් විතර යනකොට බුබුලු දාලා උතුරන්න ගන්නවා. ඉතුරුවාට පස්සෙ ලිපෙන් බාගන්න. එහෙම්ම තියන්න ටිකකින් යොදය මිදෙනකල්. ඊට පස්සෙ යොදය අයින් කරන්න. 
  • තරමකට නිවුනට පස්සෙ යෝගට් එක හා වැනිලා ටික එකතු කරලා බීට් කරන්න. දැන් පෙරලා අරන් යෝගට් කප් වලට දාලා නොසෙල්වෙන තැනක තියලා, වොට් 60ක බල්බ් එකක් දාපු පෙට්ටියක පැය 3ක් වගේ තියලා ෆ්‍රිජ් දාගන්න.

 

2. මුදවපු කිරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1
  2. මුහුන් සඳහා මුදවපු කිරි මේස හැඳි 3
  3. ලුණු (කැමතිනම්)

 

  • භාජනයකට කිරි ටික දාලා ලිපේ තියාගන්න. බුබුලු දාලා නටනකොට වෙන භාජනයකට දාගන්න. නිවෙන්න තියන්න.
  • උණු කරගත් කිරි වලට ඇඟිල්ලක් දාන්න පුළුවන් රස්නෙට නිවුනම මුදවපු කිරි ටික දාගෙන කලවම් කරගන්න.දැන් හෙලවෙන්නෙ නැති වෙන්න පැත්තකින් තියලා තියන්න. මිදුණට පස්සෙ ෆ්‍රිජ් එකට දාගන්න.

 

3. බටර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. විප් ක්‍රීම් 200ml
  2. ලුණු

 

  • සාමාන්‍යෙන් අපි විප් ක්‍රීම් පාවිච්චි කරන්නෙ විපින් අයිසින් එකටනෙ. එතකොට බීට් කරන්නෙ හිම වගේ මිදෙනකල්නෙ. මේක ඊටත් වඩා බීට් කරන්න ඕනෙ. ලුණු එක් කරගත් විපින් ක්‍රීම් දිගටම බීට් කරන් යනකොට හිම ගතිය නැතිවෙලා ආයෙම එකතු වෙනවා. 
  • තවදුරටත් බීට් කරනකොට ක්‍රීම් එකේ ෆැට් එක වෙන් වෙලා භාජනයට වතුර එකතුවෙනවා පෙනෙයි.ඒ වගේම බටර් හැදිලා තියනවත් පෙනෙයි. දැන් පිරිසිදු රෙදිකෑල්ලක් අරගෙන මේ ටික දාලා වතුර ටික මිරිකලා අයින් කරගන්න. දැන් වතුර නැති පීරිසියකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න.

 

4. ෆ්‍රෙශ් ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  2. එළවළු තෙල් කෝප්ප  1 1/2
  3. ලුණු පින්ච් එ​කක්

 

  • මේ ඔක්කොම  එකට දාලා හෑන්ඩ් මික්සර් එකෙන් ගසාගන්න. උකු ගතියට එනකල් බීට් කරගන්න.

 

5. පනීර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1
  2. දෙහි යුෂ කෝප්ප 1/2

 

  • කිරි ටික භාජනයකට දාලා ලිපේ තියන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන්න. කිරි ටික උතුරගෙන එනකොට දෙහි යුෂ ටික දාලා හැඳිගාන්න. එතකොට කිරි කැටි ගැහිලා වතුර වෙන්වෙනවා. 
  • දැන් පිරිසිදු රෙදි කෑල්ලකට දාලා වතුර ටික පෙරලා අරන් ඒ මිශ්‍රණය රෙදි කෑල්ලෙන් තදට ගැටගගන්න. රෙදි කෑල්ලෙම තියෙද්දි හතරැස් හැඩයට අතින් හදාගෙන උඩින් බරට හිටින්න භාජනයක් තියල ෆ්‍රිජ් එකට දාගන්න. කෑලි කපලා ගන්න. පනීර් ව්‍යාංජන, ඩෙවල්, බැදලා මේ ඕනම විදියකට කන්න පුළුවන්. 

 

6. යෝගට් පානය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරිපිටි ග්‍රෑම් 200
  2. සීනි ග්‍රෑම් 250
  3. වතුර ලීටර් 2
  4. ජෙලටින් ග්‍රෑම් 8
  5. වැනිලා තේ හැඳි 3
  6. කහපාට කලරින් බිංදු කිහිපයක් 
  7. යෝගට් මේස හැඳි 2

 

  • ජෙලටින් වතුර මේස හැඳි හතර පහක පෙඟෙන්න තියලා ඩබල් බොයිල් කරගන්න. සීනි සහ පිටි වෙනම බඳුනක මිශ්‍ර කරගන්න. වතුර ලීටර් 2 ලිපේ තියලා උණුවෙනකොට සීනි හා පිටි මිශ්‍රණය දාගන්න. ජෙලටින් ටිකත් දාගන්න.
  • දැන් හැඳිගාමින් උතුරන්න දෙන්න. ඇඟිල්ල දාන්න පුළුවන් තරමට නිවුනම යොදය අයින් කරලා යෝගට් ටික දාගන්න. වැනිලා සහ කලරින්  ටිකත් දාගන්න. රෙදි කෑල්ලකින් පෙරලා බෝතල් වලට වක්කරලා වොට් 60ක බල්බ් එකක් දාපු පෙට්ටියක පැය 3ක් වගේ තියලා ෆ්‍රිජ් දාගන්න.

 

7. ක්‍රීම් චීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1
  2. විනාකිරි කෝප්ප ½
  3. ලුණු

 

  • ලුණු එක් කළ කිරි ටික උණු වෙන්න තියලා උතුරනකොට විනාකිරි ටික දාගන්න. මේ ටික වෙන්න විනාඩි 30-40ක් වගේ යනවා. දැන් කිරි ටික ටික කැටි ගැහීගෙන එනවා පෙනෙයි. සම්පූර්ණයෙන්ම කැටි වෙලා වතුරෙන් වෙන් උනාම පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ඒ මිශ්‍රණය එහෙම්මම ගැටගහලා තියන්න. වතුර හොඳින් ඉවත් උනාම බීටරයකින් ක්‍රීම් ගතියට එනතුරු බීට් කරගන්න. ෆ්‍රිජ් එකේ දාලා තියලා කෑමට ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *