කෑමබීම වලට ආසද? කෑම ජාති හදනවා බලන එක ත්‍රිල් ද? එහෙමනම් මෙන්න ඔබටම ගැලපෙන යූටියුබ් චැනල් කීපයක්!

කෑම බීම ගැන කියනකොට ඉතින් කවුද ඉන්නේ කෑමබීම වලට අකමැති. හැබැයි මේ කෑම බීම සම්බන්ධයෙන් ගත්තහම තියෙන සිරා සිද්ධියක් තමයි, කෑම බීම කන බොන එක වගේම, කෑම බීම හදන විදිය නරඹන එකත් අමුතු ෆන් එකක් වීම. ඒ කියන්නේ අපිට කෙනෙක් කෑමක් හදන හැටි බලාගෙන ඉන්න එකේ හොඳ වින්දනයක්, තෘප්තියක් තියෙනවා. හැබැයි මේ කියන්නේ කෑම හදන්න කියලා දෙන වීඩියෝ ගැන නෙවෙයි. ඒවා හොඳයි ඒක බලලා තමන්ට කෑමක් හදන්න ට්‍රයි එකක් දෙන්න. මේ කියන්නේ, එහෙම නැතුව මොකක් හරි කෑමක් හදලා පෙන්නන වීඩියෝ ගැන. එහෙම වීඩියෝ එකක් කරන කෙනෙක්ට අපි ඒ කෑම එක හදලා බැලුවත් එකයි, නැතත් එකයි. අපිටත් ඇත්තටම ඒක හදලා බලනවට වඩා ඕන කරන්නේ බලන් ඉන්න ආතල් එක ගන්න.

ආන්න ඒ ත්‍රිල් එකට ආස අයට ගැලපෙන YouTube චැනල්ස් කීපයක් තමයි මේ.

 

1. WILDERNESS COOKING

අසර්බයිජානයේ, ගබාලා වල තියෙන කමාර්වන් කියන පිටිසරබද ගම්මානයේ හිමවැටුණු එළිමහනක ඉඳන් හරක්මස් අක්මා සහ හදවත් වලින් රසම රස මෘදු කෙබාබ් එකක් හදනවා බලන්න කවුද ආස නැත්තේ? එතකොට කඳුකරයේ එළිමහනක ඉඳන් ස්ටර්ජන් මාළුවෙක් තෙල් දානවා බලන්න ආස නැද්ද? නැතිනම් හිම වැටුණු උදේක කඳුකර එළිමහනක දැවැන්ත මස් කුට්ටියක් මැරිනේට් කරලා නිවාඩු දින කෑමවේලක් හදනවා බලන එක මොන තරම් තෘප්තියක් ගෙන දෙන ක්‍රියාවක්ද? ආන්න ඒක තමයි මේ WILDERNESS COOKING චැනල් එකේ තියෙන විශේෂත්වය. අසර්බයිජාන් වල ඉන්න මේ හාදයා කෙලින්ම කඳුකරයේ, වනගත ප්‍රදේශ වල එළිමහනේ තමයි මේ උයන පිහන එව්වා කරන්නේ. විශේෂයෙන්ම මස්මාංශ ලෝලීන්ට නම් මේ චැනල් එක සෑහෙන්න අල්ලලා යයි.

 

2. Best Ever Food Review Show

මේක සෑහෙන්න ජනප්‍රිය ෆුඩ් චැනල් එකක්. හැබැයි කෑම හදන චැනල් එකක් නෙවෙයි. ඇමරිකානු චිත්‍රපටි නිර්මාණකරුවෙක් වෙන විල් සොන්බච්නර් නැතිනම් හැමෝම දන්න විදියට සොනී සයිඩ් තමයි මේක කරන්නේ. ගොඩක් දෙනෙක් BEFRS කියලා දන්න මේ චැනල් එකේ තියෙන්නේ සොනී සයිඩ් තමන්ගේ ප්‍රඩක්ෂන් කෘ එකත් එක්ක ලෝකේ විවිධාකාරයේ ආහාරපාන තියෙන තැන්වලට ගිහින් කරපු වීඩියෝ තමයි. සොනී තෝරගන්න ෆුඩ් ඩෙස්ටිනේෂන් එක්ක අපිට ටිකක් අර Bizzare Foods කරපු ඇන්ඩෘ සිමන්ස් වත් මතක් වෙනවා. හැබැයි මේ ෂෝ එකේ තියෙන කෑම වීඩියෝ වල එක එක විදියේ කතාන්තරත් තියෙනවා. නයිජීරියාවේ ස්ට්‍රීට් ෆුඩ්, මධ්‍යම වියට්නාමයේ බයික් ටුවර් එකක් යනකොට අතරමග මුණගැහෙන කෑම වර්ග, කියුබාවේ ෆැන්සි කෑම, තායිලන්තේ දුර්ලභ කෑම වර්ග වගේ සෑහෙන්න පරාසයක කෑමබීම සොනී සයිඩ් කවර් කරනවා.

 

3. Food Wishes

ජෝන් මිට්ස්විච් නැතිනම් චෙෆ් ජෝන් කියන්නේ කුකින් වීඩියෝස් වල ප්‍රසිද්ධ ඇමරිකානු චෙෆ් කෙනෙක්. මෙයා කරන YouTube චැනල් එක තමයි Food Wishes කියන්නේ. චෙෆ් ජෝන් කියන්නේ සූපවේදියෙක් නිසාද කොහෙද, මේ චැනල් එකේ තියෙන්නෙත් කෑම හදන විදිය කියලා දෙන තාලේ වීඩියෝස් තමයි. හැබැයි මේකේ කෑම හදනවා බලාගෙන ඉන්න ෆන් එක ඕනෑවටත් වඩා තියෙනවා. ඇත්තටම ෆුඩ් ආතල් එක දෙන වීඩියෝස් වලට වඩා කෑම හදන්න උපදෙස් දෙන වීඩියෝ වල තියෙන ලොකුම වෙනස වෙන්නේ, කෑම හදන්න උපදෙස් දෙන වීඩියෝ වල දිගින් දිගටම කරන කෙනා කතා කිරීම. මේකෙත් එහෙම තමයි. හැබැයි ඒක එච්චර ගණන් නොගෙන දිගටම බැලුවොත්, චිකන් ඇන්ඩ් රයිස් කැසරෝල් වල ඉඳලා බ්‍රේස් බීෆ් ෂෝර්ට් රිබ්ස් වෙනකල්, ක්ලැසික් චීස් ෆොන්ඩූ වල ඉඳලා බේක්ඩ් ස්පිනාච් ඇන්ඩ් ආටිචෝක් ටෝස්ට්ස් වෙනකල් අපූරු කෑම වර්ග හදන හැටි බලලා සතුටු වෙන්න පුළුවන්.

 

4. Village food factory

හල්වා හදන්නෙ කොහොමද? හල්වා කියන්නේ ඉන්දියාවේ වගේම බටහිර ආසියාවේ ගොඩක් රටවල ප්‍රසිද්ධ රසකැවිල්ලක්. ඉතින් මේ YouTube චැනල් එක කරන හාදයගේ තාත්තා වෙන ආරුමුගම් ආටා පිටි, ගිතෙල්, කජු, එනසාල්, හකුරු සහ වතුර විතරක් පාවිච්චි කරලා, දැවැන්ත තාච්චියක හල්වා හදනවා. මේක බලන් ඉන්න එකම මාර ආතල් එකක්. දැන් පැහැදිලියිනේ Village food factory චැනල් එක ගැන. ඉන්දියාවේ ඉඳන් කරන මේ චැනල් එකේ විවිධාකාරයේ ඉන්දියානු රසකැවිලි සහ කෑම වර්ග හදන විදිය පෙන්නනවා. බැදපු මාළු එක්ක එන ලෙමන් රයිස් වල ඉඳලා මට්න් බිරියානි දක්වා, කොකනට් චිකන් වල ඉඳලා ඩක් මැන්චූරියන් දක්වා, තක්කාලි අච්චාරු වල ඉඳලා ගෙදර හදන ඩෝනට් දක්වා විශාල පරාසයක ආසියානු කෑම වර්ග මෙතන තියෙනවා. මේකත් ෆුඩීස්ලට වෙනස්ම අත්දැකීමක් වෙයි.

 

5. How To Cook That

නැවුම් චෙරී එක්ක චොකලට් මික්ස් කරලා හදන්න පුළුවන් අපූරු ඩිසර්ට් එකක් තියෙනවද? නැත්තං කම්මැලිකමට ජින්ජර්බ්‍රෙඩ් හවුස් එකක් හදමුද? එහෙම පුළුවන්ද බැරිද කියලා අපෙන් අහන ඈන් රියර්ඩන් ඊට පස්සේ එව්වා හදලා පෙන්නනවා. මේ How To Cook That කියන YouTube චැනල් එක ඇත්තටම මේ ලිස්ට් එකේ තියෙන අනික් එකක් එක්කවත් ගැලපෙන චැනල් එකක් නෙවෙයි. මොකද, මේක කුකරි පැත්තට, ඒ කියන්නේ කෑම බීම හදන්න කියාදෙන පැත්තට බර චැනල් එකක් නිසා. ඒ හින්දම මේ චැනල් එකේ බාගෙට බාගයක් ඔය කුස්සියට ඕන කරන ටිප්ස්, කෑම හදනකොට අපි හිතාගෙන ඉන්න මිත්‍යා විශ්වාස ගැන එහෙමත් කතා කරන වීඩියෝස්. ඒත් අපි මේකත් ලිස්ට් එකට ගන්නේ විශේෂ හේතුවක් නිසා. මේකේ කෑම හදන වීඩියෝස් මාරම ආතල්. ඒවලිනුත් අපි මේ ආටිකල් එකේ කතා කරන ෆුඩ් ත්‍රිල් එක ගන්න පුළුවන්.

 

6. Tipsy Bartender

ෆුඩ් චැනල්ස් ගත්තහම අපිට සෙට් වෙන්නේ කන එව්වා විතරක් නෙවෙයිනේ. බොන එව්වත් අපිට ගාණට සෙට් වෙනවා. ඇත්තටම මේ චැනල් එකත් ෆුඩ් චැනල් එකකට වඩා බීම හදන්න උගන්නන YouTube චැනල් එකක් තමයි. හැබැයි අර කියපු ෆුඩ් ආතල් එකට නියමෙට සෙට් වෙනවා මේකත්. මේ චැනල් එකේ තියෙන්නේ බීම වර්ග. කොක්ටේල්ස් සහ මොක්ටේල්ස්. ගොඩක් වෙලාවට ඇල්කොහොල් අඩංගු වෙන කොක්ටේල් වර්ග. ඒවත් අපි දන්න කියන එව්වට වඩා, සෑහෙන්න නිර්මාණශීලී එව්වා. උදාහරණ ඕනෙද? බ්ලූ බුල්ඩෝග් මාගරීටා, බක්ස් ජංගල් ජූස්, ඉන්දියානා අයිස් කොෆී, කැටලීනා මාගරීටා… ඔන්න ඔය වගේ එක එක විදියේ අහලවත් නැති කොක්ටේල් හදන පොඩි පොඩි වීඩියෝස් මේකේ තියෙන්නේ. ඒ අතරේ ඉතින් ලික්විඩ් මරිහුවානා ෂොට්ස් වගේ එව්වත් තියෙනවා!

 

7. GEORGY KAVKAZ

ජෝර්ජි කව්කාස් (එහෙම වෙන්නැති ඒ නම කියන්නේ) කියන්නේ අපි ආසම කරන වෙනස් විදියේ ෆුඩ් යූටියුබර් කෙනෙක්. හරිම අවංක, දාර්ශනිකත්වයක් එක්ක ජීවිතේ දකින, කෑම බීම එක්ක ලොකු බැඳීමක් තියෙන බවක් පේන මනුස්සයෙක් තමයි ජෝර්ජි කව්කාස්. මේ චැනල් එකේ අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ කොකේසියානු ආහාර පාන. ඒ කියන්නේ රුසියාවටත් සම්බන්ධකම් තියෙන, ආර්මීනියාව, අසර්බයිජානය, ජෝර්ජියාව සහ දකුණුදිග රුසියාවේ ඇතැම් කොටස් අයත් ප්‍රදේශයක් තමයි කොකේසියා කියන්නේ. ඉතින් මේ කලාපයේ ඉන්න ජෝර්ජි, ගෙදර පෙරාපු රතු වයින් ජග්ගුවකින් බොන ගමන්, එක එක විදියේ අපූරු කෑම ජාති හදනවා. ඒ හදන ගමන් ජීවිතේ ගැනත් කතා කරනවා. ඒ කතා වල ජෝර්ජි පවා නොදන්න අපූරු ගැඹුරකුත් සමහර වෙලාවට තියෙනවා. ඊට පස්සේ ජෝර්ජි තමන්ගේ දරුවෝ සහ පවුලේ අයත් එක්ක ඒ ආහාර රසවිඳිනවා. විශේෂයෙන්ම බාබක්‍යු, ග්‍රිල් ක්‍රම වලට හදපු කෑම බීම වලට විශේෂත්වයක් දක්වන ජෝර්ජිගේ චැනල් එකත්, මාංශ භක්ෂකයන්ට බොහොම අපූරු අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.

 

Leave a Reply

Your email address will not be published.