ලෝක ප්‍රකට ළිං 7ක් ගැන දැනගනිමු

ජල නල හරහා වතුර නිවසටම ලැබෙන්න කලින් අපේ හැම ගෙවත්තකම වගේ ළිඳක් තිබ්බා. ඇතැම් නියං කාලවල වතුර තියෙන ළිං හොයාගෙන අපේ ගම්වල ඇත්තෝ හැතැප්ම ගණන් පයින් ගියා. මේ නිසාම ළිඳ කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සමීප දෙයක් බවට පත් වුණා. නමුත් පූජා භූමියක තියෙන ළිංවලට ඊටත් එහා ගිහින් සුවිශේෂී බවක් ලැබුණා. ඇතැම් අවස්ථාවල ළිං පූජනීයත්වයට පත් වුණා. තවත් අවස්ථාවල ළිං පිළිබඳව ජනප්‍රවාද රාශියක් ඇති වුණා. අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණ ළිං කීපයක් පිළිබඳව.

 

1. නිලාවරි ළිඳ

ලංකාවේ උතුරුකරේ පිහිටලා තියෙන නිලාවරි ළිඳ ගැන නොදන්න කෙනෙක් ලංකාවේ නැතුව ඇති. ගොඩක් අය කියන්නෙ මේ ළිඳට පතුලක් නැහැයි කියලා. නමුත් මීට වසර කීපයකට කලින් ළිඳ ගවේෂණය කරපු ජාත්‍යන්තර මට්ටමේ කිමිදුම්කරුවෝ කීපදෙනෙක් මේ ළිඳේ පතුල ගවේෂණය කරන්න සමත් වෙලා තිබ්බා. ඔවුන්ට අනුව ළිඳේ ඉහළ කොටසේ මිරිදිය පැවතුණත් පහළ කොටසේ පවතින්නේ කරදිය. මේ සම්බන්ධයෙන් ජනප්‍රවාද රාශියක් ගොඩනැඟිලා තියෙනවා. හින්දු ආගමට, බුද්ධාගමට සහ නාග ගෝත්‍රයේ ඉතිහාස කතාවලට මේ ජනප්‍රවාද බැඳී පවතිනවා.

 

2. සැම්සැම් ළිඳ

සුප්‍රකට කබා පුදබිමට මීටර් විස්සක් පමණ නැගෙනහිරින් පිහිටා තිබෙන මේ ළිඳ නිර්මාණය කරේ අල්ලා දෙවියන් වහන්සේ විසින් බව ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරනවා. ඊබ්‍රාහිම්ගේ පුත්‍රයා වූ ඉස්මයිල් කාන්තාරයේ තනිව සිටියදී පිපාසිතව කෑගැසීම නිසා මේ මැවීම සිදුවුණු බව කියවෙනවා. මේ නිසාම හජ් වන්දනාව සිදු කරන මිලියන ගණනක් වන ඉස්ලාම් බැතිමතුන් මේ ළිඳෙන් ජලය පානය කිරීම තම වන්දනාවේ අනිවාර්ය අංගයක් බවට පත්කොට ගෙන තිබෙනවා.

 

3. ශාන්ත බ්‍රිජිඩ් ළිඳ

අයර්ලන්තයේ පිහිටා ඇති මෙම ළිඳෙහි ඉතිහාසය එරට  ක්‍රිස්තියානිකරණයට ලක් වීමටත් පෙර යුගය දක්වා දිව යනවා. පුරා කතා වලට අනුව බ්‍රිජිඩ් යනු එකල ඇදහූ දේවතාවියක් වන අතර ඇය විසින් මවන ලද මේ ළිඳෙහි ඇති ජලය සුව කිරීමේ ශක්තියෙන් යුතු බව විශ්වාස කොට තිබෙනවා. පසුව එරට වැසියන් කිතුනුවන් බවට පත්වීමෙන් පසුව වුවත් බ්‍රිජිඩ් ළිඳ කෙරෙහි ඔවුන්ගේ භක්තිය අඩුව නැහැ 

 

4. රාමේශ්වරම් ළිං

ලොව පුරා විසිරී සිටින හින්දු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත්වන රාමේෂ්වරම් පුදබිමෙහි පූජනීය ළිං විසි දෙකක් පවතිනවා. ජනප්‍රවාද වලට අනුව මෙම ළිං විසි දෙකෙන්ම ස්නානය කිරීම මගින් සියළු පව් සෝදා හැරීම සිදු වනවා. මේ නිසා රාමේෂ්වරම් වන්දනාමාන කරන සෑම බැතිමතෙකුම පාහේ මේ ළිංවලින් ස්නානය කිරීමට අමතක කරන්නේ නැහැ.

 

5. සන්ටා ක්‍රිස්ටියානා ළිං 

සාඩිනියා දූපත පුරා විහිදා තිබෙන මෙම ළිං පද්ධතිය පිළිබඳව අදටත් විවිධ විවාද පවතිනවා. ලෝකඩ යුගයේ නිම වූයේ යැයි විශ්වාස කරන මෙම ළිං පද්ධතිය තාරකාවල පිහිටීමට සාපේක්ෂව ඉදි කොට ඇති බවත්, නක්ෂත්‍ර කටයුතුවල ගණනය කිරීම් සඳහා මෙම ළිං පද්ධතිය උපයෝගී කරගත් බවත් ඇතැම් මතයන්ට අනුව කියවෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එම යුගයේදී සාඩිනියා දූපතේ වාසය කළ ජනතාව ජලය සම්බන්ධ දෙවියෙක් ඇදහීම සිදු කළ බවයි.

 

6. ඉස්තාන්බූල්හි ශාන්ත මරියා ළිඳ

අතීතයේ එනම් ඉස්තාන්බුල් නගරය බයිසැන්තියානු අධිරාජ්‍යය යටතේ පවතින සමයේදී මෙම ළිද ආශ්‍රිතව සුවිශාල පුදබිමක් ගොඩනැඟී තිබුණා. අන්ධ පිරිසට පෙනීම ලබා දීමට පවා මේ ළිඳේ ජලයෙහි බලයක් තිබෙන බවට ජනප්‍රවාදවල කියවුණා. එම නගරය ඔටෝමාන් අධිරාජ්‍යයට යටත් වීමෙන් පසුව මෙම පුදබිම පරිහානියට පත්වූ නමුත් වර්තමානයේදී යළිත් එය සමෘද්ධියට පත්ව තිබෙනවා.

 

7. ශාන්ත විනිෆ්‍රිඩ් ළිඳ

මහා බ්‍රිතාන්‍යයේ තුළ පිහිටා ඇති වන්දනාකරුවන් පැමිණෙන පැරණිතම සිද්ධස්ථානය මෙය බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ශාන්ත විනිෆ්‍රිඩ් පිළිබඳව ජනප්‍රවාදයක් මෙම ළිඳ සම්බන්ධයෙන් පැවතුණත් බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ මේ ළිඳ හා අතීතය ඊට වඩා එහා කාලයකට දිව යන බවයි. බ්‍රිතාන්‍යයේ රජ කළ විවිධ රජවරුන් තම ජයග්‍රහණය පතා මෙම පූජා ස්ථානයට පැමිණ යාච්ඤා කිරීම සිරිතක් කොට ගෙන තිබුණා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *