දැක්කම හිතට අමුත්තක් දැනෙන, කනවද නැද්ද? බලාගෙනම ඉන්නවද කියලා හිතෙන මේ ලෝකෙ තියන අමුතුම ජාතියෙ පළතුරු හා එළවළු ටිකක් ගැනයි අද කියන්න යන්නෙ. බලන්න ජීවිතේ කවදමහරි මේවා හම්බෙලා තියනවද, කාලා තියනවද කියලා. එහෙනම් ඔයාගෙ එක්ස්පීරියන්ස් එකත් අපිට කියන්න අමතක කරන්න එපා.
1. Hala Fruit
මැලේසියාවෙ, නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ හා පැසිෆික් දූපත් වලට ආවේණික වූ පළතුරක්. මේක සාමාන්‍යයෙන් තියෙන්නෙ වෙරළ ආශ්‍රිතවයි. මේකෙ රසය සාමාන්‍යයෙන් අඹ, අන්නාසි වගේ මද පැණි රසක් උනත් සමහරු නම් වරකා රසයට සමානයි කියලත් කියනවා. හලා පළතුරේ හිත් ඇදගන්නාසුළු මල් සුවඳ මේ පළතුරට විශේෂ මිහිරක් එක්කරනවා. මේ හලා ගස ආර්ථිකමය හා සංස්කෘතිමය වශයෙන් ඉතා වැදගත් ශාකයක්. පෙනුමෙනුත් හරිම ලස්සන හිත් ඇදගන්නාසුළු ස්වභාවය නිසාම ඒක දකින ඕන කෙනෙක්ට කන්න ප්‍රිය ඇති කරනවා.
2. Romanesco Broccoli
මුහුදෙ තියන ගල් මලක් වගේ පේන මේ බ්‍රෝකොලි විශේෂය සාමාන්‍ය බ්‍රොකොලි හා කෝලිෆ්ලවර් වලට සමාන උනත් ඊට වඩා පැණිරස හා පෝෂ්‍යදායක ගතියකින් යුක්තයි. මේක හයිබ්‍රිඩ් කරපු එළවළුවක්. කුක් කරලා, සැලඩ් වලට, පැස්ටා එක්ක වගේම සුදුළූණු හා ළූණු එක්ක රෝස්ට් කරලා කන්නත් පුළුවන්. මේක Roman Cauliflower කියලත් හදුන්වනවා. මේකෙ විටමින් C, K හා ෆයිබර් අඩංගු වෙනවා. ඉතාලියේ රෝමය ආශ්‍රිතව බහුලව මේවා වැවෙනවා කියලයි අපිට ආරංචි උනේ.
3. Ackee
Blighia Sapida නමිනුත් හඳුන්වන මේ ඇකී පළතුර බටහිර අප්‍රිකාව, කැරිබියන්, දකුණු ෆ්ලොරිඩාව හා මධ්‍යම ඇමරිකාවෙ දක්නට ලැබෙන පළතුරක්. මේක අමුවෙන් කන්න කොහෙත්ම සුදුසු නෑ. මොකද මේකේ hypoglycin කියන විෂ අන්තර්ගත වෙන නිසා. ඖෂධ සඳහාත් ගන්න මේ පළතුර හොඳට තම්බනකොට මේකෙ තියන විෂ නැතිවෙලා යනවා. මේක ආහාරයට ගන්න නම් සුද්ද කරලා කළු ඇට අයින් කරලා පොත්ත කොටස තම්බලා ගන්න ඕනේ. මේක ප්‍රෝටීන්, විටමින් හා ෆයිබර් බහුල ආහාරයක්. ඉදුණු පළතුරේ ඇට වල විෂ තියෙන්න පුළුවන් නිසා ඇට අයින් කරලම ආහාරයට ගන්න. මේකත් හරියට අපි මඤ්ඤොක්කා තම්බනවා වගේ තමා.
4. Buddha’s Hand
අතක ඇඟිලි හැඩැති මේ පළතුර ලෙමන් හා පැණි රස ගතියකින් යුක්තයි. මේක චීනයේ, කොරියාවේ, ජපානයේ හා ප්‍රංශයේ හඳුන්වන්නෙ බුදුන්ගෙ හස්තය යන අර්ථයෙන්. මේක මදයක් නැති ලෙමන් කුලයේ පළතුරු වර්ගයක්. උතුරු ඉන්දියාවෙ හා චීනයේ තමා දක්නට ලැබෙන්නෙ. හොඳට ඉදුණම කහපාට ගතියෙන් යුක්ත මේ පළතුර දකින කෙනෙක්ට යම් කුකුසක් ඇති කරවන්න සමත්. මේ පළතුරේ ලෙල්ල ආහාර වලට පාවිච්චි කරනවා. ලෙමන් හෝ දොඩම් ලෙල්ල පාවිච්චි කරන්න අවශ්‍ය ඕනම ආහාරයකට මේ ලෙලි ගන්න පුළුවන්. ඒ ඇරුණම පාවිච්චි වෙන්නෙ ෆුඩ් ඩෙකෝස් වලට තමයි.
5. Black Sapote (Chocolate Pudding Fruit)
පළතුරක් ඇතුළෙ පුඩින් එකක් තියනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් මේ කියන්න යන පළතුර නම් එහෙම එකක් තමයි. මේක ඇමරිකාව, කොළොම්බියාව හා මෙක්සිකෝවේ ප්‍රසිද්ධ පළතුරක්. මැදින් කැපුවම ඇතුළත මදය කස්ටඩ් එකක් වගේ හැන්දකින් ආහාරයට ගන්න පුළුවන්. පොටෑසියම් හා ෆයිබර් බහුල ආහාරයක් නිසා ඉතාම ගුණදායකයි. මේකෙ නියම නම Black Sapote උනාට ඇතුළෙ ඇළෙනසුළු පල්ප් එක නිසා ගොඩක් අය කියන්නෙ චොක්ලට් පුඩින් ෆෘට් කියලයි.
6. Watermelon Radish
ඇතුළ රතුපාට මේ රාබු විශේෂය චීනයට ආවේණිකයි. මේකට චීනෙ shinmei කියලත් කියනවා. රස නම් කොමඩු රසට වඩා වෙනස් රසක් එන්නෙ. පැණි රසටත් ළඟ බෙල්පෙපර් වගේ රසයක් කියලයි කියන්නෙ. මේක බ්‍රෝකොලි, ගෝවා අයත් බ්‍රැසිකා පවුලටම අයිතියි. සාමාන්‍ය එළවළුවක් විදියට, සලාද වලට දාලා හෝ අච්චාරු විදියට හදලා කන්න පුළුවන්. මේක අපේ රටේ වැඩිය ජනප්‍රිය නොවුණට ගොඩක් ගුණදායක කෑමක්. කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම්, ෆයිබර් අඩංගු මේ රාබු බර අඩු කරගන්න ට්‍රයි කරන අයටත් හොඳයි.
7. Nopal Vegetable
ස්පාඤ්ඤයේ පතොක් විශේෂයක් වන මේ නොපාල් වල බෝංචි වගේ රසයක් එන්නෙ. මේක උයනකොට පොඩි කෑලි වලට කපලා උයන්න පුළුවන්. මේක තරමක් තිත්ත ගතියකින් යුක්තයි. විටමින් හා ඛණිජ ලවණ වලින් සමන්විත මේ එළවළුව රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න, කොලෙස්ටරෝල් අඩු කරන්න ගොඩක් උපකාරී වෙනවා. ගොඩක් මෙක්සිකානු වැසියන් මෙය ආහාරයට ගැනීමට ප්‍රියත්වයක් දක්වනවා. ඒ වගේම බෙහෙත් වලට, ශැම්පු හදන්න වගේ වැඩ වලටත් මේක යොදා ගන්නවා.
Leave a Reply