කෙසෙල් ගෙඩි කියන්නේ අපිට සමීපතම පළතුරක්. කෙසෙල් ලංකාවේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන පළතුරක්. අපි ලෙඩෙක් බලන්න යන විට, දානයකට පිරිතකට යනකොට, ඥාති ගෙදරක විසිට් එකකට යනකොට ඉස්සර කෙසෙල් ඇවරියක් දෙකක් අරගෙන යනවා. ඒ වගේම පැරණි කාලේ ගෙදරක මඟුල් තුලාවක් උත්සවයක් තියෙද්දි කෙසෙල් කැන් ඉදවීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්. ලංකාවේ තියෙන කෙසෙල් වර්ගත් බොහෝවිට වෙනත් රටවලින් ආපු ඒවා. පුවාලු සහ කෝලිකුට්ටු වර්ග දකුණු ඉන්දියාවෙනුත් අනෙක් ආනමාලු ඇම්බුන් ආදී වර්ග අග්නිදිග ආසියාවෙනුත් මෙහෙට ඇවිත් තියෙනවා.
1. ලෝකෙට කෙසෙල් බෙදුව ආසියාව
කෙසෙල් පසුකාලීනව ග්‍රීසිය හරහා ජනප්‍රිය වුණා. ඊටත් පස්සේ කාලේ 1500 ගණන් වල පෘතුගීසි ජාතිකයෝ ලෝකේ වටේ කැරකෙන්න ගත්තම එයාල අප්‍රිකාවේ කෙසෙල් යුරෝපයට ගෙනාවා. ඒත් කෙසෙල්වල නිජබිම අප්‍රිකාව නෙමෙයි. බොහෝම කාලයකට ඉස්සර වෙලා දැනට ඉන්දුනීසියාව අයිති මලයාව කොටස සහ ඕෂනියා කලාපෙන් තමයි කෙසෙල් බිහිවෙලා තියෙන්නේ. ඒ මුල් කාලේ කෙසෙල් දැන් වගේ හැඩ වැඩ නැහැ. ඒ වගේම රසයෙනුත් වෙනස් වෙන්නට ඇති. කාලාන්තරයක් තිස්සේ තෝරාගෙන හොඳ ඒවා වැවීම නිසා අද තියෙන රසවත්, පැහැපත් කෙසෙල් බිහි වෙලා තියෙනවා.
2. සීනි රසැති කහපාට උයන කෙසෙල්
බොහෝවිට ආදි කාලයේ කෙසෙල් හමුවුණේ රතු සහ කොළපාට වර්ණවලින්. 1836 දි ජැමෙයිකානු ජාතික ජීන් ෆ්‍රැන්කොයිස් කහපාට කෙසෙල්ගෙඩි වර්ගයක් වගා කටයුතු වලින් වැඩිදියුණු කළා. ඉන් පස්සේ ඒ කෙසෙල් උයන පිහන කටයුතු වලට පාවිච්චි කළා. දැන් උයන පිහන කෙසෙල් ජාතිත් වර්ග ගණනාවක් තියෙනවා. එයින් ලංකාවේ අළු කෙසෙල් සහ කිතල කියන වර්ග දෙක ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ උයන්න ගන්න කෙසෙල් නම් කහ පාට නැහැ. කොළපාටයි.
3. මුල්ම කෙසෙල් මහාපරිමාණ වගාව
කෙසෙල් මුලින්ම මහාපරිමාණයෙන් වගා කරන්න ගත්තේ කැරිබියානු දූපත් වල. 1870 කාලේ මේ කෙසෙල් වගාවන් කැරිබියානු දූපත් වසාගෙන පැතිරිලා තිබුණා. ඊට පෙර වවල තිබුණු උක් වලට වඩා මේ කෙසෙල් වගාව ජනප්‍රිය වුණා. ඉන් පස්සේ මධ්‍යම ඇමරිකාව කෙසෙල් වවන වැඩේට බැස්සා. “යුනයිටඩ් ෆෘට්” නාමය යටතේ මධ්‍යම ඇමරිකානු රටවල් කිහිපයකම එක යායට කෙසෙල් වගා කෙරුණා. ඒ කෙසෙල් වලට ඇමරිකාවෙන් හොඳ මිලක් ලැබුණා.
4. වගාවට ආ ලෙඩ
1900 ගණන් වල මුලදි වගේම 1920 කාලේත් මේ මධ්‍යම ඇමරිකානු මහා පරිමාණ කෙසෙල් වගාවන්ට රෝගයක් වැළඳුනා. එයින් කෙසෙල් වගාවන් යාය පිටින් විනාශ වුණා. ඒ එක්ක ඉන් පසු ඒ රෝගයට ඔරොත්තු දෙන ආකාරයේ දිගැති කැවෙන්ඩිශ් කෙසෙල් ජනප්‍රිය වුණා. දැනටත් අපේ රටවල සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් තිබුණත් යුරෝපීය සහ ඇමරිකානු රටවල කැවෙන්ඩිෂ් කෙසෙල් වර්ග තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ රෝග තත්ත්වයත් එක්කම මධ්‍යම ඇමරිකානු රටවල් කෙසෙල් වගාවෙන් ඉවත් වුණා.
5. කෙසෙල් වල වාසි
අනෙක් නිවර්තන පළතුරු වලට වඩා කෙසෙල් වල වාසි කිහිපයක් තියෙනවා. ඒ තමයි කෙසෙල් වසරේ සෑම කාලෙකදිම පාහේ ඵල දරනවා. ඒ නිසා එක කාලයකට විතරක් අස්වනු ලැබෙන අවුල කෙසෙල් වල නැහැ. ඒ වගේම කෙසෙල් සාපේක්ෂව අනෙක් පළතුරු වලට වඩා වගා කිරීම ලේසියි. ලංකාවෙත් ජලවහනය තියෙන ඉඩම් වල කුඹුරු ගොවිතැන වෙනුවට කාලයක් කෙසෙල් නිර්දේශ කෙරුණා. ඒ නිසාම වී වගාවට තරම් ජලය නොලැබෙන වලවේ මිටියාවතේ, ඇඹිලිපිටිය පැත්තේ කෙසෙල් වගාව ඉක්මනින් ජනප්‍රිය වුණා.
6. එහා මෙහා ගෙනයෑමේ පහසුව
කෙසෙල් පළතුරක් විදිහට ජනප්‍රිය වෙන්න එහෙ මෙහෙ ගෙනයන්න තියෙන පහසුකමත් හේතු වුණා. කෙසෙල් අමු කැන් විදිහට තැනකින් තැනකට ගෙනියන්න ලේසියි. දැනටත් නැව් වලින් කෙසෙල් යන්නේ අමු කෙසෙල් විදිහට. ඒ වගේම එතිලීන් ගෑස් ආධාරයෙන් ඉතාම කෙටිකලකින් කෙසෙල් ඉදවගන්නත් පුළුවන්. ප්‍රවාහනය සහ ඉදවීමේ පහසුව ඉතිහාසය තුළ කෙසෙල් වලට ලොකු තැනක් ලැබෙන්නට හේතු වුණා. දුම් ගැසීම, මල්ලක දා තැබීම වගේ ක්‍රම වලින් අපේ පැරැන්නෝ කෙසෙල් ඉදවා ගත්තා. ඒත් දැන් නම් අපේ අයත් රසායනික භාවිතයෙන් කෙසෙල් ඉදවා ගන්නවා.
7. දේශපාලන කෙසෙල්
ලෝකයේ දැනට වගාකරන බෝග අතුරින් සහල් තිරිඟු ආදී මූලික බෝග වලට පමණක් දෙවනි වන බෝගයක් තමයි කෙසෙල් කියන්නේ. කෙසෙල් වගාකරුවන් කොපමණ ප්‍රබල වුණාද කිව්වොත් මධ්‍යම අමරිකානු රටවල දේශපාලනයට පවා මේ කෙසෙල් වගාකරපු මහා පරිමාණ සමාගම් බලපෑම් කළා. ඒ වගේම ඇමරිකානු දේශපාලනය හරහා රාජ්‍යතාන්ත්‍රික බලපෑම් ඒ රටවලට එල්ල කරන්නත් කෙසෙල් වගාකරපු ඇමරිකානු සමාගම් සමත් වුණා.
කෙසෙල් අපනයනය කියන්නේ අපේ රටේ එතරම් අවධානයක් යොමු නොවුණු පැත්තක්. එක් එක් දේශගුණ කලාපවල කදිමෙට වැවෙන විවිධ කෙසෙල් වර්ග ගොඩක් අපිටත් තියෙනවා. ඉතින් අපනයන කටයුතු වලට කෙසෙල් වල තියෙන හැකියාව ගැන තව තවත් සොයාබලන්නට වටිනවා. ඒ වගේම කෙසෙල් ඉතිහාසය මොකක් වුණත් උත්සව අවස්ථාවක කෙසෙල් ගෙඩියක් නැත්නම් ඒක නිකං පරිප්පු නැති හෝටලයක් වගේ වෙනවා.
Leave a Reply